Print this Article


කොපමණ සම්පත් තිබුණත් භුක්ති විඳීමට සිත නොදෙන්නේ ඇයි?

කොපමණ සම්පත් තිබුණත් භුක්ති විඳීමට සිත නොදෙන්නේ ඇයි?

සසරේ කරන ලද කුසලයන් නිසාම මනුස්ස ආත්මයක් ලබන්නට අපි කවුරුත් පුණ්‍යවන්ත වෙමු. රැස් කළ පින වුව ද ක්‍රමයෙන් ගෙවී යනවා යැයි කිසිදු විටෙක අපි නොසිතමු.එසේ නම් කළ යුත්තේ කුමක්ද නොපමාව කුසල් රැස් කිරීම නොවේද?. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම තුළ වෙසෙන්නාට නිරන්තරයෙන් කුසල් රැස්වීම සිදුවන්නේ එහෙයින් ය.

එමෙන්ම කුසල් වැඩීම නිතර කළ යුතු වන්නේ ය.අපි සියල්ලෝම දාන මාන පිළිගන්වමු. දානය තුළ ඇත්තේ අත් හැරීම ය.අධික තෘෂ්ණාව තමන් ළග ඇති දේ ද නැති කරවන සුලු ය. එහෙයින් නැති බැරි කා හටද සලකන්නට පුරුදු පුහුණු විය යුතු ය. ලෝභය, තෘෂ්ණාව, නිසා අත්වන ඉරණම කෙසේ දැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

දිනක් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණි කොසොල් රජතුමා ප්‍රශ්න කිහිපයක් විමසුවේ ය.

“බුදුරජාණන් වහන්ස මේ ලෝකයේ අමාරුම දේ කුමක්ද කියා පහදා දෙන්න “

එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,

“රජතුමනි, මේ ලෝකයේ අමාරුම දේ තමයි මනුස්ස ආත්මයක් ලැබීම”

ඊට පසුව නැවත රජතුමා බුදුරජාණන් වහන්සේ ගෙන් විමසනවා

“හොඳයි අපි මනුස්ස ආත්මයක් ලබාගත්තා යැයි කියමු.ඊට පසුව අමාරුම දේ කුමක්ද ස්වාමින් වහන්ස”

එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා

“රජතුමනි, මනුස්ස ආත්මයක් ලැබුවාට පසු අමාරුම දේ තමන් සතු දෙයක් තවත් කෙනෙකුට දෙන්නට සිතීමයි”

“බුදුරජාණන් වහන්ස, තමන් සතු දේ තවත් කෙනකුට දෙන්න සිතන එකත් කළා කියමු.ඊට පසු අමාරුම දේ කුමක්ද ?කියා පහදන්න”

කොසොල් රජතුමා නැවත පැනයක් යොමු කළේ ය.එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා

“රජතුමනි, ඊට පසුව අමාරුම දේ දීම නැතිනම් පරිත්‍යාගයයි.”

එවිට කොසොල් රජු නැවත බුදුරජාණන් වහන්සේ ගෙන් විමසනවා

“බුදුරජාණන් වහන්ස අපි පරිත්‍යාගයත් කළා කියමු.එතනින් පසුව කුමක්ද? අමාරුම දේ කියා පවසන්න”

“රජතුමනි එතනින් පසුව අමාරුම දේ ‍යමක් දී සිත පහදවා ගැනීමයි. නැතිනම් සිත සතුටින් සිටීමයි.”

භාග්‍යවතුන් වහන්සේ එම කරුණ කොසොල් රජතුමාට මනාව දේශනා කළ සේක.

මුලින්ම අපිට අමාරුම දේ මනුස්ස ආත්මයක් ලබා ගැනීමයි.ඊට පසුව අපිට අමාරුම දේ තමන් සතු දෙයක් තවත් කෙනෙකුට දෙන්නට සිතීමයි.එයින් පසු අමාරුම දේ එය පරිත්‍යාග කිරීමයි.ඊටත් පසුව අමාරුම දේ යමක් පරිත්‍යාග කළ පසුව සිත පහදවා ගැනීම නැතිනම් සතුටු වීමයි.

බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට මෙය තවත් පහදා දිය යුතුයැයි සිතා අතීත කතාවත් දේශනා කළා.

අතීතයේ ජීවත් වුණා අපුත්ථක නම් සිටුවරයෙක්. මේ අපුත්ථක සිටුවරයාට අසුහාරකෝටියක පමණ වස්තු සම්භාරය තිබුණා. නමුත් ඔහුට දරුමල්ලන්, නැදෑයින් ,දෙමව්පියන් කිසිම කෙනෙකු සිටියේ නැහැ.ඒ වගේම ඔහු හරිම ලෝභ කමින් මසුරු කමින්, ජීවත් වුණේ.

