මහා ධන සිටුවරයකු වූ
අන්නභාර දුගියාගේ කතාව
" මම කොතරම් නම් දන් දෙනවා ද? මට එක දෙවියෙක්වත් සාධුකාර දෙන්නේ නැහැ. මම නිසයි
අන්නභාර දුගියා ජීවත් වෙන්නේ. දෙවියන් සාධුකාර දෙන්න නම් ඒ දානය එසේ මෙසේ එකක් නො
විය යුතුයි. එය මහා පිනක් වෙන්න ඕනේ. "
සම්මා සම්බුදු රජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා ආදී
උතුමන්ට සුළුවෙන් හෝ හිත පහදවාගෙන යමක් පූජා කළොත් එයින් ලැබෙන පින මහත්ඵලයි
මහානිශංස යි.
අතීතයේ සුමන නම් සිටුවරයෙක් ජීවත් වුණා. ඔහු දිනපතා දුගී මගී යාචකටන්ට නිතර දන්
පැන් පූජා කළා. ඔහුට සේවකයෙක් සිටියා අන්නභාර නමින්. ඔහු ඉතා දුගී
ශ්‍රද්ධාවන්තයෙක්.
එක් දිනක් උපරිට්ඨ පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැඟිට මහත් වූ
අනුකම්පා සිත් ඇතිව ලොව දෙස බලන්නේ කාටද මම අද පිහිට වන්නේ කියා. උන්වහන්සේ අන්නභාර
නම් වූ දුගියා දැක ඔහුට පිහිට වෙමියි සිතා හිමාලයේ ගන්ධමාන පර්වතයෙන් එළියට වැඩම
කළා. අන්නභාර වනයේ සිට පිටතට එන වෙලාවේ අහසින් වැඩම කළ පසේ බුදුරජාණන් වහන්සේ ඒ ගමේ
දොරටුව අසල වැඩ සිටි සේක. හිස් පාත්‍රය ඇතිව සිටින පසේ බුදුරජාණන් වහන්සේ අන්නභාර
දුටුවා.
“ස්වාමිනි, දානය ලැබුණේ ද?”
“තවම නැත. ලැබුණොත් ලබන්නෙමි”
“ස්වාමින් වහන්ස, මොහොතක් වැඩ සිටින සේක්වා‘‘ යි, පැවැසූ දුගී මිනිසා ඉක්මනින්
නිවසට ගොස් බිරිඳ අමතා ,
“සොඳුරිය, මාගේ බත්පත තිබෙනවා නේද?”
“එසේය”
“සොඳුරිය අප පෙර දානය දී නොමැති නිසා මෙසේ දුගී වී ඉපදිලා සිටින්නේ. අපට යමක් දීමට
කැමැත්තක් ඇති වූ දාට දීමට යමක් නැහැ. යමක් තිබෙන දාට දීමට කෙනෙක් නැහැ. සොඳුරිය අප
ඉදිරියේ උපරිට්ඨ නම් පසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. මගේ බත් පත මේ පාත්‍රයට
බෙදා දෙන්න යි” කියා සිටියා.
සිය සැමියාගේ දානයේ කොටස්කාරියක වෙමි යි සිතා ඇයගේ බත් පතින් ද අඩක් පාත්‍රයට දමා
සැමියාට දුන්නා. අන්නභාර එය ගෙන ගොස් පසේ බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූවා.
“ස්වාමිනි, මේ දානය පූජා කරගත් පිනෙන් මම මේ ජීවිතයේ දී ත්, මතු ජීවිතයේ දී ත් දුගී
බවින් මිදේවා!” යි කියා සිටියා.
“පින්වත, එසේම වේවා යි!” පසේ බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
ඉන්පසුව අන්නභාර තමාගේ උතුරු සළුව ගෙන ගසක් මුලට එළා “ස්වාමීනි, මෙහි වැඩ හිඳ දානය
වළඳන සේක්වායි!” කියා සිටියා. පසේ බුදුරජාණන් වහන්සේ එහි වැඩ හිඳ සුවසේ දානය වළඳා
පුණ්‍යානුමෝදනා කොට එතැනින් වැඩම කළා.
