Print this Article


චිත්තප්‍රසාද කුසලය

චිත්තප්‍රසාද කුසලය


බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය කෙරෙහි සිත පහදා ගැනීම චිත්ත ප්‍රසාද කුසලය යි.

තුනුරුවන් හැඳීන ගැනීමට, තුනුරුවන් ගුණ තේරුම් ගැනීමට නො සමත් කරවන, තුනුරුවන් ගුණ වසන මෝහය, දේවාදීන් මැවුම්කරුවන්, ගැලවුම් කරුවන් ලෙස වරදවා පිළි ගන්නා දෘෂ්ටිය, අන්‍ය ශාස්තෘවරයන් ගැලවුම් කරුවන් ලෙස, සර්වඥයන් ලෙස පිළිගන්නා දෘෂ්ටිය, පරලොවක් නැත, පින් පව්වල විපාක නැත කියා පිළිගන්නා දෘෂ්ටිය, එසේ ද මෙසේ ද කියා දෙපැත්තට ඇදෙන විචිකිච්චාව, අන්‍යයන්ගේ ගුණවත් බව, උසස් බව, පූජ්‍ය බව, ඉවසිය නො හෙන ඊර්ෂ්‍යා‍ව, අන්‍යයන්ට ගරු බුහුමන් කිරීමට නො කැමති කරවන මානය, ධනය හා පස්කම් සැපය ම ලොව ඇති උසස් දෙය වශයෙන් සලකන තෘෂ්ණාව යනාදි ක්ලේශයෝ ගෞරවයෙන් තුනුරුවන් පිළිගැනීමට බාධා කරන ධර්මයෝ ය. සිත කිලිටි කරන ධර්මයෝ ය.

ප්‍රසන්න සිතින් කියනුයේ ඒ කෙලෙස් කුණු නැති සිත ය. සිතෙහි ඒ කෙලෙස් කුණු, කෙලෙස් කසට, කෙලෙස් අඳුර ඇති තාක් ඒ පුද්ගලයාට තථාගතයන් වහන්සේගේ සර්වඥභාවය පරිශුද්ධභාවය, පූජ්‍ය භාවය නො දැනෙන්නේ ය. නො පිළි ගැනෙන්නේ ය. තථාගත ධර්මයේ සත්‍යබව, නෛර්යාණික භාවය, පරිශුද්ධ භාවය, උත්තම භාවය නො දැනෙන්නේ ය. නො පිළිගැනෙන්නේ ය. සංඝයාගේ සුප්‍රතිපන්න භාවය, දක්ඛිණ්‍යෙය භාවය නො දැනෙන්නේ ය. නො පිළි ගැනෙන්නේ ය.

බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා වූ, නික්ලේශී වූ, පූජ්‍ය වූ මහෝත්තමයන් වහන්සේ යැයි ගෞරවයෙන් පිළිගතහොත්, ධර්මය හෝ පිළිගතහොත්, සංඝයා හෝ පිළිගතහොත් ඒ පිළිගැනීමෙන් ඉහත කී කෙලෙසුන් සිතෙන් බැහැර වී සිත ප්‍රසන්න වන්නේ ය. සිත පහදා ගැනීමයැ යි කියන ලදුයේ රත්නත්‍රය පිළිගෙන ඉහත කී කෙලෙසුන් දුරුකර ගැනීමට ය. ශ්‍රද්ධාවය යි කියනුයේ ද ගෞරවයෙන් තෙරුවන් පිළිගැනීමට ය.

චක්‍රවර්ති රජුගේ උදක පසාදක මාණික්‍යය බොර වතුරට දැමූ කල්හි ජලයේ බොර සියල්ල ඉවත් වී පෑදෙන්නාක් මෙන් ශ්‍රද්ධාව ඇති වූ කල්හි සිතෙහි බොර වූ දෘෂ්ටි, මෝහාදි කෙලෙසුන් පහවී සිත පැහැදෙන්නේ ය. තුනුරුවන් පිළිගන්නා ස්වභාවය වූ ශ්‍රද්ධාව ම කුසලයෙකි. ශ්‍රද්ධාවෙන් යුක්ත පහන් සිත ද කුසලයකි. ඇතැම්හු දානාදි අන්කිසි පිනක් නැතිව ශ්‍රද්ධාව උපදවා සිත පහන් කර ගැනීමෙන් ම මරණින් මතු දෙව් ලොව උපදිති.

‘පුණ්‍යාපදේශය’ ඇසුරිනි