Print this Article


ශික්ෂාකාමීන් අතරින් අග තැන්පත් වූ රාහුල මහ රහතන් වහන්සේගේ අතීත කතා පුවත

ශික්ෂාකාමීන් අතරින් අග තැන්පත් වූ රාහුල මහ රහතන් වහන්සේගේ අතීත කතා පුවත

ශික්ෂාකාමීන් අතරින් අග්‍ර වූ රාහුල තෙරුන් වහන්සේ අතීත සසර මඟ කරන ලද කුසලයන් බොහෝ ය. කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ හංසවතී නුවර ගොවි මහසල් කුලයක උපත ලැබූ මොහු කළ කුසලය පින්බර ය.

ඒ තම මුතුන් මිත්තන්ගෙන් ලැබී ඇති මහා ධනය වාසල් දොරටුව සිටදී ම දුගී මගී යාචකාදීන්ට පිදුම් දී පරලොව යහපත උදාකර ගැනීම පිණිස ය.

මොහු දිනක් මුව දෝවනයට පිටතට යද්දී එක්තරා ඍද්ධිමත් තාපස දෙදෙනකු අහසින් පැමිණ සිටිනු දැක එයින් එක් තාපසයෙකුට ආරාධනා කර, දන් දුන්නේ නිබඳව ය. අනෙක් තාපසතුමාට දන් දුන්නේ මොහුගේ යහළුවෙකි.

පළමු තාපසතුමා දන් වළඳා අවසානයේ දහම් දෙසන්නේ පඨවින්ධර නාග භවනෙහි සිත ඇදී යන ලෙස ය. මේ නිසා දන්දෙන පුරුෂයා සිත අලවා උපත ලැබුවේ පඨවින්ධර නාග භවනෙහි නා රජු ලෙස ය. මෙහිදී තමා උපන් ආත්මභාවය ගැන කළකිරුණු හෙතෙම මානවක වේශයෙන් කල්ගත කරන අවස්ථාවක දී පදුමුත්තර බුදුරදුන් සමඟ උපරේවත තෙරුන් වහන්සේ නාග ලෝකයට වැඩම කළ අයුරු අපූර්ව ය.

මෙහි විශේෂත්වය වන්නේ උපරේවත තෙරුන් වහන්සේ පදුමුත්තර බුදුන් වහන්සේ ගේ ගිහි කළ පුතණුවන් වීම ය. පඨවින්ධර මානවකයා බොහෝ සෙයින් පැහැදී ගියේ බුදුන් වහන්සේ හා සමාන වූ තෙරුන් වහන්සේ කෙරෙහි ය. උන්වහන්සේ අඟ පසඟින් හා බොහෝ ලක්ෂණයන්ගෙන් පදුමුත්තර බුදුන් වහන්සේ හා සමාන ය. මේ නිසා පඨවින්ධර මානවකයාට සිතුණේ, ‘මේ භික්ෂූන් වහන්සේ ඒකාන්තයෙන් ම මහත් වූ ගති ලක්ෂණ ඇති ශ්‍රේෂ්ට උත්තමයෙක් බව යි.

‘රූපයෙන් හා යසසින් බුදුන් වහන්සේ හා සමාන ය. මම ද අනාගතයෙහි මෙබඳු ගති ලක්ෂණ වලින් පිරිපුන් බුදු කෙනෙකුගේ පුතකු වන්නෙමි’ යි සිතීය. හෙතෙම සත් දිනක් මුළුල්ලේ ම බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහා සංඝයා වහන්සේට මහා දන් පවත්වා අවසානයේ දී තම පැතුම දන්වා සිටියේ පදුමුත්තර බුදුන් වහන්සේට ය.

මොහුගේ අභිප්‍රාය බුදු නුවණින් දත් බුදුන් වහන්සේ විවරණ ලබා දුන්නේ අනාගතයේ ගෞතම බුදුන් වහන්සේගේ ගිහි කළ පුතණුවන් වන බවට ය. එදා සිටම බොහෝ පින්දහම් කර දෙව් , මිනිස් සැප සම්පත් විඳීමින් සසර මඟ සැරි සැරූ මොහු නැවත භවයක් ලැබුවේ ඵුස්ස සර්වඥයන් වහන්සේගේ කාලයේ ය.

ඵුස්ස බුදුරදුන්ගේ පිය රජතුමා මහින්දය. රජතුමා විසින් ම බුදුරදුන්ට ඇප උපස්ථාන කළේ වෙනත් කිසිම කෙනෙකුට අවස්ථාවක් නොදෙමින් ය. මහින්ද රජුට වෙනත් බිසවකගේ පුතුන් තිදෙනෙක් සිටිය ද ඔවුන් ද කල් යල් බලා සිටියේ සර්වඥයන් වහන්සේට ඇප උපස්ථාන කිරීමට අවස්ථාවක් උදාවන තුරු ය. එකල එක්තරා දනව්වක කැරැල්ලක් හටගත් විට, එය හොඳීන් මර්දනය කළ පුතුන් තිදෙනා කෙරෙහි රජතුමා පැහැදී තම දරුවන්ට පැවසුවේ කැමැති වරයක් ඉල්ලන ලෙස ය.