ඒ මහානුභාව පින්කම සුමන සිටුතුමාගේ ඡත්‍රයට අරක්ගෙන සිටි දේවතාවා දුටුවා. ඔහු මහා
හඬින් සාධුකාර දුන්නා. එවිට, තමා දුගී මගී යාචකයන්ට දුන් දානය දුටු දෙවියා සාධුකාර
දුන්නා යැයි සිතූ සිටුතුමා,
“දේවේන්ද්‍රය, මගේ දානයේ පින දැක ඔබ සාධුකර දුන්නා ද?” කියා ඇසුවා. එවිට දෙවියා
කියන්නේ,
“සිටුතුමනි, ඔබ කළ පිනට මම සාධුකාර නොදුන්නෙමි. මම සාධුකාර දුන්නේ අද අන්නභාර නම්
දුගියා දුන් දානයේ පින දැකල යි. ඔහු උපරිට්ඨ නම් පසේ බුදුරජාණන් වහන්සේට දුන් දානයේ
පින මහත්ඵල යි. මහානිශංස යි.”
එවිට සුමන සිටුතුමා සිතන්නේ,
“මම කොතරම් නම් දන් දෙනවා ද? මට එක දෙවියෙක්වත් සාධුකාර දෙන්නේ නැහැ. මම නිසයි
අන්නභාර දුගියා ජීවත් වෙන්නේ. දෙවියන් සාධුකාර දෙන්න නම් ඒ දානය එසේ මෙසේ එකක් නො
විය යුතුයි. එය මහා පිනක් වෙන්න ඕනේ. සුදුසු ලෙස අන්නභාර සතුටු කරවා ඒ පින මම ලබාගත
යුතුයි” යැයි සිතූ සිටුවරයා අන්නභාර කැඳවා,
“අන්නභාර, ඔබ අද කවරාකාරයේ පිනක් ද සිදුකර ගත්තේ?”
“සිටුතුමනි, මට අද උපරිට්ඨ නම් පසේ බුදුරජාණන් වහන්සේට මගේ බත්පත පූජාකර ගන්නට
පුළුවන් වුණා.” එවිට සිටුතුමා කියනවා,
“අන්නභාර ඔබ මගේ සේවකයෙක්. ඉතිං මම කැමැතියි ඔබ කළ ඒ පින මිල දී ගන්න. මම එක
කහවනුවක් දෙන්නම්. ඒ පින මට දෙව.”
“සිටුතුමනි, මට ඒ පින දිය නො හැකියි”
එවිට සිටුතුමා ක්‍රමයෙන් ඒ දාන පිනෙහි මිල ඉහළ නැංවූවා. අවසානයේ දී කහවනු දහසක් දෙන
බවත්, කළ පින තමාට දෙන ලෙසත් සිටුතුමා ඉල්ලා සිටියා.
“සිටුතුමනි, එසේ පින දීම කළ යුතු ද? නැද්ද? කියා මම දන්නේ නැහැ. මම ඒ බව පසේ
බුදුරජාණන් වහන්සේගෙන් ම දැනගෙන එන්නම්” කියා ඔහු පසේ බුදුරජාණන් වහන්සේ සොයා ගියා.
“ ස්වාමීනි, සුමන සිටුවරයා ඔබ වහන්සේට දානය පූජාකර මම රැස්කරගත් පින මගෙන් ඉල්ලනවා.
ඒ සඳහා කහවනු දහසක් දීමට කැමැත්ත ප්‍රකාශ කළා. මම ඔහුට පින දෙන්න ද? එපා ද?” කියා
අසා සිටියා. එවිට පසේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.
“පින්වත, මම ඔබට උපමාවක් කියන්නම්. නිවාස පන්සියයක් ඇති ගමක් තිබෙනවා. ඒ ගමෙහි එක්
නිවසක පමණක් පහනක් දැල්වෙනවා. ඒ ගමේ අනෙක් පිරිස තෙල්, දැල්වීමට පහන් තිර ගෙන අර
නිවසට ගොස් ඔවුන්ගේ පහන් දල්වා ගන්නවා. ඔබ සිතන්නේ කුමක් ද? ඒ පහනේ එළිය වැඩිවේ ද?
අඩුවේ ද?”
“ස්වාමිනි, එළිය නැතිවීමක් නොවේ. තිබුණාටත් වඩා දීප්තිමත් වීමක් තමයි වෙන්නේ.”
“පින්වත, ඒ වගේම යම් උතුමකුට කැඳ හැන්දක් පූජා කළත්, බත් හැන්දක් පූජා කළත් ඒ පින
අන් අයට සතුටින් අනුමෝදන් කරනවා නම්, ඒ පින වැඩිවෙනවා. අඩුවීමක් නම් සිදුවන්නේ
නැහැ. ඔබ දුන් පිණ්ඩපාත දානය සිටුතුමාට පූජාකළ විට එය පිණ්ඩපාත දාන දෙකක් වෙනවා.
