Print this Article


ප්‍රත්‍යලාභීන් අතර අගතැන් පත් සීවලී මහ රහතන් වහන්සේ

ප්‍රත්‍යලාභීන් අතර අගතැන් පත් සීවලී මහ රහතන් වහන්සේ


අසූ මහා ශ්‍රාවකයන් අතරින් සුවිශේෂී වූ සීවලී මහ රහතන් වහන්සේ ප්‍රත්‍යලාභීන් අතරින් අගතැන්පත් ය. වැලි කතරක වුව ද උන්වහන්සේ සමඟින් වැඩම කරන භික්ෂූන් වහන්සේට දානාදියෙන් කිසිදු අඩුපාඩුවක් සිදු නොවන්නේ ඒ නිසා ය. අදට ද ලාභ කැමැත්තෝ සීවලී මහ රහතන් වහන්සේ පුදනු ලබන්නේ මහත් වූ සැදැහෙනි.

මේ උතුම් භාග්‍යය සඳහා සීවලී මහ රහතන් වහන්සේ කල්ප ලක්ෂයකට පෙර ආත්ම භාවයෙහි විවරණ ලැබුවේ පදුමුත්තර බුදුන් වහන්සේගෙනි. ඒ එක්තරා කුල පුත්‍රයෙක් ලෙස බණ අසද්දී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් පදුමුත්තර බුදුන් වහන්සේගෙන් ප්‍රත්‍යලාභීන් අතරින් අග්‍ර බවට පිහිටවනු දැකීමෙනි.

මෙයින් සතුටට පත් කුල පුත්‍රයා ද බුදු පාමොක් මහ සඟ රුවනට සතියක් මුළුල්ලේ ම මහ දන් පවත්වා තම අදහස පැවසුවේ මහත් වූ සැදැහෙනි. පදුමුත්තර බුදුන් වහන්සේ ඒ සඳහා විවරණ ලබා දුන්නේ මෙයින් කල්ප ලක්ෂයකට පසුව පහළවන ගෞතම බුද්ධ ශාසනයේ දී මොහුගේ අදහස ඉටුවන බවට ය.

එදා සිටම අපමණ පින් දහම් සිදු කරමින් දෙව්, මිනිස් භවයන්හි උපත ලැබූ මෙම කුල පුත්‍රයා විපස්සී බුදුන් වහන්සේගේ කාලයේ දී උපත ලැබුවේ දිළිඳු කුලයක ය. එකල බන්දුමතී නුවර රජතුමා හා නුවර වැසියන් අතර පැවතියේ දන් දීමේ කදිම තරඟයකි.

දිනක් රජතුමා බුදු පාමොක් මහ සඟනට දන් පූජා කරන අතර තවත් දිනෙක නුවර වැසියෝ දන් පූජා කරන්නේ රජතුමාටත් වඩා සුවිශේෂී ලෙස ය. මෙලෙස දිනක් නුවර වැසියන්ගේ දිනය උදා විය. එදින කිසියම් දෙයක අඩුපාඩුවක් ඇති දැ’යි නුවර වැසියන් සොයා බැලුවේ දානමය තරඟයෙන් රජුට නොපරදින අදහසෙනි.

එහිදී කිරි , පැණි නොමැති බව දැනගත් නුවර වැසියෝ එය රජු හා කරන දන් පූජා තරඟයට අඩුපාඩුවක් යැ’යි සිතා කිරි ,පැණි සෙවීම සඳහා පුරුෂයන් යැව්වේ සතර දිසාවට ය. මෙහිදී පෙර සඳහන් කළ දුගී කුල පුත්‍රයා ඉදිරියට පැමිණියේ කිරි හා මී පැණි විකිණීමට ය. එය දුටු නුවර වැසියෙක් එය මිල කළේ කහවණුවකට ය. එහෙත් කිරි පැණි එතරම් මිලකට නොවටිනා බව සිතූ මොහු එය විකුණන්නේ නැති බව පැවසුවේ එහි ඇති අවශ්‍යතාව දැන ගැනීම සඳහා ය.

එහෙත් එය කහවුණු දහසක් දක්වා මිල කිරීමෙන් එතරම් මුදලකට කිරි පැණි ගැනීමට හේතුව මොහු විමසා සිටියේ කාරණය නිසි ලෙස දැන ගැනීමට ය. එහි දී පුරුෂයා පැවසුවේ කිරි පැණි පූජා කරන්නේ බුදුරදුන් සඳහා බව යි. මෙයින් අපමණ සතුටට පත් දුගී කුල පුත්‍රයා කිරි හා පැණිවලට මුදලක් අවශ්‍ය නැතැ’යි පවසා බුදු පාමොක් මහ සඟ රුවනට මී හා දී තම දෝතින් ම පූජා කළේ ඉමහත් වූ ශ්‍රද්ධාවෙනි.