එහිදී ඔවුන්, බුදුන් වහන්සේට ඇප උපස්ථාන කිරීමට තෙමසක කාලයක් ඉල්ලා සිටියේ බලවත් ඕනෑකමෙනි. එයට අකැමැත්තෙන් වුව ද රජතුමාගේ අවසරය ලද කුමාරවරුන්ට ඇති වූ සතුට බලවත් ය.

ඒ නිසා මහත් උනන්දුවකින් ඇප උපස්ථාන කිරීමට ඇප කැප වූ මේ තිදෙනා පුරුෂයන් තිදෙනෙක් පත් කර, එක් අයෙක් ධන ධාන්‍ය රැස් කිරීමට ද, තවත් අයෙක් ගණන් ප්‍රමාණ සොයා බැලීමට ද, තවත් අයෙක් දාන සංවිධානය කිරීමට ද යෙදවූයේ කිසිදු අඩුපාඩුවක් නොවන ලෙස ය.

මේ තිදෙනා අතර ධන ධාන්‍ය රැස් කළ පුරුෂයා ගෞතම බුදු සසුනේ දී බිම්බිසාර රජු ය. ගණන් බැලූ පුරුෂයා විශාඛ උපාසක ය. දාන සංවිධානය කළේ රට්ඨපාල තෙරුන් වහන්සේ ය. මෙසේ පින්කම් කළ රාජ කුමාරවරු තිදෙනා අතරින් රාහුල තෙරණුවන් වහන්සේ තවත් පෙර භවයක උපත ලැබුවේ කසුබ් බුදුන් වහන්සේගේ කාලයේ ‘කිකී’ රජුගේ දෙටු පුතු‘පඨවින්ධ කුමරු’ ලෙස ය. මොහු දිනක් බුදුන් වහන්සේට හා භික්ෂූන් වහන්සේලාට වාසය පිණිස විහාර පන්සියයකින් යුතුව කළ පූජාවේ පින්කම ඉමහත් ය. සසරේ අවසන් ආත්ම භාවයේ දී මොහු උපත ලැබුවේ යසෝදරා දේවීන් තම මෑණියන් ලෙසත්,ගෞතම බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළ දිනට පෙර දිනයේදී ය.මෙලෙස උපත ලද පින්බර කුමරු ‘රාහුල’ ය.

සසර දුකෙහි නිවීම සෙවීමේ නික්ම යාමට බාධකයක් ලෙස එදිනම උපන් කුමරුට , ‘රාහුලොජාතො බන්ධනං ජාතං...’ යනුවෙන් රාහුලයෙක් උපන්නේ ය. බැඳීමක්, බැම්මක් හට ගත්තේ ය යනුවෙන් සිදුහත් කුමරු පැවසූ නිසා, මොහුට ‘රාහුල’ නාමය තැබුවේ සුද්ධෝදන රජතුමා ය. බෝසතුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් විරහ වේදනාවෙන් සිටි යශෝධරාවන්ට එකම සැනසීම වූයේ කුඩා රහල්කුමරු ය. බුදුරදුන් කිඹුල්වත් නුවරට වැඩි තෙවන දිනයේ මහ මඟ වැඩම කළ බුදුරදුන් මාලිගයේ සිට පෙන්වූ යශෝධරාවෝ රාහුල පුතුන් පිටත් කර යැව්වේ පියාණන්ගෙන් දායාද ඉල්ලා ගන්නා ලෙස ය.

වහා දිවගිය සුරතල් කුමරු බුදුරදුන්ගේ සුළඟිල්ලෙහි එල්ලී දායාද ඉල්ලමින් සුරතල් බස් තෙපලමින් විහාරයට පිවිසියේ සත් වසරක් නොලද පිය සෙවණෙහි විසීමට ය. එහිදී බුදුන් වහන්සේ ‘මොහු මගෙන් දායාද ඉල්ලමින් සිටින’ නිසා පැවිදි කරන ලෙස බාර දුන්නේ සැරියුත් තෙරුන් වහන්සේට ය.

එදා ගෞතම බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය දරාගත නොහැකි වූ රජතුමාට එකම සැනසීම වූයේ කුඩා රාහුල පුතණුවන් ය. සත් හැවිරිදි කුඩා සුරතල් රාහුල කුමරු ද බුදුරදුන් කිඹුල්වත් පුරට වැඩම කළ තෙවන දිනයේ දී ම විහාරයට ගෙන පැවිදි කිරීමෙන් සුදොවුන් රජුට ඇති වූයේ මහත් කම්පාවකි.

