Print this Article


මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමෙන් මිද්දෙණියට රණවිරු උද්‍යානයක්

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමෙන් මිද්දෙණියට රණවිරු උද්‍යානයක්

දකුණු පළාතට නව ආලෝකයක් ලබා දෙමින් හම්බන්තොට, මිද්දෙණියේ ඉදිකළ රණවිරු උද්‍යානය පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි. මේ සඳහා වූ සියලු දායකත්වය හා අනුග්‍රහය ලබාදෙන ලද්දේ මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි පදනම මඟිනි.

එය විවෘත කිරීමේ අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා ද සහභාගී වූ අතර, රණවිරු උද්‍යානය කටුවන ප්‍රාදේශීය සභාවට නිල වශයෙන් පැවරීම පසුගිය 21 වැනිදා සිදුවිය. එම අවස්ථාවට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නා හිමි, මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත හිමි, මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි පදනමේ ලේකම් කිරින්දේ පේමසිරි හිමි ඇතුළු මහා සංඝරත්නය ද, කටුවන ප්‍රාදේශීය සභාවේ සභාපති මහීන් ගමාච්චි ඇතුළු මන්ත්‍රීවරුන් ද අධීක්ෂණ කටයුතු සිදුකළ රණවීර වීරක්කොඩි මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.


ප්‍රංශයේ ජේතවනාරාමාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි

මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමියෝ අන්‍යයන්ගේ සුබ සිද්ධිය සඳහා අපමණ සේවාවක් කළ හිමි නමකි.

විද්‍යෝදය පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන කාලයේ උන්වහන්සේ සහ ගම්මැද්දේගම විමල, කොටපොළ අමරකිත්ති යන හිමිවරුන් සමඟ මම ද ඈත දුර බැහැර පහසුකම් නැති සේරුවාවිල වැනි ප්‍රදේශවල අසරණ දූ පුතුන් වෙනුවෙන් නොමිලයේ අධ්‍යාපන සම්මන්ත්‍රණ පැවැත් වූවෙමු.

ගම්බද ප්‍රදේශවලින් කොළඹට ප්‍රතිකාර සඳහා පැමිණෙන බොහෝ අයට ඒ කාලය තුළ උන්වහන්සේ උදව් උපකාර කළහ. ගිලානෝපස්ථානය උන් වහන්සේ බොහෝ සෙයින් අගය කළ දෙයකි. විද්‍යෝදය පිරිවෙනෙහි ඉගෙනීම ලබන කාලයේ දී තමන්ට සිව්පසය සපයා දීමට උදව් කළ නුගේගොඩ විජයවර්ධනාරාමාධිපති ජඹුරෙගොඩ පියරතන ලොකු හාමුදුරුවන් වහන්සේ තදබල ලෙස අසනීප ව කලක් රෝහලේ ගත කළ කාලයේ ඤාණිස්සර හිමි පිරිවෙන අවසන් වූ පසු වහාම රෝහලට වැඩමවා රාති‍්‍රයේ උන්වහන්සේගේ අවශ්‍යතාවයන් ඉටු කරමින් රෝහලේ ගත කර පසු දින නැවත පිරිවෙනට වැඩම කිරීමෙන් ම එය පැහැදිලි වේ.

එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි අවසන් වසරේ අධ්‍යාපනය ලබන කාලය තුළ තමන් වහන්සේගේ මෑණියන් අසනීප තත්වයෙන් කොළඹ රෝහල්ගත කර සිටි අවස්ථාවේ දින තුනක් අධ්‍යාපන කටයුතු සඳහා පේරාදෙණියේ සිටි උන්වහන්සේ දින හතරක් මෑණියන්ගේ කටයුතු සොයා බලමින් කොළඹ ගත කළ කාලයක් විය. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි සහ බෞද්ධ හා පාලි විශ්ව විද්විද්‍යාලයෙහි සේවය කරන කාලයේ දී එහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව බොරැල්ලේ ආයුර්වේද රෝහලේ රෝගීන්ට සිදු කළ සේවාව ඉමහත්ය.


ජනාධිපතිතුමා රණවිරු උද්‍යානය විවෘත කිරීමෙන් පසුව අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා සමඟ මඳ වේලාවක් අසුන්ගෙන සිටි අවස්ථාව.

