නිවන් දැකීම
භික්ෂුන් වහන්සේට පමණක්
අදාළ ද ?
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක,
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති
පරවාහැර චන්දරතන නා හිමි
ලෝකයේ විචාරශිලී ව පිළිගැනීමට අනුබල දෙන දහමක් වේ නම්, ඒ බුදු දහමයි. කියන්නාගේ
සමාජ තත්ත්වය හෝ වෙනත් කරුණක් මත පැවති පිළිගැනීමේ ක්‍රමය වෙනුවට අදාළ කරුණ
පැහැදිලි කිරීමක් සිදු කර, එය පිළිගත හැකි දැයි බලන්නට ආරාධනා කිරීමේ ක්‍රමය
හඳුන්වා දුන්නේ බුදු දහමයි.
මෙම ලක්ෂණය තිබෙන අන් දහමක් ලොව නොමැති තරම් ය. තම රූපයට හා කටහඬට පැහැදුණු වක්කලී
වැනි අය ගේ ක්‍රියාකලාප බුදු රජාණන් වහන්සේ අනුමත නොකළ අතර, පැහැදිලි කිරීමකින්
තොරව වෙනත් ක්‍රමවේදයකින් ඇති කරගන්නා පැහැදීම ද බුදුරජාණන් වහන්සේ බැහැර කළහ.
වරක් රත් සඳුන් පාත්‍රයක් ලබා ගැනීම වෙනුවෙන් සෘද්ධි ප්‍රාතිහාර්යයක් පෑ ලක්ඛණ
තෙරුන් වහන්සේ ගේ ක්‍රියාව ප්‍රතික්ෂේප කරන උන් වහන්සේ එසේ ලබාගත් පාත්‍රය පවා
කැබලි කර බෙහෙත්වලට ගන්නට නියම කළහ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව පස්වග
තවුසන් සොයා වැඩම කළ නමුත් ඔවුන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගැනීමට අකැමැති
වූහ. එවිට පවා බුදුරජාණන් වහන්සේ අනුගමනය කළේ මනසට, බුද්ධියට ආමන්ත්‍රණය කරන
ක්‍රමයයි.
එහෙත් වර්තමානය වන විට පුද්ගල සරණ යෑම බෙහෙවින් දක්නට ලැබෙන බව පෙනේ. විවිධ දේශකයන්
වහන්සේලාගෙන් දහම ශ්‍රවණය කරනවා වෙනුවට ඒ ඒ ධර්ම දේශකයාණන් වහන්සේලා මනසින්
අල්ලාගෙන සිටීමක් දක්නට ලැබෙයි.
එසේම යමක් පිළිගැනිමේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන “පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි
“ යන ක්‍රමය හෙවත් නුවණින් කල්පනා කර පිළිගැනිමේ ක්‍රමයට වඩා දේශකයාණන් වහන්සේගේ
කිසියම් ලක්ෂණයක් අනුව, උන්වහන්සේ දේශනා කරන දේ සත්‍යය යන්නට බොහෝ අය ප්‍රිය කරන බව
පෙනේ. බෞද්ධ පින්වතුන්ට යම්කිසි දහම් කරුණක් පැහැදිලි කර ගැනීමට තිබෙන ඉතාම හොඳ
මාර්ගයක් වන්නේ උගත් ධර්මධර දේශකයාණන් වහන්සේලාගෙන් විමසීම ය. එහෙත් ඒ කවරක් වුව ද
ඉහත කී පිළිගැනීමේ න්‍යායට යටත් වන බව අමතක නොකළ යුතු ය.
බුදුරජාණන් වහන්සේලාගේ අරමුණ පිළිබඳව දක්වන්නේ මෙසේ ය.
බුද්ධෝහං බොධයිස්සාමි
මුත්තොහං මෝචයෙ පරෙ
තිණ්ණෝහං තාරයිස්සාමි
සංසාරෝඝා මහබ්බයා
"මම බුදු බවට පත් ව මිදීමට පත්ව මහා බිය ඇති සංසාර ඕඝයෙන් සත්වයා එතෙර කරවන්නෙමි"
යන්න බුදුරජාණන් වහන්සේලාගේ අරමුණයි. එහි කිසිදු පුද්ගලයෙක් විශේෂ කොට නැත.
