Print this Article


ශ්‍රද්ධාව බහුල භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ වක්කලී මහ රහතන් වහන්සේ

ශ්‍රද්ධාව බහුල භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ වක්කලී මහ රහතන් වහන්සේ

බොහෝ දෙනෙක් ප්‍රඥාව කරා ගමන් කරන්නේ ශ්‍රද්ධාව දියුණු කර ගැනීමෙනි. එහෙත් අද සඳහන් කරන වක්කලී තෙරුන් වහන්සේ ප්‍රඥාව කරා ගමන් කළේ අධික වූ ශ්‍රද්ධාව අඩු කර ගැනීමෙනි. එතරම් ම ශ්‍රද්ධාවන්ත වූ උන්වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් අතර බැබළෙන ශ්‍රද්ධාව බහුල භික්ෂූන් වහන්සේ අතුරෙන් අග්‍ර ය.

උන්වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ එක්තරා කුල පුත්‍රයෙක් ලෙස සදහම් අසන අවස්ථාවේ දී දුටු දසුන කදිම ය.

ඒ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට ශ්‍රද්ධාවිමුක්තික භික්ෂූන් අතුරෙන් අග්‍රව පිහිටුවීම යි.

තමා ද අනාගතයේ දී එබඳු පදවියක් ලබා ගැනීම උදෙසා සත් දිනක් මුළුල්ලෙහි ම බුද්ධ ප්‍රමුඛ මහා සඟරුවනට දන් පූජා කර අවසානයේ බුදුන් වහන්සේට දන්වා සිටියේ තම අදහස ය. සෙසු අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා පෙර සසර භවයන්හි දී විවරණ ලැබීමට භාග්‍යවත් වූ වා සේ ම, මෙම කුල පුත්‍රයා ද පදුමුත්තර බුදුන් වහන්සේගෙන් විවරණ ලැබුවේ තම අදහස ගෞතම බුද්ධ ශාසනයේ දී ඉටු වන බවට ය.

ඔහු බොහෝ කාලයක් පින් දහම් කර දෙව්, මිනිස් සැප විඳ අවසන් ආත්ම භාවයේ දී සැවැත් නුවර එක්තරා බමුණු කුලයක උපත ලැබුවේ වක්කලී නාමයෙනි.

ති‍්‍රවේදයෙන් පරතෙරට ගිය මොහු මහ මඟ වඩිනා බුදුරදුන් දැක, ඒ අසම සම රුව කෙරෙහි වශී වී ගියේ ‘මෙබඳු ශෝභා සම්පන්න අසිරිමත් රුවක් කිසිදා නොදුටුවෙමි’යි සිතාගෙන ය. එදා සිටම වක්කලී බමුණා බුදුන් වහන්සේ නිබඳව දැකීමේ අදහසින් බුදුරදුන් පිටුපසින් ගමන් කළේ සෙවණැල්ලක් සේ ය. බුදුන් වහන්සේ විහාරයට වැඩම කරද්දී විහාරයට යයි. සදහම් දෙසද්දී ශී‍්‍ර දේහය දෙසම බලා සිටී. ගිහිව වාසය කිරීමෙන් බුදුන් වහන්සේ දැකීම අපහසු බව දැන පැවිදි වී, එදා සිටම සම්බුදු රුවෙහි අසිරිය බලා සිටියේ නිබඳව ය.

එය පණ්ඩිත ගණේගම සරණංකර නා හිමියන්ගේ බුදු හාමුදුරුවෝ කෘතියෙහි මෙලෙස සඳහන් ය. ‘වක්කලී නමැති මානවකයෙක් දිනක් බුදුරදුන් දැක, ඒ අනුපම රූප ශී‍්‍රයෙන් වශී වී ඒ දෙසම බලා සිට, මේ අරුම පුදුම රූපය මුළු ජීවිතයේ දී ම දැක දැක ඉන්නට කළ යුතු එකම දෙය උන්වහන්සේ ළඟ පැවිද්ද ලබා ගත්තේ ය. පැවිදි වූයේ සසර කළකිරී හෝ නිවන් දැකීමට හෝ නොව තනිකරම බුදුරදුන්ගේ රූපය දැක, දැක ම සිටීමට බැවින් බුදුරදුන් යම් තැනක ද එතැනට ගොස් පේන තෙක් මානයේ කොතැනක හෝ වාඩි වී සිට බුදුරදුන් දෙස බලා සිටීම දින චරියාවක් ලෙස කර ගෙන ආවේ ය.’ යනුවෙනි.

මෙවන් හැසිරීම් රටාවකින් යුතු, වක්කලී තෙරුන් වහන්සේ ඇමතූ බුදුන් වහන්සේ, ‘කිං තෙ වක්කලි ඉමිනා පූතිකායේන දිඨෙටථ’ යනුවෙන් වක්කලී, ඔබට මගේ මේ කුණු ශරීරය බලා සිටීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? යනුවෙන් පවසා මා හරිහැටි දකින්නට ඕනෑනම්, මා දේශනා කළ ධර්මය හරි හැටි දකින්න යැ’යි, අවවාද දුන්නේ ඉතා ගැඹුරු අර්ථවත් ලෙස ය. මෙයින් ද වක්කලි හිමියන්ගේ ඉරියව්වෙහි වෙනසක් නොවූ හෙයින් වස් වසන කාලයක බුදුරදුන් ඔවදන් දුන්නේ මෙතනින් වහා පිටත් වන ලෙස ය.

