Print this Article


නො පිළිගන්නා පූජාව

නො පිළිගන්නා පූජාව


අජීවමාන බුදුවරුන්, රහතුන් උදෙසා කරන පූජා උන්වහන්සේලා නො පිළිගන්නාහ. පරිභෝග නො කරන්නාහ. නො පිළිගන්නා වූ, පරිභෝග නො කරන්නා වූ නැති බුදුවරුන්ට, නැති රහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද? ඵලයක් ලැබේද? යනු මේ පූජාවන් පිළිබඳව ඇතමුන් නඟන ප්‍රශ්නයකි.

ඔවුන් ඒ ප්‍රශ්නය නඟන්නේ පින් පව් නො හැඳිනීම නිසා ය. ජීවමාන බුදුරජාණන් වහන්සේට යම්කිසිවක් පූජා කරන කල්හි පින වන්නේ තථාගතයන් වහන්සේගේ පිළිගැනීම හෝ පරිභෝග කිරීම නොව පූජා කරන තැනැත්තා තුළ ඇතිවන, ඒ වස්තුව තථාගතයන් වහන්සේට පිරිනමන ප්‍රසාදයෙන් යුක්ත සිත ය.

පූජා කළහුට අනාගතයේ ඉෂ්ට විපාක ඇති කර දෙන්නේ ද තථාගතයන් වහන්සේ විසින් නො ව, පූජකයා තුළ ඇති වූ කුසල චිත්තයෙන් ම ය. යම්කිසි පූජාවක් කරන තැනැත්තකුට කුසලය ඇති වන්නේ ඒ පූජාව පිළිගැනීමට ප්‍රථමයෙනි. ප්‍රතිග්‍රාහකයා විසින් පූජාව පිළිගන්නේ කුසල චිත්තය ඇති වූවාට පසුව ය. පරිභෝග කරන්නේ ඊටත් පසුව ය. පිළිගැනීම්, පරිභෝග කිරීම් දෙක සිදු නොවීමෙන් කලින් ඇති වූ කුසල චිත්තයට හෝ එයින් ලැබෙන විපාකයට හෝ වන හානියක් නැත.

මහාප්‍රජාපතී ගෝතමී තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති මහත් භක්තිය නිසා උන්වහන්සේට සිවුරු පිණිස සළු සඟළක් පුදනු කැමැත්තී, රජගෙදර ගබඩාවල, බොහෝ අගනා වස්තු ඇත ද ඒවා නොගෙන පුළුන් ගෙන්වා සියතින් ම නූල් තනා, සියතින් ම සළු සඟළක් වියා කරඬුවක බහා හිසමත තබාගෙන දාශිගණයා හා තථාගතයන් වහන්සේ වෙත පැමිණ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් නුඹ වහන්සේ උදෙසා සියතින් ම නූල් අඹරා, සියතින් ම වියා පිළියෙල කළ මේ සළු සඟළ මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා’ යි සැල කළා ය. එකල්හි තථාගතයන් වහන්සේ, ‘සංඝෙ දෙහි ගොතමි, සංඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පුජිතො භවිස්සාමි සංඝො ච”

යනුවෙන් ගෞතමිය, සංඝයාට දෙව, ඒවා සංඝයාට දුන් කල්හි මම පූජා කරන ලද්දේ වෙමි. සංඝයා ද පූජා කරන ලද්දේ යැ යි වදාරා ගෞතමිය ගේ පූජාව ප්‍රතික්ෂේප කළ සේක. තථාගතයන් වහන්සේ ලෝකයෙහි අග්‍රදක්ෂිණෙය්‍ය වන සේක.

සංඝයාට පිදීමෙන්, බුදුනට පිදීමෙන් වන කුසලය තරම් මහත් කුසලයක් නො වේ. සළු සඟළ ප්‍රතික්ෂේප කිරීමෙන් තථාගතයන් වහන්සේට එය පිදීමේ කුසලය නැති වී යතහොත් බොහෝ වෙහෙසී ලබා ගන්නට තැත්කළ ඒ කුසලය ලබා ගන්නට නොදී එයට කුඩා කුසලයක් ලබා ගන්නට සැලැස්සීම තථාගතයන් වහන්සේ විසින් සිය මෑණියන්ට කරන ඉමහත් අපරාධයකි.

