ආහාර පිදීමේ අනුසස්
රේරුකානේ
චන්දවිමල නා හිමි
අතීත කර්ම බලයෙන් සත්ත්වයා උපදී. පළමුවෙන් උපත ලබා දීමට මිස ඉදිරියට ඒ සත්ත්වයාගේ
ජීවිතය පැවැත්වීමට කර්මය සමත් නොවේ. සත්ත්වයාගේ ජීවිතය ඉපදීමෙන් පසු ඉදිරියට කලක්
පවත්නේ ආහාරයේ බලයෙනි.
ආහාර නොලද හොත් දිවිය නො පවතී. එබැවින් ජීවිතය ඉදිරියට පැවැතීමට උපකාර වන ආහාර දීම
ජීවිතය හෙවත් ආයුෂය දීමක් වේ. ආහාර පිදීම ආයුෂ පිදීමක් වේ. කොතරම් රූප ශෝභාව
ඇතියකුට වුව ද ආහාර හිඟ වුවහොත් එය නැති වී විරූප වේ. රූපශෝභාව ඇතිවීමට පැවතීමට හොඳ
ආහාර වුවමනා ය. එබැවින් රූප ශෝභාව ඇතිවීමට පැවතීමට හේතු වන ආහාර දීම, පිදීම ශරීර
වර්ණය දීමක් පිදීමක් වේ.
නිරාහාරව, ක්ලාන්ත ව සිටින්නකුට අන් කුමක් ඇත ද සැපයක් නැත. සාගින්න නිවා ගැනීමට
පමණක් නොව අන් ක්‍රමවලින් සැප ලැබිය හැකි වීමටත් ආහාර ලැබිය යුතු ය. එබැවින් ආහාරය
දීම සැපය දීමකි. ආහාරය පිදීම සැපය පිදීමකි.
ආහාර නො ලැබ ගිය හොත් අනිකක් කිරීමට තබා තමාගේ ශරීරය එහා මෙහා ගෙන යාමට පමණවත්
ශක්තියක් ඉතිරි නොවේ. ශක්තිය ලැබෙන්නේ ආහාරයෙනි.
එබැවින් ආහාර දානය ශක්තිය දීමක් වේ. ආහාර පූජාව ශක්තිය පූජාවක් වේ. ආහාර හිඟව ලේ
මස් වියළී ගොස් ඉන්ද්‍රිය දුබල වුවහොත් ප්‍රඥාව නැති වේ. ප්‍රඥාව ඇතිවීමටත් ආහාර
ලැබිය යුතු ය. එබැවින් ආහාර දානය ආහාර පූජාව ප්‍රඥා දානයක්, ප්‍රඥා පූජාවක් ද වේ.
ආයුෂය, ශරීර වර්ණය, සැපය, ශරීර ශක්තිය, ප්‍රඥාව යන කරුණු පස සත්ත්වයනට ඉතා උසස්
කරුණු පසෙකි. එබැවින් ඒවා ලැබීමට හේතුවන ආහාර දානය, ආහාර පූජාව උසස් දානයක්, උසස්
පූජාවක් වේ. එය උසස් පිනක් වේ.
රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ
'පුණ්‍යොපදේශය' ග්‍රන්ථය ඇසුරිනි |