Print this Article


සකුණ ජාතකය: තම සැප පමණක් නො සිතමු

සකුණ ජාතකය:

තම සැප පමණක් නො සිතමු

ලොව උපදින මිනිසා උරුම කරගත් අමිල වස්තුව සිත හෙවත් විඤ්ඤාණයයි. සිතීමේ, විමසීමේ සහ වැඩීමේ හැකියාවලින් මෙය සමන්විත ය. ධර්මය හඳුනන සහ ධර්මය අවබෝධ කළ සත්පුරුෂ නැණවත්හු දිනෙන් දින එය වැඩීම කරති. ධර්මයේ හැසිරෙති. අසත්පුරුෂ අඥානයෝ ලද සම්පත විනාශ කරමින් අන් අය ද විනාශයට පමුණුවති.

විඤ්ඤාණය අසීමිත ශක්තියකින් යුක්ත ය. එහි පහළවන සිතිවිලි පැවැසීමට මාර්ගඵල ලාභී උතුමන්ට හැර අන් කිසිවකුට කළ නො හැකි ය. තෘෂ්ණාව, ක්‍රෝධය, වෛරය වැනි අයහපත් සිතිවිලි ද, දයාව, කරුණාව, මෛත්‍රීය වැනි උතුම් සිතිවිලි ද මෙහි නිබඳව පහළවෙති. සිතින් එකක් සිතා මුවින් තවත් යමක් ප්‍රකාශ කරති.

යමෙකුගේ දියුණුව දකින සමීපතම නෑයා හෝ හිතවතා වුව, මුවින් ගුණවයා සිතින් ඊර්ෂ්‍යා කරති. වෙනත් යමක් ක්‍රියාවට නංවති. කුඩා වයසේ සිට මේ ලක්ෂණය නූතන සමාජයේ මුල්බැසගෙන ඇත. ගැහැනු පිරිමි භේදයක් මෙහි නැත. තමා ලබාගත් සාර්ථකත්වය හෝ ලාභ ප්‍රයෝජන තවත් අයකු අත්කර ගන්නවාට කැමති නැත.

වචනයකින් හෝ උදව් උපකාර කිරීමට ද අකමැති ය. මෙම ලක්ෂණවලින් යුක්ත මිනිස්සු කොපමණ සාර්ථක බවක් ලැබුවත් නොසිතන, නොපතන අයුරින් විනාශයට, පිරිහීමට මෙන් ම මරණයට ද පත්වෙති.

සිතෙහි සතුටකුදු නොමැති වෙති. ආත්මාර්ථකාමී ව, අන්

යහපත නොසිතන තෘෂ්ණාබරිත නැතැත්තන්ට සිදුවන විපත පෙන්වා දෙන රසවත් කතා

පුවතක් පන්සිය පනස් ජාතක පොතේ සඳහන් වෙයි.

සකුණ ජාතකය නම් වන මෙය ජාතක පොතේ එකසිය එකොළොස් වැනි ජාතක කථාවයි.

සකුණ යනු කුරුල්ලායි. තිරිසන් සතකු වුව ද කළ අයහපත් ක්‍රියාව විපාක දුන් ආකාරය පහදා දෙයි.

මෙම ජාතක කතා බුදුන් වහන්සේ විසින් දේශනා කරන්නේ භික්ෂුණී ශාසනයේ උතුම් පැවිදි බව ලැබූ මෙහෙණක උදෙසා ය.

එක්තරා කුල ස්ත්‍රියක් තෙරුවන් කෙරෙහි පැහැදී පැවිදි වුණා. පිණ්ඩපාතයේ යෙදෙමින් ජීවිතය ගෙවීමට පුරුදු වුණා.

දිනක් පිඬු පිණිස එක් වීදියකට පැමිණියා. එහි දී රසයෙන් අධික ආහාරලැබී එයට ගිජු වුණා. අන් මෙහෙණිවරුන් ඒ වීදියේ පිණ්ඩපාතය කළහොත් තමාට නො ලැබේය යන රස තෘෂ්ණාවේ ගිලුණා. ඒ සිතිවිල්ලෙන් ආරාමයට ගොස් “පින්වත් මෙහෙණෙනි, අසවල් වීදියට අද මම පිඩු පිණිස ගියා. එහි සැම තැන ම චණ්ඩ වූ, නපුරු වූ සුනඛයින්ගෙන්, ඇතුන්ගෙන් සහ අශ්වයින්ගෙන් බොහෝ පීඩා වින්දා. ඒ නිසා ඒ වීදියට යන්න එපා“ යනුවෙන් පැවසුවා. එයින් බියපත් සෙු මෙහෙණිවරුන් එම වීතිය දෙස හැරී බැලීමට පවා අකමැති වූවා.