මේ නිසා ශෝකයෙන් හඬමින් පැමිණි සුදොවුන් රජතුමා බුදුරදුන් අමතා පැවසුවේ,පුත්‍ර ස්නේහය මව්පියන්ගේ සිරුරෙහි ඇට මිදුලු සිසාරා පැතිර පවතින බව යි. ඒ නිසා මව්පියන්ගෙන් අවසර නොගෙන දරුවන් පැවිදි නොකරන්නැ’යි පැවසුවේ හැඬූ කදුළෙනි. බුදුන් වහන්සේ රජතුමා සනසා, භික්ෂූන් වහන්සේ අමතා ‘මව්පියන් අනුනොදත් දරුවන් පැවිදි නොකරන’ ලෙස විනය නීතියක් ද පැනවී ය.

මෙලෙස රාහුල කුමරුට පැවිදි බව ලබා දී ඔවදන් ලෙස දේශනා කළ සූත්‍රය ‘රාහුලෝවාද සුත්‍රය යි.’ රාහුල සාමණේරයන් වහන්සේගේ දින චර්යාවේ ප්‍රථම කාර්යයන් වූයේ හිරු නැඟෙන්නට පෙර විහාර මලු පෙත් ඇමදීම, බුදු පියාණන්ට සහ තම ගුරුවරයා වූ සැරියුත් තෙරුන් වහන්සේට මුව දෝවනයට පැන් තැබීම ය. මලුවට පැමිණෙන රාහුල තෙරණුවන් වහන්සේ වැලි දෝතක් ගෙන ‘මේ වැලි කැට පමණට අවවාද ලැබේවා ‘යි ප්රානර්ථනා කරන්නේ ආදර්ශවත් ලෙස ය. දිනක් විහාරයේ හාමුදුරු නමක් මලුව ඇමදූ ඉදල එහි ම දමා ‘රාහුල හාමුදුරුවන් මලුව ඇමදූ ඉදල නිසි තැන තබා නැතැ’යි බොරුවට දොස් නැඟුව ද රාහුල තෙරණුවන් වහන්සේ එය නිසි තැනම තැබුවේ කෝප නොගෙන ය. තවත් දිනක හාමුදුරුනමක් ඇමදූ මලුවට කුණු රොඩු ගෙනත් දමා මලුව හරිහැටි ඇමද නැතැයි චෝදනා කළ ද රාහුල තෙරණුවන් කිසිවිටකත් කෝප වූයේ නැත. මෙලෙස අතිශයින් ම නිහතාමානී ගුණාංගයන්ගෙන් යුතු උන්වහන්සේ, පියාණන් වහන්සේටම සුදුසු පුතණුවන් බව දිනක් භික්ෂූන් වහන්සේ අතර ඇති වූ කතා බහකි. රාහුල තෙරුන් වහන්සේගේ ගුණ සඳහන් වන්නේ මෘග ජාතකයේ ය. සත් හැවිරිදි තෙරුන් වහන්සේ ළදරු වියෙහි සිටි බැවින් කෙළියකටවත් දැන, දැන බොරු නොකියන්නැ’යි බුදුන් වහන්සේ දේශනා කළේ ‘අම්බලට්ඨික සූත්‍රය ඇසුරෙනි.

දිනක් අටළොස් හැවිරිදි රාහුල තෙරුන් වහන්සේ පිඬු සිඟා වඩිද්දී තමන්ගේ ද, බුදුන් වහන්සේගේ ද සමාන රූප සම්පත්තිය බලා ‘මේ මාගේ පියාණෝ ය’ යනුවෙන් ඇතිවූයේ ‘ගේහසික ප්‍රේමයකි’. ඒ කෙලෙස් බර සිත දුරු කර ගැනීම පිණිස බුදුන් වහන්සේ දේශනා කළේ ‘රාහුලෝවාද සූත්‍රය යි.’ නුවණ මුහුකුරා ගිය විසි හැවිරිදි රාහුල තෙරුන් වහන්සේ ‘චුල්ල රාහුලෝවාද සූත්‍රය’ දේශනාව අසා රහත් ව, පසු කලෙක ගෞතම බුදු සසුනේ ශික්ෂාකාමීන් අතරින් අග්‍ර බවට ලැබූ තනතුර විශිෂ්ට ය.

බුදුන් වහන්සේට පෙර පිරිනිවන් පෑ රාහුල මහ රහතන් වහන්සේගෙන් ලොකු කුඩා සැමට ගත හැකි ආදර්ශයන් බොහෝ ය. ඒ නිහතමානීකම, ඔවදන් පිළිපැදීම, කීකරුකම, ඉවසීම ආදී බෝසත් ගුණාංග යි.