මොන තරම් රස මසවුළු ආහාරයට ගන්නට හැකියාව තිබුණත් හැමදාම ඔහු ආහාරයට ගත්තේ කාඩි හොද්දයි බතුයි පමණයි.

ඒ වගේම භාවිත කළේ වැරහැලි වූ සළු පිළි ය. සළු පිළි ආභාරණ කෙතරම් තිබුණත් කෙදිනකවත් ඔහු එම ඇඳුමකට අතක්වත් තිබ්බේ නැත.සිටු මැඳුරේ මොන තරම් සැපවත් යාන වාහන තිබුණ ද, ගමන් බිමන් ගියේ ද වයසට ගිය ගොනකු බැඳි දිරා ගිය කරත්තයක ය.

මෙලෙස කාලය ගෙවී යන අතරෙහි දි එම සිටුවරයා අකාලයේ ම මිය පරලොව ගියා.

එතනින් පසු ඔහු සතු සියලු වස්තු සම්භාරය හිමි වෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයට.

දවසක් ඒ රජතුමා මේ සිටුවරයාට සිදු වුණු දේ ගැන භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නට කල්පනා කොට භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට වුණා.එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ සිටුවරයාගේ අතීත කතාවත් මේ විදිහට දේශනා කළා.

“රජතුමනි අතීතයේ මීට ආත්ම පන්සියයකට එහාත් මේ සිටුවරයා සිටුවරයෙක් ම විදිහට ජීවත් වුණා.එකලත් බොහොම ලෝභ කමින් මසුරු කමින් ඔහු ජීවත් වුණේ. මේ සිටු මාළිගාව ළඟින් හැමදාමත් පසේ බුදුරජාණන් වහන්සේ ලා ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කරනවා.ඒත් කිසිම දවසක මේ සිටුවරයා නෙමෙයි දානයක් නම් පිළිගැන්නුවේ.

ඔය අතරේදී එක් දිනක මේ සිටුවරයා සිටු මාලිගයෙන් පිටතට පැමිණියේ දුර බැහැර යාමට සිතාගෙනයි. සිටුමැදුරෙන් එළියට එනවිටම ඔහුට මුණ ගැසුණේ පිණ්ඩපාතයේ වඩින පසේ බුදුරජාණන් වහන්සේ නමකි.එදා සිටුවරයාට මඟ හැර යාමට හැකියාවක් නොමැති තැන සිටු දේවියට පැවසුවේ තියෙන දෙයක් දී පිටත් කර හරින ලෙස ය.එම වචන ඇසූ සිටු දේවිය බොහෝ සතුටටත්, විශ්මයටත් පත් වූ අතර දානය පූජා කොට පින් ද රැස් කරගත්තා ය.

එලෙස නැවත පැමිණෙන සිටුවරයාට පිඬුසිඟාවඩින පසේ බුදු හාමුදුරුවෝ යළිත් මුණගැසුණි. සිටුවරයාට කැමැත්තක් ඇති වුණා දානය සඳහා කුමක් ලැබුනේද යන්න සොයා බලන්න. එබැවින් ඔහු පසේ බුදු හාමුදුරුවන්ගේ පාත්‍රයට එබී බැලුවා.හරිම සුවඳයි. ප්‍රණීත ආහාර.

සිටුවරයා කල්පනා කරනවා කුමක්ද මේ අපරාදේ . මේ තරම් ප්‍රණීත ආහාර දන් දුන්නේ කුමකට ද ? .තිබුණා නම් මට මේ ආහාර ටික ලබා දී දාසයකුගෙන් මැදුරේ වැඩටික කරගන්නට තිබුණා නේ දැයි පසු තැවෙන්නට විය.

රජතුමනි මේ සිටුවරයා එදා දෙන්න යැයි පැවසු වදන නිසා ආත්ම ගණනක්ම ඔහුට ඉහළම සැප සම්පත් ලබන්නට පින තිබුණේ ය.ඒත් දුන් දානය ගැන ඇති වුණු ලෝභකම මොන තරම් සැප සම්පත් ලැබුණත් එය භුක්ති විඳීන්න පින නම් ලැබුණේ නැතැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

අප යමක් කෙනකුට දෙනවා නම් ඒ ගැන ලෝභ කමක් ඇති කර ගැනීමේ විපාක මින් ඔබට පැහැදිලි ඇති. එමෙන්ම දුන් පසු ඒ ගැන කවදාවත් දුක්වීම ද පාපයකි.

යමක් කෙනකුට දෙන්න සිතක් ඇති කරගන්නවා වගේම එය දුන්නාට පසු සතුටු වෙන්නත් පුරුදු පුහුණු කළ සිතක් හදාගන්නට හැකිනම් එහි ආදීනව ඔබට සසරේ විඳීන්නට ලැබෙනවා නො අනුමාන ය .