Print this Article


ව්‍යසනය ව්‍යසනයක් ලෙස දකින්න

ව්‍යසනය ව්‍යසනයක් ලෙස දකින්න

"ව්‍යසනයක් වේ නම් එය ව්‍යසනයක් ලෙස දැකීමට අප පුරුදු විය යුතු ය. යම් ව්‍යසනයක් දැක එය ව්‍යසනයක් ලෙස නො දකින්නේ නම් ඔවුහු වහා මරණයෙන් අවසන් වන අත්දැකීම් ලබති. ව්‍යසනය, ව්‍යසනයක් ලෙස දැකීමට අසමත් වන්නෝ කවරහු ද යන්න ඉතා පැහැදිලි ය. කෙටියෙන්ම කිවහොත් ඔවුහු අල්පශ‍‍්‍රැත මෝඩයෝ ය. අල්පශ‍‍්‍රැත වූ පුද්ගලයා දිනෙන් දින තරබාරු ගොනුන් මෙන් මහත් වන බවත්, ඔවුන්ගේ ඇඟ, මස් දිනෙන් දින ලියලන නමුත් බුද්ධියෙන් නො වැඩෙන බවත් බුදුන් වහන්සේ වදාළහ. එය එලෙසින්ම සැබෑවන කාලයක් අපට දැන් උදාවී ඇත."

කොරෝනා නම් ව්‍යසනයක් අප හමුවේ පවතී. මෙයට වෛද්‍ය විද්‍යාත්මක විසඳුමක් මෙතෙක් හමු වී නැත. කර්ම විපාකයෙන් සිදුවන පිළියම් නො කළ හැකි ආබාධ කිහිපයක් හැරුණුවිට පිළියම් සෙවිය හැකි රෝග රාශියක් ද බුදුසමයෙන් අපට පෙන්වා දී ඇත. ඒවා එකිනෙක මෙහි සඳහන් නො කරමු. එහෙත් නිරෝගීකම මෙලොව උසස්ම ලාබය යැයි තහවුරු කළ බුදුදහමේ යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීමේ වැදගත්කම අනේකවාරයක් පෙන්වා දී ඇත.

කෑම බීම, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන්, මළ මූත‍‍්‍රා කිරීම්, ස්නානය කිරීම්, ගහ කොළ හා සතුන් සිවුපාවන් ඇසුරු කිරීම් ආදියේදී නිරතුරුව තිබිය යුතු ආචාරශීලී පැවැත්මක් අපට බුදු දහමෙන් පෙන්වා දී ඇති බව මෙහිදී අමතක නොකළ යුතු ය. එය මැනවින් තේරුම් ගෙන සිටියේ නම් මෙබඳු ව්‍යසන බරපතළ ඛේදවාචකයන් ලෙස අප වෙත පැමිණීමට තිබූ අවකාශය ඉතා අඩු ය. අනෙක් අතින් පැමිණි ව්‍යසනයක් වුව ද නොබෝ කලකින් සමනය කර ගැනීමට හැකිවනු ඇත.

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දුක නමැති ව්‍යසනය දැක උද්ඝෝෂණය කළේ නැත. එකිනෙකාට දොස් නැඟුවේ නැත. අඩුපාඩු දැක සමච්චල් කළේ නැත. දුක පිටු දැකීමට නීතිය හෝ අධිකරණයේ පිහිට පැතුවේ නැත. මුලින්ම සිදු කළේ දුක යනු කුමක් දැයි හඳුනා ගැනීමට වෙහෙසීමයි.

එහිදී උන්වහන්සේට දුකෙහි ප‍‍්‍රභේද විශ්ලේෂණාත්මක ව තේරුම් ගැනීමට හැකිවිය. ඉපදීමේ දුක, මහලුවීමේ දුක, ලෙඩවීමේ දුක, මරණයට පත්වීමේ දුක යනාදී වශයෙන් එය විනිශ්චය කොට එය ලෝකයට ඉදිරිපත් කළහ.

ඊට පසුව උන්වහන්සේ සෙවූයේ දුක ඇතිවීමේ හේතුවයි. එහිදී එක් එක් දුක වෙන වෙනම ගෙන ඒවාට හේතු විනිශ්චය කිරීමට උත්සාහ නො කළහ. සමස්තයට ම බලපාන එකම හේතුව තෘෂ්ණාධිකව ක‍ි‍්‍රයාත්මක වීම බවත්, තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් එකී ව්‍යසනයන්ගෙන් අත්මිඳිය හැකි බවත් උන්වහන්සේ තේරුම් ගත්හ.

