Print this Article


ලංකාවේ බෞද්ධ ස්තූප - 20: මුතුවන් මුත්තක ධාතූන් වහන්සේ තැන්පත් මුතියංගණ සෑ රදුන් වහන්සේ

ලංකාවේ බෞද්ධ ස්තූප - 20:

මුතුවන් මුත්තක ධාතූන් වහන්සේ තැන්පත් මුතියංගණ සෑ රදුන් වහන්සේ

විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සීහල දීප වාසිනං
මුතිංගණං ථූප වරං නමාමි

“සැමදා බුද්ධ ගුණයෙන් බබළන්නා වූ ද, ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූ ද, සීහල දීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූ ද, මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි“.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ නමුණුකුල කඳුවැටියෙන් ආරම්භ වන බදුලු ඔය සමීපයේ විහාරගොඩ ග්‍රාමයේ පිහිටි මුතියංගණ රාජ මහා විහාරය සොළොස් මහා සිද්ධස්ථානවලින් හත්වැනි පුණ්‍ය භූමිය යි.

පුරාවෘත්තයන්ට අනුව ඌව පළාතේ නමුණුකුලට අධිපති ව සිටි ඉන්දක නම් දෙවි කෙනෙකුන් වාසභවන කොට සිටියේ ය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වසරේ වෙසක් පුන් පොහෝ දින පන්සියයක් මහ රහතන් වහන්සේ පිරිවරා කැලණියට වැඩම කළ අවස්ථාවේ දී මෙම ඉන්දක දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ මුතියංගණ මහ සෑ රදුන් වහන්සේ පිහිටි බිමෙහි වැඩම කොට මෙහොතක් සමවත් සුවයෙන් වැඩ සිට අනතුරුවඉන්දක දෙවියන් ඇතුලු රැස්ව සිටි පිරිසට දහම් දෙසා ධර්මාවබෝධය ලබා දුන්හ.

ඉන්දක දෙවියන් විසින් එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිහිපත් වීම පිණිස පූජනීය වූ යමක් අයැද සිටියේ ය. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ මුත්තක ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේ ලබා දුන් සේක. මෙම ධාතූන් වහන්සේ තැන්පත් කොට ඉන්දක දෙවියන් විසින් මුතියංගණ මහ සෑ රදුන් වහන්සේ ඉදි කරන්නට විය.

බිම්තැන්න ප්‍රදේශයට අයත් යක්ෂ ගෝත්‍රික ජනයාගේ ජනාවාසයක් වූ මුතියංගණය බුදුරජාණන් වහන්සේ වැඩම වීම හේතුවෙන් ඉතා පවිත්‍ර පුණ්‍ය භූමියක් බවට පත්විය.

ස්තූපයේ මුතු පොටක් තැන්පත් කර තිබෙන බැවින් මුතියංගණය නමින් ස්තූපයත්, විහාරයත් ප්‍රසිද්ධ වූ බව ද ජනප්‍රවාදයක කියැවේ. මේ අනුව පුරාණ යුගයේ මෙම භූමියෙන් මුතු මතු වූ බවක් ද හේතුවෙන් මෙය “මුතියංගණය“ නමින් ප්‍රකට වූවා යැයි ද සිතිය හැකි ය.

ථූපවංශයේ සඳහන් වන අන්දමට ක්‍රි. පූ. 3 වන සියවසේ දී දේවානම් පියතිස්ස රජු විසින්, මුතියංගණ ස්තූපය බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ සර්වඥධාතුන් වහන්සේ තැන්පත් කරවන ලදී.

එලෙස ම දේවානම් පියතිස්ස රජු විහාරය ද, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් ද රෝපණය කර ස්තූපය ද විශාල කොට සාදවන ලද බවට ද විශ්වාසයක් පවතී. බුදුරජාණන් වහන්සේගේ මුත්තක ධාතූන් වහන්සේ ස්තූපයේ නිදන් කොට තිබෙන බවට ද විශ්වාසයක් පවතී. “මුත්තක ධාතූන් නම්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් පිට වූ දහදිය බිඳු ය. බුදුරජාණන් වහන්සේ සෘද්ධි බලයෙන් මුත්තක ධාතු, ධාතූන් වහන්සේ බවට පත් කළ බව ද කියැවේ. එසේ හෙයින් ලංකාද්වීපයේ පිහිටි මුත්තක ධාතූන් වහන්සේ තැන්පත් එකම ස්තූපය මුතියංගණ ස්තූපයයි. මුතු ඇටවන් මුත්තක ධාතූන් වහන්සේ හේතුවෙන් මෙම ස්තූපය මුතියංගණය නමින් හඳුන්වන්නට ඇතැයි ද විශ්වාසයක් පවතී.

පසු කාලයේ දී ජෙට්ඨතිස්ස රජතුමා විසින් මෙම ස්තූපය ඇතුලු විහාරය ප්‍රතිසංස්කරණය කරන්නට ඇති බවට ද සැලකේ. එසේ ම ධාතුසේන රජතුමා ද මෙහි නවකම් එක්කරන්නට ඇති බවට ද සාධක ඇත. ඉන් අනතුරුව පොළොන්නරුවේ මහා විජයබාහු රජතුමා ද, මහා පරාක්‍රමබාහු රජතුමා ද මුතියංගණ විහාරය ප්‍රතිසංස්කරණය කරවා සංවර්ධනය කටයුතු කළ බවට ද, මහනුවර යුගයේ දී දෙවැනි රාජසිංහ රජතුමා ද මෙහි ප්‍රතිසංස්කරණය කරමින් මෙහි දියුණුවට කටයුතු කරන ලද බව ද සඳහන් වේ.

මෙම ස්තූපය උස අඩි හැට පහක් පමණ ද වට ප්‍රමාණය අඩි හැත්තෑවක් පමණ ද වන මධ්‍යම ප්‍රමාණයේ බුබ්බුලාකාර හැඩයකින් යුතු ස්තූපයකි. මෙම විහාර භූමියේ අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටි බවත්, ලංකාද්වීපයේ අවසන් මහ රහතන් වහන්සේ යැයි සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ මෙහි වැඩ සිටි බව ද සඳහන් වේ. මජ්ම නිකායට අයත් අටුවා ග්‍රන්ථයක මලියදේව මහ රහතන් වහන්සේ විසින් මෙම ස්ථානයේ දී “චරක්ත“ නම් සූත්‍රය දේශනා කොට ඇතැයි ද සඳහන් වේ.