Print this Article


දුෂ්කරතා මැද වුව ද ධර්ම මාර්ගය අත්නොහරින්න

 දුෂ්කරතා මැද වුව ද ධර්ම මාර්ගය අත්නොහරින්න

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා ලෝකයට කියා දෙනවා. උන්වහන්සේ දහම් දෙසනවා. ආරම්භය කල්‍යාණ වූත්, මැද කල්‍යාණ වූත්, අවසානය කල්‍යාණ වූත්, අර්ථ සහිත වූත්, පැහැදිලි ප්‍රකාශනවලින් යුතු වූත් මුළුමනින් ම පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරනවා.

මනාව දේශනා කොට වදාළ මේ උතුම් ධර්මයට මනුෂ්‍යයා ඉහළ ම තලයට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයෙකුට කිසිම ලෝකයක බැරි විදිහට සීලය දියුණු කරන්න පුළුවන් මාර්ගය මේ ධර්මය තුළ පෙන්වා දෙනවා.

සමාධිය දියුණු කරන්න පුළුවන් මාර්ගයත් පෙන්වනවා. ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් මාර්ගයත් පෙන්වනවා. මේ ලෝකයේ තියෙන සියලු ම බන්ධනයන්ගෙන් නිදහස් වෙලා අවබෝධයෙන් ම විමුක්තිය කරා යන මාර්ගයත් ගෞතම බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට පෙන්වා දෙනවා.

පෙනෙන නොපෙනෙන ලෝකයේ බලපෑම් මේ විදිහට අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විමුක්ති මාර්ගය ලෝකෙට හෙළිදරව් කරන කොට උන්වහන්සේ ඒක හෙළි කරන්නේ විශාල බලයක් ඇතිව. ඇයි ඒ වගේ විශාල බලයක් ඇතිව ඒක කරන්න වෙලා තියෙන්නෙ? එහෙම නැත්නම් මේ මාර්ගය කඩාකප්පල් කරනවා. මේකට හේතුව තමයි සීල, සමාධි, ප්‍රඥාවලට විරුද්ධ මේ පෙනෙන ලෝකය විතරක් නොවෙයි, නො පෙනෙන ලෝකයේත් ඇතැම් පිරිස් විරුද්ධ යි.

කෙලෙස් සහිත මේ මනුෂ්‍ය ලෝකෙ විතරක් නොවේ, නො පෙනෙන ලෝකෙත් මේ ධර්මය බබළනවාට කැමති නැහැ. ඒකට හේතුව තමයි මනුෂ්‍යයෙක්, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් දියුණු වෙනකොට ඒ පිරිස සිතනවා ඔවුන් ඉක්මවා යන්න හදනවා කියල.

මේකෙන් බේරෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම. ඒක තමයි අපට කරන්න තියෙන දේ. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම අප කරගත යුත්තේ උන්වහන්සේ වදාළ ධර්මය තුළින්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැනත් හිත පහදිනවා. ඒ විදිහට උතුම් ශ්‍රී සද්ධර්මය ගැනත් අපේ හිතේ පැහැදීම ඇති කර ගන්න ඕන. ඊළඟට හිත පහදවා ගන්න ඕන ඒ ධර්ම මාර්ගයේ ගමන් කළ ශ්‍රාවකයන් ගැන. ඒ විදිහට සිත පහදවා ගත්තොත් අපට ඇතිවෙනවා ශ්‍රද්ධාවක්. ශ්‍රද්ධාව තමයි අපට මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න උපකාර වන මූලික ම දේ.

මේ මනුෂ්‍ය ලෝකයේ තිබෙන විවිධත්වය නිසා, ඒ වගේ ම මනුෂ්‍යයන් අතර තිබෙන කෙලෙස් නිසා මේ ලෝක සත්ත්වයන් හැම තිස්සේ ම තම තමන්ගේ ප්‍රතිරූප හදාගෙනයි වාසය කරන්නේ. එක එක්කෙනා තමා ගොඩනඟා ගත් ප්‍රතිරූපයකට අහුවෙලා ඉන්නවා. එයට කියනවා ආත්ම දෘෂ්ටිය කියල. මේ ආත්ම දෘෂ්ටියත් එක්ක තමයි අප මේ ගමන ආවෙ. අර හිතේ පැහැදීම ඇති කරගත්තෙ නැත්නම්, ආත්ම දෘෂ්ටිය ඉස්සරහට එනවා. ඊටපස්සේ අප ධර්මය ඉගෙන ගන්නවා, ධර්මය කියනවා, ධර්මය තේරුම් ගන්න කල්පනා කරනවා. හැබැයි ඒ ඔක්කොම අපි කරන්නෙ ආත්ම දෘෂ්ටියත් එක්ක නම් ඊට පස්සෙ වෙන්නෙ ටික කාලයක් යනකොට තමන්ගේ දෙයක් කිය කිය යන එකයි.

තුනුරුවන කෙරෙහි ඇති කරගත් පැහැදීම තියෙන්න ඕන අවබෝධයෙන් යුක්තව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, ශ්‍රාවක සංඝයා කෙරෙහි තියෙන පැහැදීම බොරුවට ඇති කරගන්න බැහැ. ශ්‍රද්ධාව කියන දේ අවංකකමත් එක්ක එන්න ඕන එකක්.

