Print this Article


පන්හිඳෙන් දහම ප්‍රචලිත කළ මහා යතිවරයාණෝ

පන්හිඳෙන් දහම ප්‍රචලිත කළ මහා යතිවරයාණෝ

ලක්දිව ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මේ යැයි, මැනවින් ප්‍රකට කරමින් වැඩසිටි ධර්ම විනයධර ශික්ෂාකාමී අග්‍රගණ්‍ය මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට ගිහි පැවිදි සකල සාධු ජනයා අතර බෙහෙවින් ගෞරවාදරයට ලක් වූ හ.

ලේඛන කලාව තුළින් සම්බුදු සසුනෙහි චිරස්ථිතිය වෙනුවෙන් මෑත කාලීන ව අද්විතීය මෙහෙවරක් සිදු කළ උන්වහන්සේ උපන්නේ බණ්ඩාරගම ප්‍රදේශය ආසන්නයේ අදිකාරී පත්තුවේ රයිගම් කෝරළයේ “රේරුකාන” නමැති සුන්දර ගම් පියසේ ය.

දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන හා මුණසිංහගේ පොඩි නෝනා යන පුණ්‍යවන්ත සැදැහැවත් මව්පියන් ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය ලෙස වර්ෂ 1897 ජූලි මස 19 වැනි දින රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ ජන්ම ලාභය ලැබූ හ. ප්‍රාථමික අධ්‍යාපනය ලැබූවේ සමීපතම ගම වූ වීදියගොඩ පාසලෙනි.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි

එකල බුරුම ජාතික යු. විනයාලංකාර නමැති හිමි නමක් හොරණ ප්‍රදේශයට වැඩමකොට 'කළුපහන' නමැති කන්දේ ගල් ගුහාවක වැඩ සිටිය හ. උන් වහන්සේ ව්‍යක්ත ලෙස සිංහල භාෂාව නොදැන සිටියත් දන්නා ප්‍රමාණයෙන් එකී ගම් වැසියන්ට ධර්ම දේශනා කළ හ. පැවිදිකමේ අගය පෙන්වාදීම එම ධර්ම දේශනාවල විශේෂත්වයක් විය.

බුරුමයේ සෑම පිරිමියකු ම තාවකාලික ව හෝ පැවිදිවීම පිළිබඳ වූ වටිනාකම මෙරට සැදැහැවතුන්ට පහදාදීම උන්වහන්සේ ගේ පරමාර්ථය වූ බව සිතිය හැකි ය. මේ නිසා ගම් වැසියෝ තම දරුවකු සසුන්ගත කිරීමට දැඩි කැමැත්තක් දැක් වූ හ.

එහි මාහැඟි ප්‍රතිඵලයක් ලෙස ගමේ කුල දරුවන් 27 දෙනෙක් පැවිදීවීමට කැමැත්ත පළ කළ හ. යූ. විනයාලංකාර හිමියෝ එකී 27 දෙනාටම ආචාර්යවරයා වූ හ. වර්ෂ 1906 ජනවාරි මස 08 වැනිදා පැවිදි දිවියට ඇතුළත් වූ රූබෙල් ගුණවර්ධන කුල කුමරු ද මෙම පිරිසට අයත් වූ අතර ඔහුගේ ප්‍රව්‍රජ්‍යා නාමය රේරුකානේ චන්දවිමල නම් විය.

මෙම අභිනව සාමණේරයන් වහන්සේලා පිරිස වැඩි කලක් ලංකාවේ රැඳී නොසිටිය හ. වර්ෂ 1908 ජනවාරි 27 වැනිදා විනයාලංකාර හිමියන් විසින් උන්වහන්සේලා පිරිස බුරුම රටට(මියන්මාරය) කැඳවාගෙන යන ලදී.

