හිරු සඳු මෙන් දීප්තිමත් පින කුමක්ද?
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
සූත්‍ර දේශනා අනුව මතු සසර සැප විපාක ගෙන දෙන සදාචාරාත්මක වශයෙන් නිවැරැදි හා යහපත්
කායික, වාචසික හා මානසික චර්යා පින යනුවෙන් සරල ව හැඳීන්විය හැකි ය. මෙම ක්‍රියා
විවිධ අයුරින් බුද්ධ දේශනාවල අන්තර්ගත ව තිබේ.
ඒ සියල්ල පරිස්සමින් කියවා බලා සමාලෝචනය කළහොත් පැහැදිලි වන්නේ වර්තමානයේ අප අදහස්
කරන හා විශ්වාස කරන හෝ පිළිගන්නා පුණ්‍ය සංඛ්‍යාවෙහිලා ගැනෙන බොහෝ ක්‍රියාකාරකම්වලට
වඩා වැඩි දෙයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනාකොට වදාරා ඇති බවයි.
බුදුරදුන් වදාළ පුණ්‍යක්‍රියා ප්‍රතිපත්ති පූජාවට වැඩි නැඹුරුවක් දක්වන අයුරු
තවදුරටත් ඒවා පරීක්‍ෂා කිරීමෙන් පැහැදිලි වේ. එහෙත් කාලයත් සමඟ පින යන්න ආමිස
පූජාවට සම්බන්ධකොට භාවිතයට පැමිණ ඇති බව බෞද්ධ සංස්කෘතියේ අන්තර්ගත ලක්‍ෂණ
හැදෑරීමෙන් සනාථ වේ.
පින යන්න ආමිසයට වඩා ප්‍රතිපත්තියට මුල් තැන ලබා දෙන්නක්ය යන්න පැහැදිලිවන බුද්ධ
දේශනාවකි ඛුද්දක නිකායේ ඉතිවුත්තක පාලියේ එන මෙත්තා චේතොවිමුත්ති සූත්‍රය.
එහි දැක්වෙන පරිදි භික්‍ෂූන් වහන්සේලා ඇමතූ බුදුරජාණන් වහන්සේ:
“මහණෙනි මතු සසර සැප විපාක ලැබෙන යම් පුණ්‍යක්‍රියා වස්තු සමූහයක් වේ ද ඒ සියල්ල
මෛත්‍රී චේතෝ විමුක්තිය තරම් සොළොස් කලාවෙන් එක් කලාවකුදු නොවටී. එසේම තාරකා සමූහය
අබිබවා සඳ එළියම බබළන්නාක් මෙන් ද, පහ වූ වලාකුළු ඇති දහවල් අහසෙහි හිරු එළිය
සියල්ල ඉක්මවා බබළන්නාක් මෙන් ද සියලුම පුණ්‍ය ක්‍රියා වස්තු අතුරින් මෛත්‍රී චේතෝ
විමුක්තිය ම බබළයි (භාසතෙච). දිලිසෙයි (විරොචති). එබැවින් (සුත්‍රය අවසානයේ එන ගාථා
අනුව) යම් කෙනෙක් එක් ප්‍රාණියෙකු කෙරෙහි වුව මෙත්සිත පතුරුවන්නේ නම් ඒ තැනැත්තා
කුසල සම්පන්නයෙක් වේ (කුසලො හොති). සියලු ප්‍රාණීන් කෙරෙහි අනුකම්පා කරන ආර්ය
ශ්‍රාවකයා බොහෝ පින්රැස් කරන්නෙකැයි කියනුම කවරේද?” යනුවෙන් දේශනා කළහ.
මෙම බුද්ධ වචනය අනුව මෙත් සිත දියුණු කිරීම සියලුම අවශේෂ පුණ්‍ය ක්‍රියාවලට වඩා
උසස් යැයි ද, මහාර්ඝ යැයි ද නිගමනය කළ හැකි ය. එය බුදුරදුන් විසින්ම වදාරන ලද්දකි.
මෙත් සිත ප්‍රගුණ කිරීම සෙසු සියලුම පුණ්‍ය කර්මවලට වඩා උසස් යැයි සඳහන් කරමින්
දේශනාකොට වදාළ සූත්‍ර රැසක් පිටක ග්‍රන්ථවල ඇතුළත් වේ. ඒ සියල්ලෙන් ම පැහැදිලි
වන්නේ බුදුරදුන් වදාළ පුණ්‍ය ක්‍රියා ප්‍රතිපත්ති පූජාවට කොතරම් සමීපවී තිබේද
යන්නයි. වෙනත් ආකාරයකට පවසන්නේ නම්, එය ප්‍රතිපත්ති පූජාවේ ම අංගයක් වී ඇති අයුරු
පැහැදිලි වේ.
කිසිදු මුදලක් වැය නොකොට සැම මොහොතකම ඉතා පහසුවෙන් කළ හැකි පහසු පින්කමක් තිබියදී,
ධනය නොමැති වීම නිසා පින්කමක් කරගැනීමට නොහැකිව ලතවෙන දිළිඳු බෞද්ධයන් කොතෙකුත්
දක්නට ලැබේ.
පින්කමේ ධර්මානුකූල අරමුණ නොතකා වෙනත් පටු ලාභ ප්‍රයෝජන සලකා ප්‍රචාරකවාදී ව ධනය
වැය කරන ධනවතුන්ට වඩා කිසිදු මුදලක් නොමැති දිළින්දෙකුට ඉහත සූත්‍ර දේශනාව මැනවින්
වටහා ගැනීම මහත් අස්වැසිල්ලක් වනවා නොඅනුමාන ය.
