Print this Article


ළමා පරපුරට සුමිහිරි ලොවක් මැවූ අකුරට යන වෙලාවේ

ළමා පරපුරට සුමිහිරි ලොවක් මැවූ අකුරට යන වෙලාවේ

මව්කුසින් මෙලොව එළිය දකින කුඩා දරුවා උපතින්ම රැගෙන එන දේවල් අතර ප්‍රධාන වන එක් කරුණක් වන්නේ ප්‍රඥාවයි. එකී ප්‍රඥාව අවශ්‍ය වන්නේ හොඳ නරක වෙන් වශයෙන් හඳුනාගැනීමටයි. ලෝකය යනු යහපත් සහ අයහපත් දෙකෙහි සංකලනයකි. එහිදී අයහපත් දේ ඉවත දමා යහපත් දේ සමීප කරගැනීම, එයට අනුගත වීම, එය සමග සෙනෙහසින් කටයුතු කිරීම මානවයින්ට උරුම වී ඇති මානව ප්‍රතිපදාවයි.

දෙවැනි කරුණ වන්නේ මානව දයාවයි. මානව දයාව යනු මිනිසා මිනිසාට පමණක් ආදරය කිරීම පමණක් නොවේ. සත්ව ලෝකයටත්, පරිසරයටත්, සොබාදහමටත් දයාබරව කටයුතු කිරීමත්, එකී සියල්ලම ආරක්‍ෂා කරගැනීමට කටයුතු කිරීමත් එහි පූර්ණ වූ අර්ථයයි.

එම නිසා උදාර ගුණවලින් පරිපූර්ණ හිතක් සෑම මානවයකුම උපතින්ම උරුම කර ගනියි. කුඩා දරුවෙකු තුළ වෛරය ක්‍රෝධය ආදි කර්කශ සිතුවිලි පහළ වන්නේ නැත. එහෙත් වර්තමාන අමිහිරි ලෝකය කුඩා දරුවන්ගේ මනස වටකරගෙන ඒ මත බිහිසුණු චරිත නිර්මාණය කරන අයුරු අප වටා පරිසරය තුළ කොතෙකුත් දක්නට ඇත.

සෑම මානවයකුගේම වගකීම වන්නේ කුඩා දරුවන් උපතින් ගෙනෙන මලක් තරම් ගුණ සුවඳීන් යුක්ත මනස ආරක්‍ෂා කරමින් ඔවුන්ට මහා සමාජයට අවතීර්ණ වීමට අවශ්‍ය සමාජ වටපිටාවක් සකස් කිරීමයි. මෙම වගකීම මැනවින් වටහා ගත් සාහිත්‍යකරුවන් තම නිර්මාණ මගින් එය මැනවින් ඉටුකොට ඇත.

කොළඹ යුගයේ ප්‍රශස්ත කවියකු වන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ අකුරට යන වෙලාවේ යන පද්‍ය පන්තිය එයට කදිම නිදසුනකි.

ටිකිරි පාසල් නොගොස් බැද්දට වී සැඟවී සිටියි. සිළිඳුද එම බැද්දට ම ගොස් දර සොයමින් සිටියි. මේ දෙදෙනා අතර ඇතිවන සංවාදය මානවසිංහයන් මනහර පදවැලකට ගොනුකර ඇත.

සිළිඳු:-

අකුරට යනවයි කියලා - ටිකිරි අයියා බැදිවලමයි

ඉන්නකො මං ගුරු ගෙදරට ගිහින් කියන්නම්

ගිහින් කියලා මේ බැද්දෙදි අල්ලලා දෙන්නම්

ටිකිරි:-

පඳුරු අස්සෙ කුරුල්ලන්ට - ඔමරි කරනවා විතරයි

සිළිඳු ඉතින් දර කැඩුව ද මමත් කියන්නම්

ගිහින් කියලා පොඩි නැන්දට අල්ලලා දෙන්නම්

අකුරු ඉගෙනීමට පාසැල් නොගොස් බැද්දට වී සිටීම ගුරු ගෙදරට පැමිණිලි කරන බවත්, දර සෙවීමට පැමිණ බැද්දෙහි කුරුල්ලන් සමඟ ඔමරි කිරීම පොඩි නැන්දට පැමිණිලි කරන බවත් සිළිඳුත් ටිකිරිත් එකිනෙකාට චෝදනා කරගැනීම ළමා මනස ගැටීමකට මුල පුරන සාධක නිර්මාණය වන්නකි. එහෙත් මෙම ළමා මනස ගැටුමකට යා නොදී අසීමිත කරුණා මෛත්‍රියෙන් සමීප කිරීමට මානවසිංහයන් ගත් උත්සාහය කොතරම් සුන්දර ජනකද?