අවංකකමින් පැහැදීම ඇතිවෙන කොට ධර්මය කෙරෙහි එයාගෙ හිත අවංක වෙනවා. අවංක වුණාම ඒ පැහැදීමත් එක්ක ඉලක්කයක් එනවා, “අනේ මට මේ ධර්මය අවබෝධ කරගන්න ඇත්නම් කොයිතරම් හොඳයි ද?” කියල. ඒකත් එක්ක අර තමන් ගොඩ නඟාගත් ආත්ම දෘෂ්ටිය ඉස්සරහට එන එක නැතිව යනවා. දැන් බලන්න සමිති සමාගම් තුළ සාමාජිකයන් තනතුරුත් එක්ක පොර බදනවා. ආයතනවල නිලධාරීන් තනතුරුත් එක්ක පොර බදනවා. ප්‍රධානත්වය උදෙසා ඒ ඒ අය තනතුරුත් එක්ක පොර බදනවා. මොකක්ද මේ පොර බැදීම පිටිපස්සෙ තියෙන්නෙ? ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය ආපු ගමන් කෙනෙක් තව කෙනෙක් ඉස්සරහට යනවට කැමති නැහැ. මේ ආත්ම දෘෂ්ටිය තියෙනව නො පෙනෙන ලෝකයේ පෙනෙන ලෝකයට වැඩිය සිය දහස් ගුණයකින්. අපට තේරෙන්නෙ නෑ අපට නො පෙනෙන ලෝකයෙන් විශාල බලපෑමක් තියනවා කියල.

ඒක බැලූ බැල්මට පේන්නෙ නැති දෙයක්. බුද්ධ දේශනා කියවමින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවත් අත නොහැර ධර්ම මාර්ගය පුරුදු කර ගන්න මහන්සි ගන්න කෙනෙකුට තමයි ඒක තේරෙන්නෙ. අද ඉන්න ගොඩක් අය මේ ධර්ම මාර්ගය ගැන හිත පහදවා ගන්න මහන්සි ගන්නේ නෑ. මේ ධර්ම

මාර්ගය කෙරෙහි හිත පහදවා ගන්නේ බොහොම ටික දෙනයි. මේ ධර්ම මාර්ගය කෙරෙහි හිත පහදවා ගැනීම තමයි ඔබට ඔබව රැකගන්න තියෙන පළවෙනි ක්‍රමය. සාමාන්‍යයෙන් මේ ලෝකයට මේ ධර්මය කියා දෙන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕන ඒකයි.

බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුනාම තමයි අර සියල්ලම මර්දනය කරන්නෙ. මර්දනය කරල පාර සකස් කරල දෙනවා අනිත් අයට. ඒ විදිහට බුදුන් වහන්සේ නමක් පහළ වෙලා පාර සකස් කරල දෙන කොට නො පෙනෙන ලෝකයෙන් අනෙක් ලෝකවලට එල්ලවෙන බාධා මැඬගෙන යන්න පුළුවන්.

දීඝ නිකායේ තියෙනවා සුභ කියලා සූත්‍රයක්. සුභ කියලා මානවකයෙක් ආනන්ද මහරහතන් වහන්සේගෙන් අහනවා, “ස්වාමීනී ආනන්දයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ නිතර නිතර දේශනා කළේ මොකක් ගැනද?” කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ එතකොට කියනවා, “පින්වත් සුභ, බුදුරජාණන් වහන්සේ නිතර නිතර දේශනා කළේ ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව පිළිබඳවයි” කියලා. ඉතින් සුභ මානවක එතකොට අහනවා “ ස්වාමීනී මොකක්ද ඔය ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව?” කියලා.

ඒ වෙලාවේ එයට පිළිතුරු වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වචනය ඉස්මතු කරමින් වදාළා පින්වත් සුභ, බුදුරජාණන් වහන්සේ සීලය මෙන්න මෙහෙම වදාළා කියල.

සමාධිය පිළිබඳව මෙන්න මෙහෙම වදාළේ. ප්‍රඥාව පිළිබඳව මෙන්න මෙහෙම වදාළේ.

මේ කාටද විස්තර කරන්නේ පැවිදි කෙනෙකුට ද? ගිහි කෙනෙකුටද? සුභ කියන තරුණයාට. ගැඹුරු ධර්මයක් විස්තර කළා අරහත්වය දක්වා ම. සුභ මානවකයා ඒ ගැන හිත පහදවා ගත්තා. පසුව තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත්වුණා.

මේ ධර්මයේ මුල, මැද, අග දැනගන්න නම් සම්පූර්ණ ධර්මය ම දැනගන්න ඕන. මෙන්න මේක සෝවාන් වීමයි, සකදාගාමී වීම කියන්නේ මේකයි, අනාගාමී වීම කියන්නේ මේකයි, අරහත්වයට පත්වීම කියන්නේ මේකයි කියලා. මෙහෙම අපි ධර්මය ඉගෙන ගන්න කොට ධර්මය ගැන පරිපූර්ණ වශයෙන් පහදිනවා.

පහදින කොට සැකය ඉස්සරහට එන්නෙ නැහැ, ආත්ම දෘෂ්ටිය එන්නේ නැහැ, මාන්නය එන්නේ නැහැ.

පැහැදීම ආවේ නැත්නම් ඒවා තමයි හිත තුළ වැඩෙන්නේ. පැහැදීම නැති ලෝකෙක පැහැදීම ඇති කරගෙන මේ ධර්මය පිළිබඳව අනුමෝදන් වෙන්නවත් වර්තමානයේ ජීවත්වන අපට වාසනාව තියෙන්න ඕන.

ඒනිසා අදත් නිහතමානී ව ඉවසීම ආදී ගුණධර්ම ඇතිකරගෙන නිවන් මඟ පුරුදු කරන්න යමෙක් මහන්සි ගත්තොත් විශාල යහපතක් ජීවිතයට ඇතිකරගන්න පුළුවන්කම තියෙනවා.