සිංහල භාෂාව විනා අන් භාෂාවක් නො දත් මෙම සාමණේර පිරිසට අධ්‍යාපනය ලැබීම කෙසේ වෙතත් එරට වැසියන් සමඟ එදිනෙදා කතාබහ පවා බෙහෙවින් දුෂ්කර විය. එහෙත් වැඩිකල් නොගොස් උන්වහන්සේලා බුරුම බස මැනවින් උගත් හ. බුරුම බසින් ම විනය, සූත්‍ර හා අභිධර්මය භික්ෂු ජීවිතයට අවශ්‍ය කරන ඇවතුම් පැවතුම් හා භාවනාව ද මැනවින් ප්‍රගුණ කළ හ.

බුරුමයේ වියත් ධර්ම විනයධර භික්ෂූන් වහන්සේලා වෙතින් අධ්‍යාපනය ලැබූ මෙම සාමණේර පිරිස අතර රේරුකානේ හිමියෝ ඉතා දක්ෂ අන්දමින් ඉගෙනීමෙහි සමත්කම් දැක්වූ හ.

බුරුම භාෂාව ඉතා චතුර ලෙස කතා කිරීමටත්, මැනවින් ලිවීමටත්, කියවීමටත් දක්ෂයෙක් වූ හ. බුරුමයේ දස වසරක සාර්ථක අධ්‍යාපනයක් ලැබූ රේරුකානේ හිමියෝ වර්ෂ 1917 ඔක්තෝබර් 26 වැනිදා බුරුම රටේ ධම්මිකාරාම සීමාවේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ හ.

එයින් ටික කලකට පසු ලංකාවට වැඩම කළ උන්වහන්සේ දෙමටගොඩ මහා විශුද්ධාරාම පන්සලේ වැඩ සිටිය හ. එහි වැඩසිටි සිරිධම්ම නමැති නා හිමි නමක් සිසු පිරිසකට අභිධර්මය උගන්වන ආකාරය බලා සිටි රේරුකානේ හිමියෝ ටික දිනකින් සිංහල වඩාත් හොඳීන් ප්‍රගුණ කොට එම පන්තියේ සිසුන්ට අභිධර්මය ඉගැන් වූ හ.

කුඩා අවධියේ බුරුමයට වැඩම කළ හෙයින් සිංහල භාෂාව පිළිබඳ හොඳ හැකියාවක් නොතිබූ උන්වහන්සේ ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වැනි පොත් කියවා සිංහල දැනුම වර්ධනය කර ගත් හ.

රේරුකානේ චන්දවිමල මහ නා හිමි ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ 25 කටත් වැඩි ප්‍රමාණයක් රචනා කොට තිබේ. එකී සෑම ග්‍රන්ථයක් ම ත්‍රිපිටකයේ කරුණු ද මතු කරමින් ඉතා සරල ව ධර්මවිනය පිළිබඳ කිසිදු මත භේදයකට තුඩු නො දෙන ආකාරයෙන් රචනා කළ ඒවා ය.

උන් වහන්සේගේ ව්‍යක්ත ලේඛන කෞශල්‍යය අනුව ලියූ දෙයක් නැවත කපා වැරැදි නිවැරැදි සෑදීමටවත්, කටු සටහන් ලියා පසුව නිවැරැදි ව ලිවීමටවත් කිසිදු අවශ්‍යතාවක් නො වුණි. ලියන දේ එක වතාවෙන් ම නිමකොට මුද්‍රණයට යැවීම මහ නා හිමි හුරුපුරුදු ක්‍රමය යි. අද වනවිට උන්වහන්සේ ගේ ග්‍රන්ථ මාලාව මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ද සිංහල ජනතාවගේ හස්තසාර ධර්ම ග්‍රන්ථ බවට නිතැතින් ම පත්ව ඇත.

මෙම ග්‍රන්ථ අතර පොහොය දිනය, ධර්ම විනිශ්චය, බෞද්ධයාගේ අත්පොත, පාරමිතා ප්‍රකරණය, අභිධර්ම මාර්ගය, ශාසනාවතරණය, උපසම්පදා සීලය යනාදී ග්‍රන්ථ 25 කටත් අධික ය. මෙකී ධර්ම ශාස්ත්‍රීය සේවාව වෙනුවෙන් විශ්වවිද්‍යාල හා වෙනත් අධ්‍යාපන ආයතනාදියෙන් උන්වහන්සේ වෙත පිරිනැමූ උපාධි හා ගෞරවනාම රැසකි.

ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් “සම්මාන පණ්ඩිත” උපාධියත්, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය මගින් අභිධර්මය පිළිබඳ මහාචාර්ය පදවියත්, තත් විශ්වවිද්‍යාලය මඟින්ම “සාහිත්‍ය චක්‍රවර්තී” උපාධියත්, අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨය මඟින් “ප්‍රවචන විශාරද” සම්මාන උපාධියත්, ඒ අතර ප්‍රධාන ය,

එසේම වර්ෂ 1976 දී ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහානායක පදවියත්, වර්ෂ 1995 දී අමරපුර මහා සංඝසභාව මගින් “අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන” යන ගෞරව නාමයත් පිරිනැමිණි. මෙවන් උත්තරීතර උපාධි, ගෞරවනාම හා තනතුරු ලැබුව ද උන්වහන්සේ පිරිවෙන් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා උපාධි සමත් කෙනෙකු නොවූ බව ද වෙසෙසින් සඳහන් කළ යුතු ය. බුරුමයේ පන්සල් අධ්‍යාපනයත්, භවනාව තුළින් ලැබූ දැනුමත් තුළින් ග්‍රන්ථ රචනා කළ උන්වහන්සේ ගේ දැනුම් සම්භාරය බෙහෙවින් ම අව්‍යාජ විය.

ලක්දිව සුපතල මහා අග්‍රගණ්‍ය යතිවරයකු වුව ද රේරුකානේ මහ නා හිමියෝ සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත නො කළ හ. කුඩා කුටියක් තුළ පුටුවේ හිඳගෙන ඔප් නැගුණු සුවිසල් මේසයක් මත නොව කුඩා ලෑල්ලක් මත තබාගෙන පූර්වෝක්ත ධර්ම ග්‍රන්ථ රචනා කළ උන් වහන්සේ ගේ අල්පේච්ඡ ජීවිතය සැමට බෙහෙවින් ම ආදර්ශයට යෝග්‍ය ය.

හුදෙක් ධර්ම දානය පිණිස ම නිස්සරණාධ්‍යාශයෙන් ධර්ම ග්‍රන්ථ රචනා කළ අතර ඒ එක ද පොතකින් වත් උන්වහන්සේ ආර්ථික ලාභයක් නො ලැබූ හ.

මෙසේ කලාතුරකින් පහළ වන ඉතා දුර්ලභ ගණයේ අග්‍රගණ්‍ය මහා යතිවරයෙක් වූ උන් වහන්සේ වර්ෂ 1997 ජූලි 04 වැනිදා මනා සිහිනුවණින් යුක්ත ව අපවත් වී වදාළ හ.

ස්වකීය ආදාහනය සිදුකළ යුතු ආකාරය ජීවත් ව සිටිය දී ම ලියා තැබූ උන්වහන්සේ ගේ ඉල්ලීම වූයේ ලස්සන පෙට්ටියක තබා, කොඩි දමා, තොරණ ගසා මහා චිතක ඉදිකොට ලොකු ආදාහන උළෙලක් සිදු නො කළ යුතු බව යි.

තමන් වහන්සේ දහවල් විවේක ගන්නා කුඩා ඇඳ පිටින්ම ඔසවාගෙන ගොස් වත්තේ දර ගොඩක් ගසා ඒ මත තබා ආදාහනය කරන ලෙස එහි දන්වා තිබුණි. සිරුර දින ගණන් තබා නොගෙන දර ගොඩ ගසා අවසන් වූ විගස ම ආදාහනය කොට අන් අයට දැනුම් දෙන ලෙස එහි සටහන් වී තිබිණ. එම ඉල්ලීම පරිදිම රේරුකානේ මහ නා හිමිගේ ආදාහනය ඉතා චාම් අයුරින් සිදු කොට පින් අනුමෝදන් කෙරිණි.