Print this Article


ප්‍රගුණ කොට පිළිපැදිය යුතු මෙත් සුතුර

ප්‍රගුණ කොට පිළිපැදිය යුතු මෙත් සුතුර

පොල්ගහවෙල වෙහෙරපිටිය
විද්‍යාර්ථොදය මහ පිරිවෙන්හි
ගරු පරිවේණාධිපති ශාස්ත්‍රපති,
වල්ගම සුමනසිරි හිමි

හැම දෙනකු කෙරෙහි ම මෛත්‍රී සිතින් යුක්ත ව පිළිපැදිය හැක්කේ එයට සුදුසු පරිදි සකස් වූ සිතක් ඇති කෙනෙකුට පමණි.

කටයුතුවල දක්‍ෂකම, සත්‍යයෙහි පිහිටා සියලු තැන්හි දී ක්‍රියා කිරීමට ඇති හැකියාව, වැඩිහිටියන්ගේ අවවාද හා උපදේශ නොමැළිව පිළිපැදීම, තමන් උසස් කොට සිතමින් අන්‍යයන් පහත් ලෙස නොසැලකීම ආදී ගුණාංග වලින් සිත සකස් කර ගත් කෙනෙකුට සියලු සතුන් කෙරෙහි මෙත් සිත් පැතිර වීමට හැකි වන්නේ ය.

ඉහත කී ගුණාංග ඇති කර ගැනීම පුද්ගලයාගේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වෙයි. හොඳ නරක, යහපත අයහපත වෙන් වශයෙන් දැන හඳුනා ගෙන, යහපත් ක්‍රියාවන්හි නැවත නැවත යෙදීමේ හැකියාව හා ඒ සඳහා කැමැත්ත ඇති කර ගැනීම මෙලොව අභිවෘද්ධියට සාධකයක් වනු ඇත. ඉගෙන ගන්නා කුඩා ළමයා එම කාර්යය කෙරෙහි කැපවීමෙන් හා උත්සාහයෙන් දක්‍ෂ ලෙස ක්‍රියා කරන්නේ නම් එම කාර්යයෙන් සාර්ථක ප්‍රතිඵල ඔහුට නොලැබේ යැයි සිතිය නොහැකි ය.

වංක ලෙස ජීවත් වන පුද්ගලයා බොහෝ විට පිරිහීමට පත් වන්නෙකි. ඔහු තුළ කිසි විටෙක සත්‍ය පිහිටන්නේ නැත. බොරුව, කපටිකම වැනි දුර්ගුණ ඔහු තුළ නිතර පවතී. නොයෙක් කරදර වධහිංසා වලට ඔහු ලක්වනු ඇත. අවංකකම, සත්‍යවාදී බව, සුවච බව, ආදී ගුණාංග වලින් තොර වූ විට මෙලොව දියුණුවක් හෝ පරලොව දියුණුවක් ඔහුට බලාපොරොත්තු විය නොහැකි ය.

කීකරුකම, නිහතමානීකම කුඩා කල සිටම හැම දෙනා විසින් ම ඇති කර ගත යුතු තවත් ගුණ ධර්ම දෙකකි. වැඩිහිටියන්ගේ අවවාද මැනවින් පිළිගෙන එම උපදේශයන් හි නො මැළිව පිහිටා ක්‍රියා කිරීමෙන් කිසි වෙකුටත් අවැඩක් සිදු නොවේ. යහපත් අවවාදයන් හි පිහිටා කටයුතු කරන්නා තුළ මානය, අහංකාරය වැනි දුර්ගුණයන් ඇති නොවේ. ගරු කළ යුත්තන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට සැලකීම ආදී ගුණාංග ඇති පුද්ගලයා හැම දෙනාගේම ප්‍රශංසාවට ලක් වෙයි. නිහතමානී බව මෙහිලා අවධාරණය වන වැදගත් ගුණ ධර්මය යි. එනිසාම එවැනි තැනැත්තා ධාර්මික, චාම් ජීවිතය ප්‍රිය කරන්නෙක් වෙයි. ලද දෙයින් සතුටු වන්නෙක් ද වෙයි.