බුදුවරයෝ මාපියන්ට ගරු කරන්නාහ. කිසි කලෙක අපරාධයක් නො කරන්නාහ. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට කළ පූජාව ප්‍රතික්ෂේප කොට එය සංඝයාට පුදන්නට නියම කරන ලද්දේ මහාප්‍රජාපතී ගෝතමියට අතිරේක වශයෙන් තවත් කුසලයක් ලබාදීම පිණිස ය. මේ වස්ත්‍ර පිළිගන්නා සේක්වායි කියා තථාගතයන් වහන්සේ ඉදිරියේ ඒ වස්ත්‍ර තැබූ පසු ඇගේ පින සිදු වී අවසාන ය. ඇයට බුදුරදුන් පිළිබඳව පූර්ව චේතනා, මුඤ්චන, චේතනා අපර චේතනා යන කුසල චේතනාත්‍රය ඇති වී අවසාන ය.

තථාගතයන් වහන්සේ විසින් පිළිගැනීමෙන් හෝ නොපිළිගැනීමෙන් හෝ ඒ ඇති වූ කුසල චේතනාවලට වන අමුත්තක් නැත.

තථාගතයන් වහන්සේගේ නියෝගයෙන් ඒ පිරිකර නැවත සංඝයාට පිදූ කල්හි ඇයට සංඝයා සම්බන්ධයෙන් ද පූර්වචේතනා, මුඤ්චන චේතනා, අපර චේතනා යන චේතනාත්‍රය ඇතිවීමෙන් කුසල චේතනා සයක් වන්නේ ය. එයින් ඇයට වස්ත්‍ර පූජාව අධිකතර මහත්ඵල මහානිසංස වන්නේ ය.

‘තථාගතයන් වහන්සේ ගෝතමියගේ පූජාව ප්‍රතික්ෂේප කළේ ඒ කරුණ නිසා ය. නැත්තා වූ අජීවමාන බුදුවරුන්ට ආහාර පාන වස්ත්‍රාදිය පිදූ කල්හි ප්‍රතිග්‍රාහකයන් නැති කමින් පූජා කරන්නහුගේ පිනට හානියක් නැතිබව ජීවමාන බුදු කෙනකුන්ට පූජා කිරීමෙන් වන කුසලයට සමාන කුසලයක් අජීවමාන බුදුවරුන්ට පිදීමෙනුත් ලැබිය හැකි බව කියන ලද කරුණු අනුව තේරුම් ගත හැකි ය.

මල් පහන් ආදියෙන් බුදුරදුන්ට පිදීමෙන් පමණක් නො ව උන්වහන්සේට වත් කිරීමෙන් ද සැදැහැතියන්ට පින්සිදු කර ගත හැකි ය. තථාගත පරිනිර්වාණයෙන් පසු ද ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් ජීවමාන කාලයේ උන්වහන්සේට කළ ගඳකිළිය හැමදීම, අසුන් පැනවීම, පැන වූ අසුන් තැන්පත් කිරීම, පහන් දැල්වීම, නාන පැන්, මුවදෝනා පැන් පිළියෙළ කිරීම, දැන් නෑමට වේලාව ය. දැන් දහම් දෙසීමට වේලාව ය, දැන් භික්ෂූන්ට අවවාද දීමට වේලාවය යනාදීන් කාලාරෝචනය කිරීම යන වත් සියල්ල බුදුරදුන් ජීවමාන කාලයේ දී කළාක් මෙන් ම පිරිනිවීමෙන් පසු ද කළ බව සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි හා සුමංගල විලාසිනී නම් වූ දික්සඟි අටුවාවෙහි ද කියා ඇත්තේ ය.

ඒ අනුව ප්‍රතිමා මන්දිරයක හෝ දාගැබක බෝධියක හෝ තථාගතයන් වහන්සේට වත් කිරීමේ චේතනාවෙන් පරමල් ඉවත් කිරීම්, මලසුන් සේදීම්, හැමදීම්, කසළ බැහැර කිරීම්, පැන් එළවා තැබීම්, තණ ආදිය උදුරා ඉවත් කිරීම් යනාදී වත් කිරීමෙන් පින් කැමැතියන්ට බොහෝ පින් සිදුකර ගත හැකි ය.

රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ 'පුණ්‍යොපදේශය'  ග්‍රන්ථය ඇසුරිනි