බුදු පාමොක් මහ සඟරුවන කිරි හා පැණි වළඳනු දැක සතුටට පත් මෙම දුගියා පැතුවේ තමා ද යස ඉසුරින් අග තැන්පත් වේවා යනුවෙනි.

පසුව දිගු කලක් සසර සැරි සැරූ මොහු සසරේ අවසන් ආත්ම භාවයේ දී උපත ලැබුවේ කෝලිය වංශයෙහි සුප්පාවාසා බිසවගේ කුසෙහි ය. සත් වසක් හා සත් මසක් කුසෙහි දරාගත් දරු ගැබ ප්‍රසූත කිරීමට ඇය දුක් වින්ඳේ සත් දවසක් පුරා ය.

මේ නිසා ඇයගේ ස්වාමියා වන ලිච්ඡවී රජු බුදුරදුන් හමුවී දන් පිණිස තම නිවසට ආරාධනා කර, සත් දිනක සිට ම දරු ප්‍රසූතියට අපහසුවෙන් මරණාසන්න ව සිටින සුප්පාවාසාගේ සියලු සවිස්තර දන්වා සිටියේ වැඳ නමස්කාර පූර්වකව ය.

එහි දී බුදුරජාණන් වහන්සේ ,‘ඇය නිරෝගී වේවා!, වහා පුතකු ප්‍රසූත කරත්වා! යනුවෙන් වදාළේ මහා කරුණාවෙනි.

බුදුරදුන් හමුවී නැවත නිවසට යන සුප්පාවාසාගේ ස්වාමියාට දැක ගන්නට ලැබුණේ තම බිරිය නිරෝගී ව සිටින බවත්, ඇය පින්බර දරුවකු බිහි කළ බවත් ය. කාටත් ප්‍රිය වූ මේ සත් හැවිරිදි කුමරුට නම් තැබුවේ ‘සීවලී’ යනුවෙනි.

සීවලී කුමරු මව් කුස තුළ සත් අවුරුද්දකට අධික කාලයක් දුක සේ විසීමත්, ඔහු බිහි කිරීමට මෑණියන් සත් දිනක් පුරා දුක් විඳීමටත් හේතුව කුමක් දැ’යි දිනක් භික්ෂූන් වහන්සේ අතර ඇතිවූ කතා බහකි. එයට පිළිතුරු දුන් බුදුන් වහන්සේ වදාළේ සීවලී තෙරුන් වහන්සේ පෙර භවයක දී රජ කුලයක උපත ලබා තම මෑණියන් සමඟ කරන ලද පාප කර්මයක් ගැන යි. ඒ එක්තරා දුර්වල කුඩා රාජ්‍යයක් තමා සතු කර ගැනීමට සිදු කරන ලද යුද්ධයක් පිළිබඳව යි.

යුද වැදී රට අල්ලා ගැනීමට නොහැකි වූ විට ඒ රටට ආහාර පාන රැගෙන යන මාර්ග වසා සත් වසක් හා සත් මසක් රැකවල් යොදා , එයිනුත් රට යටත් කර ගැනීමට නොහැකි වූ විට තම මෑණියන්ගේ ඔවදනින් නුවරට ආහාර පාන සපයන එකම උමඟ ද වසා දැමී ය. මේ නිසා ආහාර පාන නොලැබුණු එරට වැසියෝ සතුරු රජුට යටත් ව තම රටෙහි විසූ රජු මරණයට පත් කර සිදු කරගත් පාපය ඉමහත් ය.

මෙලෙස සතුරු රජතුමා මිය ගොස් අවීචියේ උපත ලබා එහි නිරා දුක් වින්ඳේ අපමණ කාලයක සිට ය. තව ද සසරේ අවසන් ආත්ම භාවයේ දී ද සුප්පාවාසාගේ මව් කුස තුළ සත් වසක් හා සත් මසක් ම විඳී දුක අපමණ ය. එදා උමඟ වැසීමට අවවාද දුන් සතුරු රජුගේ මෑණියන් මෙදා සීවලී කුමරු බිහිකරන්නට අපහසුවෙන් අපමණ දුක් වින්ඳේ සත් දිනක සිට ය.

සීවලී කුමරු උපත ලබා සත් දිනකින් තම මව සමඟ සූදානම් වූයේ දන් පිණිස වැඩම කළ බුදුරදුන් නැමදීමට ය. සීවලී කුමරුගේ විශේෂත්වය වන්නේ ඔහු උපත ලබා සත් දිනක් ගත වුව ද කතා බහ කරන, ඇවිදින, සත් වසරක් ඉක්මවූ සොඳුරු දරුවකු වීම යි.