මෙත් සිතිවිලි ඇති වන්නේ සංවර වූ සිතක මිස අසංවර වූ සිතක නොවේ. පසිඳුරන්ට හසුවන හැම අරමුණක් කරා වහා සිත ඇදෙන තැනැත්තා කෙරෙහි මෙත් සිතිවිලි පහළ කර ගැනීම අපහසු දෙයක් වෙයි.

මෙත් සිත් ඇති නොවන විට වෛරය, ඊර්ෂ්‍යාව වැනි අයහපත් සිතිවිලි ඔහු තුළ පවත්නේ ය. පුද්ගලයාගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය හා ලෞකික දියුණුව අවුරන කරුණක් ලෙස වෛරය ආදිය සැලකිය යුතු ය. එහි දී මෙලොව අභිවෘද්ධිය ඔහු කෙරෙන් වහ වහා ඈත් වන්නේ ය. අසහනය, සංතාපය, දුක් වේදනා ආදියෙන් ඔහුගේ සිත නිරන්තරයෙන් ම යුක්ත වන්නේ ය. අසීමිත ආශාවෙන් වෙලී ඉදුරන් පිනවීමට වෑයම් කිරීම නිසා ඔහු මෙවැනි තත්වයට පත්වෙයි.

බද්ධ වෛරය හදවත නිරතුරුව ම දවන තවත් ගින්නක් වැනි ය. ක්‍රෝධය ද එසේම ය. මෛත්‍රිය හදවත සිසිල් කරන සිහිල් ජලයකි. අනුනට වෛර කරන්නා නිරතුරුව ම ඊෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් පසුවෙයි. එවිට ඔහු තුළ ඇති වන සිතිවිලි නපුරු සිතිවිලි ය. ඔහු කරන ක්‍රියා බොහෝ විට නපුරු ක්‍රියාවන් ම වන්නේ ය. එ නිසාම ඔහුගෙන් අන්‍යන්ටත්, තමාටත් අයහපතක් මිස යහපතක් සිදු නොවෙයි.

“සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා” යනා දී වශයෙන් සිතින් ප්‍රාර්ථනා කිරීම ම පමණක් මෛත්‍රිය කිරීමක් ලෙස නොසැලකිය හැකි වන්නේ ය. එය ඕනෑම කෙනෙකුට, ඕනෑම අවස්ථාවක කළ හැකි දෙයකි. මෛත්‍රිය කිරීම, මෛත්‍රිය වැඩීම යනුවෙන් අප මෙහි දී සැලකිය යුත්තේ පළමු ලෙස සිතින් ප්‍රාර්ථනා කිරීම පමණක් නොව ලෝකයේ යම්තාක් ජීවත් වන සත්ව කොට්ඨාශයක් වෙත් නම් ඒ හැම කොටසක් කෙරෙහි ම සමව සිතා ක්‍රියා කිරීමයි.

මෛත්‍රිය කරන්නා තුළ දානය, පරිත්‍යාගය, මොළොක් බව සත්‍ය, අවංකකම ආදී ගුණාංග වඩ වඩාත් වර්ධනය වෙයි. එම ගුණ ධර්ම වඩා වර්ධනයවීම ඔහුගේ ලෞකික අභිවෘද්ධිය ඇති වීමට හේතු වෙයි.

මෙසේ උසස් ගුණාංග වලට හුරු පුරුදු වූ තැනැත්තා ආධ්‍යාත්මික දියුණුවෙන් උසස් තත්වයට පත් වන්නේ ය. ඔහු යහපත් දර්ශනයෙන් යුතුව වැරැදි නිවැරැදි මඟ හඳුනාගෙන වැරැදි මඟෙන් වෙන්ව යහපතෙහි ගමන් කරන්නෙක් වනු ඇත. එහි දී ඔහු සීලයෙන් හෙවත් සංයමයෙන් යුක්ත වූයේ වෙයි. චිත්ත පාරිශුද්ධියෙන් යුක්ත වූවෙක් වෙයි. දැඩි ආශාවෙන්, තණ්හාවෙන් තොර වූවෙක් වෙයි. චාම් දිවි පැවතුමින් යුක්ත වූයේ වෙයි. මෙවැනි ඇවතුම් පැවතුම් ඇති නිසා ඔහු මෙලොව හා ලෝකෝත්තර දියුණුව ද උභය ලෝකාර්ථ සිද්ධිය සලසා ගන්නෙක් ද වන්නේ ය.