එමෙන්ම මෙම දුර්දශාපන්න කොවිඩ් 19 ව්‍යසනයේ ප‍‍්‍රධාන හේතුව අප විනිවිද දැකිය යුතු ය. වැරැදි සහගත මිනිස් චර්යාවන් හේතුවෙන් බිහිවුණු වෛරසයක් කොවිඩ් 19 ව්‍යසනයට බලපා ඇති බව අපි දනිමු. එසේනම් මෙම ව්‍යසනයෙන් බේරී සිටීමට කළයුතු වන්නේ චර්යාව නිවැරැදි කර ගැනීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා අපගේ චර්යාව සකසා ගැනීමට ප‍‍්‍රාථමික ක‍ි‍්‍රයාවලීන් කිහිපයක් නිර්දේශ කරන බව ඔබ දන්නා කරුණකි. එනම් මීටරයක් දුරින් සිටීම, සිරුර පිරිසිදුව තබා ගැනීම යනාදිය යි.

බුදුන් වහන්සේ ද දුක නැති කිරීමේ මඟ පෙන්වූ සේක. වෛද්‍යවරු ද එමෙන්ම රෝගය නැති කර ගැනීමේ මඟ කියති. එසේ හෙයින් ව්‍යසනයට අදාළ පිළියම පැහැදිලි ය. අප රටක් වශයෙන් එකමුතු වී කළයුතු වන්නේ රෝගය පිටු දැකීමේ පිළියමට දායකවීම නොවේ ද?

ව්‍යසනය ව්‍යසනයක් ලෙස නොදැකීමෙන් විනාශ වන්නේ තමන් උපයා සපයාගත් දැනුම, දේපොළ, වස්තුව, සෞඛ්‍යය යනාදිය බව ඔවුහු නො දනිති. මෙයින් විනාශ වන්නේ තමන් බවත්, තම මව පියා දූ දරුවන්, නෑදෑයන් හා තමන්ගේ ම රටවැසියන් බවත් ඔවුහු නො දනිති. කොටින්ම කිවහොත් පිළියම නොදුටුවහොත් අප අපම නැසෙන බව නො දනිති. මෝඩයා තමන්ගේ වළ තමා ම කපා ගන්නා බව වරක් බුදුන් වහන්සේ වදාළහ.

ප‍‍්‍රබන්ධයක් මෙන් හැඟෙන එක්තරා කතාවක් බෞද්ධ සාහිත්‍යයේ ඇත. ඒ අනුව පෙර දවස තිමිංගල නම් මත්ස්‍ය රාජයෙක් මහ සයුරේ විසී ය. එම මත්ස්‍යයාගේ දිග, යොදුන් අසූ හාර දහසක් විය. දිගින් පළලින් මහත් වූ එම මත්ස්‍යයා සෙසු මසුන් බුදිමින් දිනෙන් දින තරවෙමින් විසුවේ ය. අනුන් වනසමින්, ජීවත්වූවා මිස තමන්ට සිදුවන්නේ කුමක් දැයි සිතීමට තරම් අවබෝධයක් ඔහුට නොවී ය. එය එක් අතකින් මෙකල වෙසෙන ඇතැම් මිනිසුන් මෙනි.

ඔවුහු කුමක් හෝ කරමින්, මොනවා හෝ කමින් බොමින් ජීවත්වනු මිස තමන් ගැන සවිඤ්ඤාණික නො වෙති. කෙසේ වෙතත් ඉහත කී යොදුන් අසූ හාරදහසක් දිග තිමිංගල මත්ස්‍යයා බිහිසුණු බැවින් සෙසු මත්ස්‍යයෝ ඔහු වෙත ළඟා නොවූහ. කුසගින්නේ පෙළුණු තිමිංගල මත්ස්‍යයා දිනක් වෙනත් මත්ස්‍යයකු යැයි සිතා තමන්ගේ ම වලිගය පැත්තෙන් අල්වා අනුභව කළේ ය. දෙවන තෙවන දිනවල ද මෙසේ නොදැනුවත් බව හේතුවෙන් තම ශරීරය ම පිටුපසින් අනුභව කළේ ය.

මහ සයුරේ විශාල ප‍‍්‍රදේශයක් රුධිරයෙන් රක්ත වර්ණ වූයේ ය. මත්ස්‍යයන් මෙන්ම වෙනත් ජලචර සත්ත්වයෝ ද තම ඇස් පනා පිට සිදුවන්නා වූ මෙම මහත් ව්‍යසනය දැක විමතියෙන් බලා සිටියහ. දින කිහිපයක් පසු විය. තම සිරුරේ මැදක් දක්වා තමා විසින්ම කා දමා ඇති බව තිමිංගල මත්ස්‍යයාට වැටහුණි. ඌ මහත් වූ ශෝකයට පැමිණියේ ය. අවසානයේ මරණයට පත්වූ අතර සෙසු ජලචර සත්ත්වයෝ තිමිංගල මත්ස්‍යයාගේ මස් අනුභව කළහ.