එකක් සුමන සිටුවරයාට ද, අනෙක ඔබට ද හිමිවෙනවා.”
අන්නභාර පසේ බුදුරජාණන් වහන්සේ වන්දනා කර සුමන සිටුතුමා වෙත ගොස්,
“සිටුතුමනි මගේ පිණ්ඩපාත දානයේ පින පිළිගනු මැන. “ කියා සිටියා.
“එසේනම් අන්නභාර මේ කහවනු දහස ඔබ ගන්න.”
“කහවනුවලට දානයේ පින නො දෙමි. පිනට පින පමණක් දෙමි.” අන්නභාර කිව්වා.
“පින්වත ඔබ සැදැහෙන් පින මට දෙන්න. මම තුටු පඬුරක් ලෙස ඔබගේ ගුණයට කහවනු දෙන්නම්.”
“එසේම වේවා!” කියා එය පිළිගත් අන්නභාර ඔහු රැස් කරගත් ඒ පින සිටුතුමාට අනුමෝදන්
කළා.
සුමන සිටුතුමා සෑම මසකම රජ මාලිගාවට සේවය සඳහා යනවා. එදා අනන්භාරවත් කැඳවාගෙන රජ
මාලිගයට ගියා. අනන්භාර ගේ පිනෙහි බලවත්කම නිසාම රජු ඔහු දෙසම බලා සිටියා.
“රජතුමනි, ඔබ වහන්සේ මොහු දෙසම බලා සිටින්නේ ඇයි?” සිටුතුමා ඇසුවා.
“සිටුතුමනි, මොහු මා පෙර දැක නැහැනේ.”
“රජතුමනි, මොහු දෙස බලා සිටිය යුතු කෙනෙක්.”
“බලා සිටීමට තරම් මොහුගේ ගුණ කවරෙක් ද?”
“මහරජ, මොහු තමාගේ බත්පත උපරිට්ඨ පසේ බුදුජරාණන් වහන්සේට පූජා කරගෙන මහත් වූ පිනක්
රැස්කර ගත්තා. මගෙන් ඔහුට ඒ සඳහා කහවනු දහසකුත් තුටු පඬුරු සේ ලැබුණා.”
“සිටුතුමනි, එසේ නම් මමත් ඒ ගුණයට මොහුට කහවනු දහසක් දෙමි.” රජු කියා සිටියා. ඒ
වගේම දුගියා ගැන පැහැදුණු රජතමා ඔහු ගැන කරුණු විමසා ඔහුට නිවසක් තනා දීමට තීරණය
කළා.
ඒ සඳහා ගෙබිම සුද්ධ කිරීමට රාජ පුරුෂයන් යෙදවූවා. ඔවුන් බිම පිරිසුදු කරන්නට උදළු
පහර ගසන ගසන තැන නිදන් සැළි උඩට ආවා. ඔවුන් ඒ බව රජුට දැන්වූවා. රජතුමා අණ කළේ ඒ
නිදන් සැළි පරිස්සමට ගොඩ ගන්නා ලෙසයි.
රාජ පුරුෂයෝ නැවත ගොස් ඒ පොළව සාරන විට නිදන් සැළි තව තවත් යටට ගිලී ගියා.
රාජපුරුෂයෝ ඒ බවත් රජුට දැන්වූවා. එවිට රජු කියා සිටියේ රාජපුරුෂයෙනි, ‘මේ සැළි
අන්නභාරගේ ‘ කියමින් උඩට ගන්නා ලෙසයි. ඔවුන් එසේ කරන විට හතු පිපෙන්නාක් මෙන් නිදන්
සැළි එළියට මතුවුණා. ඒ සියලු ධනය රජුගේ මිදුලේ ගොඩ ගැසුණා. රජතුමා ඇමැතියන් ගෙන්වා
“මේ නුවර මේ සා ධනය තිබෙන තව අයෙක් සිටිනවාදැයි” විමසා සිටියා.
“නැත දේවයන් වහන්ස” කියා ඔවුන් පිළිතුරු දුන්නා.
“එසේනම් මේ අන්නභාර මේ නගරයේ ධන සිටු ලෙසට මම නම් කරනවා.” කියා ඔහුට සිටු තනතුර
පිරිනැමුවා.
එතැන් පටන් බොහෝ පින් දහම් කළ අන්නභාර මරණින් මතු දෙව්ලොව උපන්නා.
- නයනා නිල්මිණී |