ලෝ පතළ පඬිවරුනට නිජබිමක් වූ රත්මලානේ පුරාණ විහාරය
මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය
විද්‍යාපති
ඉංජිනේරු දිමුතු පුන්සර කොළඹගේ
විද්‍යොදය, විද්‍යාලංකාර පිරුවන් ආරම්භ කරමින් අසහාය ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කළ
මහා යතිවරයාණන් වහන්සේලාගේ මූලස්ථානය ලෙසින් සැලකුණු, පෑලියගොඩ විද්‍යාලංකාර
පිරුවනෙහි මාතෘස්ථානය ලෙසින් දෙස් විදෙස් සම්භාවනාවට පත් 'රත්මලානේ පුරාණ විහාරය'
කොළඹ සිට ගාල්ලට දිවෙන මහා මාර්ගය පේන මානයේ පිහිටා ඇත.
මෙම විහාරස්ථානයේ ආරම්භය දේවානම්පියතිස්ස රජු දවස තෙක් දිව යන බව පිළිගැනීම යි. මහා
බෝධිවංසයේ සඳහන් මහාජල්ලික නම් කෙවුල් ගම රෝපිත දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ මෙම
ස්ථානයේ වැඩ හිඳීන බවත්, දේවානම්පියතිස්ස රජු රට පුරා යොදුනෙන් යොදුන තැන වූ
විහාරස්ථානයක් ලෙසත් මෙම විහාරස්ථානය හඳුන්වයි.
කෝට්ටේ යුගයේ අගනුවරට සමීප රාජකීය රත්මල් උයන හෙවත් රත් මල් ආන පිහිටි හෙයින්
රත්මලාන නම් ලද මේ ප්‍රදේශයේ එවක ද සම්භාවනීය විහාරස්ථානයක් වශයෙන් මෙම පුදබිම
පැවති බව අනුමාන කළ හැකි ය.
ස්‍යාමෝපසම්පදාව මෙරට පිහිටුවීමෙන් පසු කොළඹ ප්‍රදේශයේ ශාසනෝද්දීපනිය පිණිස වැලිවිට
සරණංකර සංඝරාජ හිමියන් විසින් එවන ලද ගිනිගත්පිටියේ සංඝරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍ය
ආසිදෙණියේ ධර්මකීර්ති හිමියන් ප්‍රථමයෙන්ම වස් වසමින් පුනර්ජීවය ලබාදුන්
විහාරස්ථානය රත්මලානේ පුරාණ විහාරය යි. ආසිදෙණියේ ධර්මකීර්ති හිමියන්ගෙන් පසු තලංගම
සෝභිත හිමි, මරලුවාවේ සෝභිත හිමි, අඬුපේ සෝණුත්තර හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක
හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි යන හිමිවරුන් මෙම විහාරස්ථානයේ විහාරාධිපති
පදවිය හෙබ වූහ.
|
|
රත්මලානේ
ධර්මාරාම නාහිමි |
රත්මලානේ
ධර්මාලෝක මාහිමි |
රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමියන් වහන්සේ සහ තත්ශිෂ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාරාම
නාහිමියන් වහන්සේ වර්ෂ 1875 නොවැම්බර් මස පළමු දින ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය
ප්‍රාචීන භාෂා සහ බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙසින් සම්භාවනාවට පත් පෑලියගොඩ
විද්‍යාලංකාර පිරුවන ආරම්භ කළහ.
රත්මලානේ පුරාණ විහාරයේ වෙහෙර වහන්සේ කවර කලෙක තනවන ලද දැයි නිශ්චිත ව හඳුනාගත
නොහැකි අතර, වෙහෙර මලුවේ හමුවන ඉපැරැණි සෙල් පුවරුවකට අනුව බුද්ධ වර්ෂ 2461දී
ප්‍රතිසංස්කරණය කොට ඇත.
පෞරාණික දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ සමීපස්ථ ව තවත් පරිවාර බෝධීන් වහන්සේලා දෙනමක් ද
වැඩ හිඳී නිසා මෙම පුදබිම තුන් බෝධිය ලෙසින් ද ව්‍යවහාර කරනු ලබයි. මීට සමීපව කලින්
කලට නවීකරණය වූ මහනුවර යුගයේ ලක්ෂණ සහිත පෞරාණික විහාර මන්දිරය ද පිහිටා ඇත.
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සටහන්වලට අනුව එතුමන් උපත ලද වකවානුවේ දී කොළඹ
නගරයේ සැදැහැවතුන්ට පොහෝ දින සිල් සමාදන්වීමට පැවතියේ කොළඹින් සැතපුම් දහයක්
උතුරින් පිහිටි කැලණි විහාරය සහ කොළඹින් සැතපුම් හතක් දකුණින් පිහිටි රත්මලානේ
පුරාණ විහාරය පමණි.