සිළිඳු:-

ඉදුණු කරඹ ගොඩාරියක් - මගේ ඔඩොක්කුවේ තියෙනවා

ටිකිරි අයියටත් දෝතක් පුරවලා දෙන්නම්

පුරවල දී තව මදිනම් හිඹුටුත් දෙන්නම්

ඉදුණු කරඹ, හිඹුටු මම බැද්දෙහි කැඩුවෙමි. ඒවායින් දෝතක් ටිකිරි අයියට දෙන්නම්

යනුවෙන් සිළිඳුගේ මුවෙන් පිටවන වදන් පෙළ කාගේ සිත්තුළ සන්සුන් බවක්, තැන්පත් බවක් අන්‍යයන් පිළිබඳ කරුණා ශීතල ජලයෙන් තෙත්වුණු මනසක් ඇති නොකරන්නේද?

එවිට ටිකිරිගේ ළමා මනසෙහි උපන් අසීමිත දයාබර සිතුවිලිවල ගුණ සුවඳ මුසුවුණු මුවින් පිටවන වදන් පෙළ ළමා ලෝකයේ සුන්දරත්වය කොතරම් මනස්කාන්ත ද?

ටිකිරි:-

සිළිඳුට සීපද කියන්න - කුරුල්ලන්ට මල තියන්න

ලොකු වුණාම මේ බැද්දෙම හේන් කොටන්නම්

හේන් කොටලා අපි දෙන්නට පැලක් හදන්නම්

හේන් කොටමින් ජීවත්වන කෘෂි ආර්ථිකය මත පදනම් වුණු හෙළ ජන ජීවිතයට ඇළුම් කිරීම මානවසිංහයන් ළමා වයසේ දී සිත්තුළ තැන්පත් කරන අයුරු කා තුළත් ළමා ලෝකය පිළිබඳ සදාදරණීය හැඟීම් ජනිත කරවන්නකි.

එපමණක් නොව අනතුරුව සිළිඳුගේ මුවින් පිටවන පහත සඳහන් වදන් වැල ඔවුනොවුන්ගේ අසීමිත දයාබර සිත් සෙනෙහසේ රැහැන් පොටින් එකිනෙකා ගැටගසා දමන්නේ නැවත කවදාවත් වෙන් නොවන අයුරිනි.

සිළිඳු:-

මාළු ඇඹුල් තියල් කරල - පොල් සම්බල් රසට හදල

ඇල් හාලේ බතුත් එක්ක - අනල කවන්නම්

කවන ගමන් - මමත් කවන තරමක් කන්නම්

ඇල් හාලේ බත් ටිකක්, මාළු ඇඹුලත්, පොල් සම්බෝලයත් හෙළයන් සතු සුන්දරතම පෝෂ්‍යදායී ආහාර වේලයි. මහ කළු ගල් පවා මුදු මොළොක් කොට ලෝකයා මවිතයට පත්කළ අවුකන බුදුපිළිමය වැනි කලා කෘති නිර්මාණය කළේ මෙම කෘෂි ආර්ථිකය මත පදනම් වුණු ජන ජීවිතයයි.

මෙම අකුරට යන වෙලාවේ යන පද්‍ය පන්තිය අවසානය දක්වා ශ්‍රවණය කරන සහෘද ශ්‍රාවක පිරිසට ළමා ලෝකය පිළිබඳ සංවේදී හැඟීම් ජනිත කරවයි.

හැන්දෑවට කහ සුදු රතු - හෙන්දිරික්කා මල් පිපුණම
ඒ ළඟ ගල් පොත්තක් උඩ වාඩි කරන්නම්
වාඩි කරලා ළඟින් ඉදලා නලා පිඹින්නම්

ගමේ ළමිස්සියන් එක්ක විලට ගිහින් පන් උලලා
රටා පුරලා මෝවිටි ලා පැදුරු වියන්නම්
පැදුරු වියලා එකේ ඉදං පංචි දමන්නම්

කළුවර ඇති වැහි දවසක මහ රෑ ඇඳ ළඟින් ඉඳන්
පල්හොරු ගැන හොල්මන් ගැන කතා කියන්නම්
කතා කියලා බය ඇරෙන්න විහිළු කරන්නම්

ගායනය :- ඇස් කරුණාදාස සහ සහාය ගායිකාවෝ

ගැටීමකට මුල පිරීමට ගිය ළමා මනස කරුණා ශීතල වතුරෙන් තෙමා දමා සුන්දර මානව හැඟීම් ජනිත කොට එකිනෙකා අතර අන්‍යොන්‍ය සුහදත්වයත්, සහජීවනයත්, සමානාත්මතාවත් ඇති කිරීමට කවියා සමත් වන්නේ බුදුදහමින් ලද ආභාසය හේතු කොට ගෙන ය. ළමා මනස දැඩි අරපරිස්සමෙන් යුතුව ස්පර්ශ කරන ලෙස බුදුදහම නිරන්තරයෙන් අපවෙත සදුපදේශයන් සම්ප්‍රදානය කර ඇත. මානවසිංහයන්ද ඒ මඟ යමින් ළමා මනස ස්පර්ශ කළ අයුරු ප්‍රසාද ජනක ය. වර්තමානයේ දී පවා මෙවැනි ගීත ළමා පරපුරට ඇසීමට සැලසීමෙන් ඔවුන්ගේ සිත් සතන් ප්‍රසන්න වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.