ඒ නිසා කුමරු කැමැත්තෙන් ම සඟරුවනට දන් පූජා කිරීමට ඉදිරිපත් වූ අයුරු අසිරිමත් ය. එහි දී සැරියුත් හිමියන්ගේ ආරාධනාවෙන් සීවලී කුමරු පැවිදි වීමට කැමැත්ත පළ කළේ, මව්පියන්ගේ අවසරය මත ය. පැවිදි කිරීමට සූදානම් කරන සීවලී කුමරු අමතා සැරියුත් තෙරුන් වහන්සේ වදාළේ. ‘සත් වසරකටත් වැඩි කාලයක් මව් කුසේ සිරවී විඳී දුක් හොඳීන් සිහිපත් කරන්න’යි’පළමු, දෙවන, තෙවනඅවස්ථාවල දී කුමරුගේ හිස කෙස් කපා දෝතට දෙන මොහොතේ ම සෝවාන් , සකෘදාගාමී , අනාගාමී ඵලයන්ට පත්වූයේ පිළිවෙළිනි. හිස කෙස් කපා අවසන් වීමට පෙර ම සියලු කෙලෙසුන්ගෙන් දුරුව, අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව් පිළිසිඹියාපත් ව මහරහත් වූයේ භාග්‍යවත් ලෙස ය.

එදා සිටම සීවලී මහ රහතන් වහන්සේට දානමාන ආදියෙන් කිසිදු අඩු පාඩුවක් නොවී ය. ත්‍රිපිටකධාරී උන්වහන්සේ තුන් සිවුරු අට පිරිකර දැරුවේ රහත් වීමෙන් පසුව ය.

මෙලෙස සීවලී මහ රහතන් වහන්සේට දිනපතා දහස් ගණනින් දානාදිය, චීවර ප්‍රත්‍යය ලැබුණේ පිනෙහි මහිමය නිසා ය . ඒ සියල්ලම උන්වහන්සේ මහා සඟ රුවනට පූජා කළේ නොපසුබටව ය. සීවලී රහතන් වහන්සේ විමසිලිමත් වූයේ, ‘මට පූජා ලැබෙන්නේ නගරවලදී පමණක් ද? ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශවලදීත් ලැබේ ද?’ යනුවෙනි.

දිනක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා ගෙන පන්සියයක් රහතන් වහන්සේ සමඟ පළමු ව හිම වත කැලයක නුග ගසක් යට වැඩම කර සිටියේ තමන්ගේ ප්‍රත්‍යලාභය පිරික්සා බැලීමට ය. එහි දී දෙවි දේවතාවුන්ගෙන් ලැබුණු දිව්‍යමය පූජා අපමණ ය.

දෙවන වර පාණ්ඩව පර්වතයට ද, තෙවනුව අචිරවති ගංතෙර අසලට ද, සිව්වන වර සාගර තලයට ද, පස්වන වර හිමවන්තයට ද, හයවන වර ඡද්දන්තයට ද, සත්වන වර ගන්ධමාදන පර්වතය ආදියෙහි වැඩ සිටියේ දින හතළිස් නවයක් පුරා ය.

මෙහි දී සීවලී මහරහතන් වහන්සේ ඇතුළු සියලුම රහතන් වහන්සේට දිව්‍යමය ආහාර පූජා කළේ දෙවි දේවතාවුන් ය. ඛදිරවනීය රේවත තෙරුන් වහන්සේ දැකීම උදෙසා වැඩම කළ තිස් යොදුන් දුෂ්කර ගමන ද සීවලී මහ රහතන් වහන්සේගේ ප්‍රත්‍යලාභය පිරික්සීමට කදිම නිදසුනකි.

පසු කලෙක දී ගෞතම බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටිය දී ඛදිරවනීය රේවත තෙරුන් වහන්සේගේ ගමන අරමුණු කරගෙන සිව් වණක් පිරිස මධ්‍යයේ ලබා දුන් තනතුරු අගනේ ය. ඒ සීවලී මහ රහතන් වහන්සේ ප්‍රත්‍යලාභීන් අතරින් අග්‍ර වන බවට ය.

සීවලී මහ රහතන් වහන්සේගේ අතීත සසර මඟ කරුණු අනාවරණය කර ගැනීමේ දී රජකු වී සිදු කරගත් පාපයෙන් සසරේ දුක් විඳී අයුරුත්, සිදු කරගත් පිනෙහි මහිමයෙන් ප්‍රත්‍යලාභීන් අතරින් අගතැන්පත්වීමත් සඳහන් කළ හැකි ය.