කිසිදු මුදලක් වැය නොකොට තම වාසස්ථානයෙන් බැහැරට නොගොස් සැම ඉරියව්වක දී ම ඉතා
පහසුවෙන් ප්‍රගුණ කළ හැකි මෙත්සිත වැඩීම මහා පරිමාණයේ පින්කමක නිරතවීමට වඩා උසස්
ආනිසංස ලැබෙන්නෙකැයි සූත්‍ර දේශනාවේ අන්තර්ගත අවසන් ගාථාවෙන් ඉදිරිපත් කෙරෙන
නිදසුනෙන් වටහාගත හැකි වේ.
ඒ අනුව විශාල මුදලක් ආයෝජනය කොට මහා පරිමාණයෙන් සිදුකරනු ලබන ධනවතකුගේ පින්කම්
සියල්ල අබිබවා දිළින්දාගේ මෙත් වැඩීම බබළන බවත්, එසේම එම දිළින්දා ධනවතාට වඩා බොහෝ
පින් රැස් කරන්නෙකැයි අමුතුවෙන් කිව යුතු නොවේ. මෙය මෙසේ දැක්වූයේ ධනවතාගේ පින්කම
අවතක්සේරු කිරීම පිණිස නොව පින්කමක් කරගත නොහැකි ව ඒ සඳහා ධනය බාධාවක් කොටගෙන ලතවෙන
ආර්ථික අපහසුතා සහිත සැදැහැවතුන් ධෛර්යමත් කිරීම සඳහා ය යන්න සිහිපත් කළ යුතු ය.
අනෙක් අතට පින්කිරීම සඳහා සැම විටම ධනය අත්‍යාවශ්‍ය යැයි සිතන ගිහි පැවිදි බොහෝ
දෙනකුගේ විශ්වාසය හා පිළිගැනීමට බුද්ධ වචනයෙන් අනුබල නොසැපයෙන බව පැහැදිලි කිරීම ද
මෙහි එක් අරමුණකි.
මෙත්තා චේතෝවිමුක්තිය වඩන පුද්ගලයාගේ සංයෝජන ධර්ම තුනී වන අතර ඔහු හෝ ඇය නිවන
දකින්නකු වශයෙන් යට දක්වන ලද සූත්‍ර දේශනාවෙහි ඇතුළත් වේ.
ඒ අනුව මෙත්සිත දියුණු කිරීම දුර සිට නිවන දකින්නෙකු බවට පත්වීමකි. බෞද්ධ භාවනා
කරමස්ථාන අතුරින් මෙත්තා කර්මස්ථානයට මෙතරම් වැදගත් තැනක් ලබාදී ඇත්තේ මේ නිසා විය
හැකිය. භාවනා කර්මස්ථානයක් වශයෙන් මෙත් සිත දියුණු කරන පිළිවෙත ථෙරවාද බෞද්ධ භාවනාව
සම්බන්ධයෙන් උපදෙස් සපයන ප්‍රධාන ග්‍රන්ථය වන විසුද්ධිමාර්ගයේ බ්‍රහ්මවිහාර
නිද්දේසයේ සැකෙවින් විස්තර කොට තිබේ.
ඒ අනුව මෙත් සිත වැඩීමට පෙර ක්‍රෝධයෙහි හා වෛරයෙහි ආදීනව පළමුව අවබෝධ කරගත යුතුවේ.
දෙවනුව ඉවසීමේ ආනිසංස අවබෝධ කරගැනීම අවශ්‍ය වේ. එයට හේතුව මෙත් සිත දියුණු කිරීමේ
මූලික අරමුණ ද්වේෂය සිතින් බැහැර කොට ඉවසීම ප්‍රගුණ කිරීම ය. මෙත් සිත දියුණු
කිරීමෙන් ලැබෙන ආනිසංස එකොළසක් මෙත්තානිසංස සූත්‍රයෙහි ඇතුළත් වේ. එසේම ක්‍රෝධය,
වෛරය, ව්‍යාපාදය, ආඝාතය, බද්ධ වෛරය ආදි වශයෙන් විවිධ නාමයන් යටතේ ද්වේෂයේ ආදීනව
ආඝාත පටිවිනය ආදි සූත්‍ර දේශනාවල සැකෙවින් සංග්‍රහ වී ඇත. එසේම කවර පුද්ගලයකුට වුව
ද්වේෂය නිසා වන මානසික හා කායික අපහසුතා මෙන්ම දුක් වේදනා තම අත්දැකීම් තුළින්ම
වටහා ගත හැකි ය.
මෙසේ මෙත් සිත දියුණු කිරීමේ ආනිසංස හා ද්වේෂයේ ආදීනව සැකෙවින් වටහා ගත් පුද්ගලයාට
ඉතා පහසුවෙන් තම සිතෙහි මිත්‍රත්වය හා ඉවසීමේ ගුණය රෝපණය කළ හැකිවේ.
මෙය භාවනා කර්මස්ථානයක් ලෙස සතර ඉරියව්වේ දී ම අනුගමනය කළ හැකි බව බෞද්ධයන් විසින්
නිතර සජ්ඣායනා කරනු ලබන කරණීය සූත්‍රයෙන් පැහැදිලි වේ.
ඒ අනුව මෙත් වැඩීම යනු නිරන්තරයෙන්ම පින් රැස් කිරීමකි. එය සිදුකරන සැම ඇසිල්ලක දී
ම සිතෙහි ද්වේෂය යටපත් ව ගොස් ප්‍රබල කුසල චේතනාවක් හා කුසල මූලයක් වන අද්වේෂය
හෙවත් මෙත් සිත වර්ධනයවීම සිදු වේ. එය දිගු කලක් පුහුණු කිරීම යනු තම සිත මෙත්තා
බ්‍රහ්ම විහරණයෙන් සන්නද්ධ කිරීමකි. |