එහිදී මහත් කම්පාවට පත් වක්කලී තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ මා හා කථා නොකරයි.තෙමසක් බුදුන් හමුවේ සිටීමට නොහැකිව මගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද? යනුවෙන් සිතා ගිජ්ජකූට පර්වතය මත නැඟ සිටියේ සිය දිවිතොර කර ගැනීමේ අදිටනෙනි.

උන්වහන්සේගේ සිතෙහි ඇති විඩාව දැන ගත් මහා කාරුණික බුදුන් වහන්සේ ‘මා වෙතින් යම් සහනයක් නොලැබුණොත්, වක්කලී තෙරුන් වහන්සේ මාර්ගඵලයත් ඉපදවීමට හේතු සම්පත් නසාගන්නේ යැයි සිතා ආලෝකයන් දසත පැතුරුවේ අසිරිමත් ලෙස ය. එයින් මහත් සතුටට පත් වක්කලී තෙරුන් වහන්සේගේ සිත බුද්ධ ශි‍්‍රයාවෙන් පිරී ගියේ ‘වියළි වැවක් සැඩ දිය පහරකින් පුරවන්නා සේ ය’.

එහි දී බුදුරදුන් ශී‍්‍ර හස්තය දිගු කර , “වක්කලී එන්න බිය නොවන්න, තථාගතයන් වහන්සේ ඔබ දෙස බලා සිටී යනුවෙන්‘මඩේ එරුණ ඇතෙකු එයින් ගොඩ ගන්නා ලෙස මම ඔබව උඩට ඔසවා තබන්නෙමි, එන්න වක්කලී බිය නොවන්න. රාහු විසින් අල්ලාගත් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහුගෙන් ගලවා ගත්තාක් මෙන් මම ඔබව සසරින් ගලවාලන්නෙමි, යනුවෙන් බුදුන් වහන්සේ ගාථා වදාළහ. ‘දස බලධාරීන් වහන්සේ මා දක්නා ලදී. එන්න යැයි මට ආමන්ත්‍රණය කරයි’ යනුවෙන් බලවත් චිත්ත පී‍්‍රතිය උපදවා ගෙන යන එන මං සිහිපත් කර ගැනීමට නොහැකිව අහසට පැන නැඟී සිටියේ පළමු පාදය පර්වතය මත තිබියදීම ය. එහි දී බුදුරදුන් වදාළ , ගාථා විමසා නැඟුණු පී‍්‍රතිය විසුරුවා,යටපත්කොට අහසේ දී ම විදසුන් වඩා බුදුන් වහන්සේ හමුවට වැඩම කළේ සිව් පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේ නමක් ලෙසිනි. එහිදී බුදුන් වහන්සේ වක්කලී තෙරුන් වහන්සේ අමතා, ශ්‍රද්ධා සම්පන්න භික්ෂූන් අතරින් අග්‍රස්ථානය පිහිට වූ අයුරු අසිරිමත් ය.

බුදුකෙනකු කෙරෙහි සිත් ඇද ගන්නා වර්ණනීය කරුණු තුනකි. ඒ අතීත චරිත කතාව, ශරීර ලක්ෂණ සහ බුදුරදුන් සතු වූ ගුණය යි.

ඒ අතුරින් බුදුවරයකුගේ අතීත ආත්ම ගත කළ ආකාරය පැහැදිලි කෙරෙන චරිත කතාව ඉතාමත් වැදගත් ය . මනුෂ්‍ය ආත්මයක් හෝ දේවාත්මයක් නොවේ නම්, වෙනත් තිරිසන් ආත්මයක් ලබා සිටියත් ඒ තත්ත්වයේ ජීවත් වන අන් අයට වඩා ගුණ නුවණ හා වෙනත් ආකල්පයන්ගෙන් උසස් වූ තත්ත්වයක් බෝසතුන් තුළ පැවතුණ බවට පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කෘතියෙහි ද සඳහන් ය.

පෙර සිදු කරන ලද කුසල බලයෙන් සියලු කෙලෙස් නසා රහත් භාවයට පත් වූ වක්කලී හිමියන් බුදුරදුන් දුටු අවස්ථාවේ සිටම සිතෙහි වර්ධනය වී ආ සැදැහැවත් බව අන් කිසිම ශ්‍රාවකයෙකුට සමාන කළ නොහැකි ය.

සාමාන්‍ය ලෞකික ජීවිතය ගත කරන කවර කෙනෙකු වුවත් බුදුරදුන් කෙරෙහි ප්‍රසාදය ඇතිව සරණ ගත වන්නේ නම්, ‘න තෙ ගමිස්සන්ති අපායං’ යනුවෙන් ධර්මයේ සඳහන් සේ අපායෙන් මිදීමට හේතු වන බව සිතට ගත යුතු ය .