මේ සේවාවන් කරමින් සිටින අතර උන්වහන්සේ 1985 වසරේ දී පරවාහැර චන්දරතන නායක හාමුදුරුවන් වහන්සේගේ ආරාධනාවක් අනුව ප්‍රංශයට වැඩමකර ප්‍රංශයේ ජේතවනාරාමයේ වැඩ සිටිමින් ආගමික කටයුතු සිදු කරන අතරතුර අධ්‍යාපන කටයුතුවල ද නිරත වූහ. අසරණ අයට උදව් කිරීමේ හා ගිලනුන්ට උපස්ථාන කිරීමේ අරමුණු අමතක නොකළහ. ආගමික කටයුතුවලින් තමන් වහන්සේ වෙත ලැබෙන ප්‍රත්‍ය පහසුකම් ආරක්ෂා කරගනිමින් එයට මාර්ගය සකස් කර ගත්හ.

1990 දී ආර්ථික අපහසුතා ඇති වෛද්‍ය සිසුන් වෙනුවෙන් ආරම්භ කළ ශිෂ්‍යත්ව වැඩසටහන ඉතා සාර්ථක ව ඉදිරි යට කි‍්‍රයාත්මක කළහ. අවුරුදු 30 ක පමණ කාලයක් තිස්සේ සිදු කරනු ලබන මේ කි‍්‍රයාවලිය තුළින් ආධාර ලබා ලංකාවේ විවිධ පළාත්වල සේවයේ නිරත වෛද්‍යවරු අට සියයකට වඩා දැනට සේවය කරති.

මේ කටයුතු සිදු කරන අතරතුර උන්වහන්සේ තවත් භාරදූර කාර්යයකට සූදානම් වූහ. ඒ මිද්දෙණිය ග්‍රාමීය රෝහලට ඇඳන් 50 කින් යුතු වාට්ටු සංකීර්ණයක් සාදවා පරිත්‍යාග කිරීම ය.

ලෝකයේ විවිධ රටවලට වැඩමකළ අවස්ථාවන්වල දී තමන් වහන්සේ දුටු , ශරීර සුවතා ඇති කිරීමට සමත් උපකරණ සිහියේ තබාගෙන එවැනි උපකරණවලින් සමන්විත ස්ථානයක් තමන් වහන්සේ උපන් ගම් ප්‍රදේශයේ ඇති කිරීමට අදහස් කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මිද්දෙණියේ එයට සුදුසු ස්ථානයක් ගිය වසරේ පරීක්ෂා කර ළමා උයනක්, සක්මන් මන්තීරු සමඟ උපකරණ සවි කිරීමට අදහස් කර නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශයේ විශ්‍රාමික රණවීර වීරක්කොඩි මහතාට එය සිදු කරන ලෙසට බාර දුන්හ.

තමන්ගේ ජීවිත ගැන නොසලකා අපට නිදහසේ ජීවිත ගතකිරීමට මඟ සලසා දුන් රණවිරුවන් පිළිබඳව උන්වහන්සේ තුළ පවතින්නේ ලෙන්ගතුකමකි. රණවිරු වාට්ටු සංකීර්ණය ලෙස වාට්ටුවට නම තැබුවේ ඒ නිසා ය. රට දැය සමය වෙත බලපෑ විවිධ අන්දමේ අභියෝග ජයගෙන රට නිදහස් කරගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රධාන සියලු රණවිරුවන්ටත්, ඒ සඳහා කැපවී කි‍්‍රයා කළ සැමටත් උපහාර පිණිස රණවිරු උයන ලෙස මෙයට නම් තැබූහ.

මෙවැනි උයනකින් බලාපොරොත්තු වූ දේ උන්වහන්සේ එහි ස්ථාපිත කොට එහි පුවරුවක සටහන් කොට ඇත. මේ එයින් උපුටාගත් කොටසකි.

“1950 පමණ කාලය මට එතකොට අවුරුදු පහයි. උදේ 5 ට පමණ අවදි වී ගෙදර සිට හැතැප්මක් දුර මව සමඟ මිද්දෙණියට නාන්නට ගියෙමු. එයට කලින් අම්මා අප නාවා ඇත්තේ වතුර කළයක් එම දුර හිසේ තබාගෙන අවුත්. ගෙදර අනෙක් සියලු අවශ්‍යතාවලටත් වතුර ගෙන ආවේ ඒ විදිහටම තමයි.

මට තාමත් මතකයි එදා කළගෙඩි හිස මත තබාගෙන කාන්තාවන් පාර දිගේ ජලය රැගෙන ගිය ආකාරය. මේ අවස්ථා මගේ මතකයට ආවේ ඉදිකර ඇති රණවිරු උයන අසල පසෙකින් දිස්වන්නේ එදා මව සමග දිය නෑමට පැමිණි බිබුල ආශි‍්‍රත ජලාශය නිසා. එසේ අනේක විධ දුක් දොම්නස් විඳ සමාජයට දරුවන් දායාද කළ සියලුම මෑණිවරුන්ට උපහාර පිණිස ඔබගේ පවස නිවීම පිණිස මෙම පැන් පහසුව ඔබ වෙත පිරිනැමූ වගයි.”