මෙලෙස දිනෙන් දින කාලය ගතවුණා. මෙහෙණිය සෙසු පිරිසට හොර රහසේ ම වීථියේ පිඩු පිණිස හැසිරුණා. දිනක් වීථියේ සිටි බැටළුවකු දිවැවිත් ඇන මෙහෙණියගේ දෙපාවලට දැඩි තුවාල සිදු කළා. වීථියේ සිටි පිරිස මෙහෙණිය ඔසවා ඇඳක තබා ආරාමයට ගෙන ගියා. මෙයින් ඇගේ බොරුව හෙළි වුණා.

දිනක් සර්වඥයන් වහන්සේ දම් සභාවට වැඩම කළා. ඒ අවස්ථාවෙහි රැස්ව සිටි භික්ෂූන් වෙතින් “අසවල් ආරාමයේ වැඩ සිටින අසවල් මෙහෙණිය අන් අයට බොරු අවවාද අනුසාසනා දෙමින් තමන්ගේ දෙපා බිඳගෙන සිටින්නීය“ යන කතා පුවත අසන්නට ලැබුණා. රැස් වූ භික්ෂූන්ගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ එම මෙහෙණිය පෙර ආත්මයක ද බොරුවෙන් පිරිස රවටා, ආත්මාර්ථකාමී වීමෙන් මරණයට පත් වූ බව දක්වමින් සකුණ ජාතකය දේශනා කොට වදාළා.

මහණෙනි, සර්වඥයන් වහන්සේ වන මම එක් ආත්මයක පක්ෂි රාජයෙක් ව උපන්නා. එකල මෙම මෙහෙණ මාගේ පිරිවර පක්ෂි සමූහයා අතරේ පක්ෂි ධේනුවක් වී සිටියා. ඇයට බොහෝ රසවත් ආහාර නිතර ලැබුණා. එහෙත් එම ආහාර තිබෙන තැනක් ගැන කිසිදු තොරතුරක් කිසිදු අවස්ථාවක කිසිවකුට දුන්නේ නැහැ. ඇතුන්, අසුන් සහ ගවයින් ගෙනියන ගැල්වලින් බොහෝ සේ ධාන්‍ය පතිත වූ මාර්ගයක් ඇයට දිනක් දකින්න ලැබෙනවා. එම ධාන්‍ය තමන් විසින් දිගට ම භුක්ති විදිය යුතුය යන රස තෘෂ්ණාව ඇතිවුණා. සිය පිරිස වෙත ගොස් අසවල් මාර්ගයේ බොහෝ උවදුරු සහිත ය.

එබැවින් එහි නොයන්න යනුවෙන් උපදෙස් ලබා දුන්නා. සෙසු පක්ෂීන්ට හොරෙන් ආහාර ගැනීමට එහි යන පක්ෂි ධේනුව දිනක් ආහාර ගනිමින් සිටින විට මාර්ගයේ ඈතින් ගැලක් එන බව දුටුවා. එහෙත් රසයෙන් මත්ව සමීපයට එන විට ඉවත් වන්නෙමි‘යි සිතමින් දිගට ම ආහාර ගනිමින් සිටියා.

එහෙත් විදුලි වේගයෙන් පැමිණි ගැල ඇය දෙපලු කර දමමින් යන්න ගියා.

බෝසත් පක්ෂියා වූ සර්වඥයන් වහන්සේ වන මම සෙසු පක්ෂීන් පිරිවරා අහසින් පියාඹා යන විට මාර්ගයේ දෙපලු වී මරණයට පත් වූ ඇගේ දේහය දැක සෙසු පක්ෂීන් සමඟ එහි ගොස් ඇගේ ව්‍යාජ අවවාද අනුශාසනා සහ රස තෘෂ්ණාවේ මෙන් ම ආත්මාර්ථකාමී බවේ විපාක පවසමින් අවවාද අනුශාසනා කළා. ඉන්පසු ආහාර පිණිස නැවත පිටත් ව ගියා.

මහණෙනි, මේ මෙහෙණ එදත්, අදත් පෙර පුරුද්ද දිගට ම කරන්නී ය. එයින් එදත්, අදත් අයහපතක් ම සිදුවිය. එබැවින් බොරු අවවාද අනුශාසනා නො දෙමින්, ආත්මාර්ථකාමි වීමෙන් සහ රස තෘෂ්ණාවෙන් මිදෙමින් ධර්මයෙහි හැසිරෙන්නට එම මෙහෙණට සහ රැස්ව සිටි පිරිසට තවදුරටත් ධර්ම දේශනා කළා.