වර්ෂ 1838 දී රත්මලානේ දායක පිරිසගේ ඇරයුම පරිදි වලානේ ශ්‍රී සිද්ධාර්ථ මා හිමියන්
වහන්සේ මෙම විහාරස්ථානයේ වස් විසීමට වැඩම කොට බෙල්ලන්විල බෝධි සමීපාරාමයේ උඩුගම්පොල
රතනපාල මා හිමි,බටුවන්තුඩාවේ දේවරක්ඛිත හිමි, හික්කඩුවේ සුමංගල හිමි, රත්මලානේ
ධර්මාලෝක හිමි ඇතුළු පසුකලෙක ලෝක මට්ටමේ පඬිවරුන් ලෙස සම්භාවනාවට පත් හිමිවරුන්ට
ඉගැන්වීම් කටයුතු සිදු කළ අතර, වර්ෂ 1841දී මීට නුදුරින් පිහිටි බිම්කඩක
පරමධම්මචේතිය පිරුවන ආරම්භ කළහ. නැවතත් 1860 වර්ෂයේ සිට රත්මලානේ ධර්මාලෝක මා
හිමියන් රත්මලානේ පුරාණ විහාරයේ ඉගැන්වීම් කටයුතු සිදු කළහ. පරමධම්මචේතිය පිරුවනෙහි
අධ්‍යාපනය ලබන කාලයේ දී පවා හික්කඩුවේ සුමංගල නා හිමියන් ඇතුළු ශිෂ්‍ය හිමිවරුන්
පුරාණ විහාරයේ වැඩ හිඳීමින් ස්වකීය අධ්‍යාපන කටයුතු සිදු කොට ඇත. විද්‍යාලංකාර
පිරුවන පිහිට වූ පසු ශ්‍රී ධර්මාලෝක සහ ශ්‍රී ධර්මාරාම මා හිමිවරුන් පිරුවන නො
පැවැත්වෙන දිනයන්හි රත්මලානේ වැඩහිඳීමින් ශාසනික කටයුතුවල නිරත වූහ.
විද්‍යාලංකාර ගුරු කුලයෙහි සිළුමිණ වන් රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමියන් මෙහි
විහාරාධිපතීත්වය දරන ලද වකවානුවෙහි දී 1904 වර්ෂයේ විහාරස්ථානයේ ධර්මශාලාව තනවන ලද
අතර, එහි විවෘත කිරීමේ පින්කම වශයෙන් එවක ලක්දිව වැඩසිටි ධර්ම දේශක හිමිවරුන් වූ
බොරලැස්ගමුවේ පරමධම්මනිවේස පරිවේණාධිපති ගොඩිගමුවේ සරණතිස්ස මා හිමි, රත්මලානේ
පුෂ්පාරාමාධිපති ආභිධම්මික මාදම්පේ ධම්මාධාර නා හිමි, මාලිගාකන්දේ විද්‍යෝදය
පරිවේණාධිපති හික්කඩුවේ සුමංගල නා හිමි, රත්මලානේ පරමධම්මචේතිය පරිවේණාධිපති වලානේ
ධම්මානන්ද නා හිමි යන හිමිවරුන් ලවා රැය පහන් වනතුරු චතුරාර්ය සත්‍යය තේමා කොට
ගනිමින් ධර්ම දේශනා සතරක් පැවැත් වූ බව කියැවේ.
වර්ෂ 1925 පමණ වකවානුවේ විද්‍යාලංකාර පිරුවනේ උප ප්‍රධානාචාර්ය මාදෝවිට ඤාණානන්ද
හිමියන්ගේ සහ කෝදාගොඩ ඤාණාලෝක නා හිමියන්ගේ මූලිකත්වයෙන් රත්මලානේ පුරාණ විහාර
පිරුවනක් නැවත ආරම්භ කොට ඇත. නිදහස් සටනේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ ටිබෙට් ජාතික
එස්. මහින්ද හිමියෝ 1930 වර්ෂයේ දී ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන්ගේ
උපාධ්‍යායත්වයෙන් මෙම විහාරයේ දී පැවිදිබව ලැබූහ. නිදහස් ලංකාවේ තෙවන අග්‍රාමාත්‍ය
ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා වාසය කළ කඳවල වලව්ව ද මීට නුදුරින් පිහිටා තිබීම
නිසා එතුමන්ගේ දායකත්වයෙන් නව විහාර මන්දිරය තනවන ලදි. විද්‍යාලංකාර පරිවේණාධිපති
ධූර හොබවන ලද කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නා හිමි , යක්කඩුවේ ප්‍රඥාරාම නා හිමි,
නාත්තන්ඩියේ ප්‍රඥාකර නා හිමි, වැලමිටියාවේ කුසලධම්ම නා හිමි ආදී නාහිමිවරුන් හා
වඩුවාවේ සෝභිත හිමි, කොළඹ පළාතේ උපප්‍රධාන සංඝනායක කිරිගල්පොත්තේ ඉන්දජෝති නා හිමි,
අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨාධිපති මහාචාර්ය කොටනෙළුවේ චන්දජෝති මා හිමි,
හෙවෙස්සේ නන්දාරාම මාහිමි, කොටනෙළුවේ පුඤ්ඤානන්ද මා හිමියන් වහන්සේ ද මෙම පුදබිමෙහි
උන්නතිය උදෙසා ඇප කැප වී ක්‍රියා කළහ.
විහාරස්ථානයට අයත් බිමෙහි ධර්මාලෝක විද්‍යාලය සහ ධර්මාරාම විද්‍යාලය යනුවෙන්
ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය පාසල් දෙකක් ආරම්භ කොට රජයට පිරිනමා ඇති අතර, මින්
ධර්මාරාම විද්‍යාලය අද දක්වා පවත්වාගෙන එනු ලබයි.
රත්මලානේ පුරාණ විහාරයේ මහානුභාව සම්පන්න බෝධීන් වහන්සේලා ලෙසින් සම්භාවනීයත්වයට
පත් වී ඇති නිසා දවසේ කවර නම් වෙලාවක වුවද සැදැහැවතුන්ගේ වන්දනාමානයට පත්වනු ලබයි.
දෙස, බස, දැය, සමය උද්දීපනය කළ මහා පඬිවරුන්ගේ පහස ලද විද්‍යාලංකාර පිරුවන් අනුබද්ධ
පින්බිමක් ලෙස මෙන් ම දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ නමක් වැඩ සිටින නිසා හුදී ජන
වන්දනමානයට පත් වන සුවිශේෂී පුදබිමක් ලෙස රත්මලානේ පුරාණ විහාරය හඳුන්වා දිය හැකි
ය. |