මෙකල ඇතැම් මනුෂ්‍යයෝ ද තිමිංගල මත්ස්‍යයා වැන්නෝ ය. සියලු මිනිස් බල පරදවා මාරයා විසින් සමස්ත සමාජය යටපත් කරගනිමින් තිබේ. ව්‍යසනාපන්න මනුෂ්‍යයෝ මරු ඉදිරියේ පණ අදිති. අද අද මරු ඒ දෝ යැයි සැකයෙන් භීතියෙන් කල් යවද්දී ඇතැම්හු එම සැකය හා භීතිය තමන්ට නො පැමිණියේ යැයි සිතා සිනහවෙන් හා දර්පයෙන් යුතුව නන් දොඩවති. ඔවුහු විපතින් මිදෙන්නේ කෙසේ දැයි කතා නො කෙරෙති. ඒ වෙනුවට ගේ දොර, වතු පිටි, ගමන් බිමන්, ඉඳුම් හිටුම් හා තම තමන්ගේ පුළුවන්කාරකම් පිළිබඳ පුරසාරකම් දොඩති. මෙය කෙතරම් පිළිකුල් සහගත තත්වයක් ද?.

ඉහත තත්වයන් දකිනවිට සිහිවන, ලොව තතු මනාව දුටු තථාගත බුදුපියාණන් වහන්සේ විසින් වදාළ බුදු බණ පද කිහිපයක් මෙසේ දක්වමු.

‘ජලය සිඳී ගොස් ස්වල්ප දිය ඇති තැන්හි ගැහෙමින් සිටින මසුන් මෙන් තෘෂ්ණා බර මිනිසුන් ගැහෙමින් දඟලමින් සිටින අයුරු මම දකිමි. ඔවුහු තෘෂ්ණාව ඉක්මවිය නොහැකිව මරුගේ මුඛයෙහි සිට විප‍‍්‍රකාර කියති.‘

එකොළොස් ගින්නකින් මිනිසුන් නිරන්තරයෙන් දැවෙමින් සිටිද්දී කවර සිනහවක් ද? කවර සතුටක් ද? අන්ධකාරයෙන් වැසී සිටියදී කුමක් නිසා ආලෝකයක් නො සොයන්නාහු ද?

මහණෙනි, ඉපදීම, ජරාව, ව්‍යාධිය, මරණය යනාදිය ස්වභාවය කොට ඇති සත්ත්වයෝ ඉපදීම, ජරාව, ව්‍යාධිය හා මරණය යනාදියම සොයති. මෙය අනාර්ය පර්යේෂණයක් හෙවත් පහත් සෙවීමකි.

මහණෙනි, සංසාරය වූකලි කෙළවරක් නො පෙනෙන්නකි. සත්ත්වයෝ එහි අපමණ දුක් විඳීති. දරුණු ව්‍යසනවලට මුහුණ දෙති. එබැවින් සංස්කාරයන්හි නො ඇලීම මැනවි. එයින් මිදීම මැනවි.

ඇති හැටි ඇති සැටියෙන් දැකිය යුතු ය. ව්‍යසනය ව්‍යසනයක් ලෙස තේරුම් ගත යුතු ය. එයින් සත්ත්වයෝ සැනසිල්ලක් ලබති.

මෙම බුදුවදන් මනසට නගමින් කොවිඩ් 19 ව්‍යසනයේ දී සෞඛ්‍යාරක්ෂිත ව සිටීමටත්, සුළු අපහසුතා ඉදිරියේ හඬා නො වැළපී එකාමෙන් අභියෝගයන් ජය ගැනීමටත්, ධර්මානුකූල ව ජීවත් වීමටත් වෑයම් කළ යුතු ය. බොහෝවිට දැනට සිදුවන්නේ ව්‍යසනයෙහි දී හිතුවක්කාර හැසිරීමෙන් තමන් ද වැනසී අනුන් ද වනසන ක‍ි‍්‍රයාවලියකි.

සමස්ත ලෝකය ම රැඳී පවතින්නේ ආශ්වාස ප‍‍්‍රශ්වාස බලය මත බව තේරුම් ගන්න. ස්වභාව ධර්මයේ රිද්මය හඳුනාගෙන එයට හිතවාදී ව ජීවත් වෙමින් ධර්මානුකූල හා බුද්ධිමය චර්යාවකින් ව්‍යසනය පිටු දැකීමේ වගකීම් සහිත බව සුරකිමු.