බුදුරජාණන් වහන්සේලාට සියලු මානව හා සත්ව වර්ගයා ම සසරෙහි අතරමං වූවන් පමණි. එමනිසා
සියලු දෙනාටම ඇත්තේ එකම මාර්ගයකි.
විශ්වය රටාවකි. සියල්ල චක්‍රයක් මෙන් නැවත නැවත සිදු වෙයි. විශ්වය පවා කිසියම් කලක
විනාශය කරා ගමන් කරන අතර, තවත් කලක ප්‍රතිනිර්මාණය වෙයි. අග්ගඤ්ඤ වැනි සූත්‍රවල
බුදුරජාණන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරති. සියලු ලෝකයට පොදු මේ ක්‍රමවේදයට
බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම ද අදාළ ය.
බුදුරජාණන් වහන්සේ ද කලින් කලට ලෝකය මත පහළ වෙති. ඒ කාලය තුළ ප්‍රඥාව සම්පූර්ණ කොට
ඇති සත්වයෝ සසරින් එතෙර වෙති. බුදු රජාණන් වහන්සේ කී නමක් ලෝකය තුළ පහළ වුවත්
සත්‍යය වෙනස් නොවේ.
දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කළේත්, ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කළේත් එකම
චතුරාර්ය සත්‍යයි. එකම ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දහම පිළිබඳව සඳහන් කරමින්
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එය“ පුරාණ අඤ්ජසං“ හෙවත් පැරැණි මාර්ගයක් යනුවෙනි.
,
බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක පිරිස දෙපිරිසකි. එනම් ආර්ය සංඝ හා පෘථග්ජන සංඝයි.
සංඝ යනු සමූහය පිරිස යන තේරුම දෙයි. ආර්ය සංඝයා ද භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා
යන සිවු පිරිසෙන් යුතු වන අතර පෘථග්ජන සංඝයා ද එසේම සිවු පිරිසෙන් යුතු ය. ආර්ය
සංඝයා යනු නිවනට හෝ නිවන් මඟට පිළිපන් උතුමන් ය. සුපටිපන්න ආදී මේ ගුණ පවතින්නේ
ආර්යයන් වහන්සේලාට ය. ශ්‍රාවක සංඝ යනු ද ආර්ය සංඝයාට නමකි.
සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝො යනුවෙන් සඳහන් කළ විට එයට අයිති වන්නේ සෝවාන්,
සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ගස්ථ, ඵලස්ථ, භික්ෂු, භික්ෂූණී, උපාසක හා උපාසිකා
පිරිසයි.
සුපටිපන්නෝ ගාථාවෙන් පෘථග්ජන භික්ෂුන් වහන්සේ ලා අදහස් නොවේ.
ආලවක යනු යක්ෂයෙකි. එහෙත් සෝවාන් ඵලයෙහි පිහිටි ශ්‍රාවකයෙකි. එසේම උපාසකයෙකි.
බුදුරජාණන් වහන්සේ ඔහුට අමතන්නේ මගේ ශ්‍රාවකයන් අතුරෙන් යනුවෙනි. මේ සිද්ධිය හරහා
උපාසක හා උපාසිකා යන්න මෙන්ම, ශ්‍රාවක භාවය පිළිබඳව ද පැහැදිලි තේරුමක් දිය හැකි ය.
භික්ෂුන් හා භික්ෂුණීන් වහන්සේලා හැරෙන්නට දෙවියකුට හෝ, යක්ෂයකුට හෝ, ධර්මය අවබෝධ
කර ගත හැකි ඕනෑම අයෙකු ට බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් විය හැකි ය . ඒ සෝවාන් ආදී මග
ඵලවලට පත් වීම තුළිනි. එසේ මඟ ඵලවලට පත් නොවී ධර්ම මාර්ගයෙහි ගමන් කරන කවරෙක් වුව ද
පෘථග්ජන සංඝ කොටසට අයත් වෙති.
බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු සම්ප්‍රදාය බිහිකරනු ලබන්නේ වඩාත් පහසුවෙන් ධර්ම
මාර්ගයෙහි ගමන් කිරීමට අවශ්‍ය නිදහස ඇති කිරීම සඳහා ය. එහෙත් භික්ෂු භාවය පමණක්
නිවන් මඟට දොර යැයි කිසිදු විටක නොවදාළ හ. අනෙක් අතින් උන්වහන්සේ වඩාත් අගය කරනු
ලැබූයේ හුදු භික්ෂු භාවයට පැමිණීම පමණක් නොවේ.
නියමාකාරයෙන් පිළිවෙත් සම්පූර්ණ නොකළ බොහෝ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ
අවධානයට ලක් වූ බව පෙනේ. ථුල්ලතිස්ස වැනි හිමිවරු උදායී, ඡබ්බග්ගිය වැනි භික්ෂුන්
වහන්සේලාගේ පැවතුම් නිතර බුදුරජාණන් වහන්සේගේ දෝෂ දර්ශනයට ලක් වූහ. පැහැදිලිව පෙනෙන
කරුණ නම් බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වූයේ ප්‍රතිපත්තිගරුක ව නිවන් මගෙහි ගමන් කරන
අනුගාමික පිරිසක් මිස, කෙසේ හෝ පිරිස වැඩි කර ගැනීම නොවේ.
කෙසේ වුවත් නිවන් මගට වඩාත් පහසුම මාර්ගය වන්නේ භික්ෂුත්වය බව සත්‍යයකි. භික්ඛූ
යන්න අර්ථ දක්වනු ලබන්නේ ද සංසාර භයං ඉක්ඛතීති භික්ඛු යනුවෙනි. සසර බිය දැක එය
ඉක්මවන්නා භික්ෂුවයි. වඩාත් සරලව කිසිදු බරකින් තොරව පහසුවෙන් යා හැකි ක්‍රමවේදය
භික්ෂූත්වයයි. “සපත්ත භාරො පක්ඛි විය සකුණො“ යන පැහැදිලි කිරීමට අනුව කුරුල්ලකු
මෙන් ඉතාම සැහැල්ලු ජීවිතයක් භික්ෂු ක්‍රමය තුළ බුදු රජාණන් වහන්සේ බලාපොරොත්තු
වූයේ ඉක්මනින් සත්‍යාවබෝධයට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම සඳහා ය. එහෙත් භික්ෂු භාවය
යනු නිවන් සොයා යාමට තිබෙන එකම වාහනය නොවේ.
ගිහියා යනු ද නිවන් දකින්නෙකි. ගිහියාට ද නිවන අයිතිය. භික්ෂුන් වහන්සේට වඩා ගිහි
පින්වතා නිවන් අවබෝධයට දුර යැයි ප්‍රකාශයක් නැත. එහෙත් වර්තමානයේ සිදු වී තිබෙන්නේ
එයින් වෙනස් වූවකි. ගිහි පින්වතුන් නිවන් දැකීම භික්ෂුන් වහන්සේලාට පමණක් භාර දී
ඇති අතර, ඔවුහු භික්ෂුන් වහන්සේලාගේ උපස්ථායකයන් පමණක් බවට පත් වී තිබේ.
බුදු දහම ඒහි පස්සික වූ සිතීමේ හා තීරණ ගැනීමේ නිදහස උපරිමව තිබෙන දහමක් ලෙස ඉහතින්
ද සඳහන් කරන ලදී. ඒ නිසා කිසිවෙකුටත් පැවිදි වන්නට බල කිරීමක් හෝ අණ කිරීමක් නැත.
චීවරය අත් හැර යාම පාපයක් ය යන මතයක් ලාංකේය සමාජයෙහි සමාජගත ව පවතී. ලාංකේය සමාජය
බුදු දහම මුල් කරගෙන නිමැවුණු බෞද්ධ සංස්කෘතියෙන් පෝෂිත නිසා එවන් මතයක් නිර්මාණය
වුව ද එහි කිසිදු සත්‍යතාවක් නැත. බුදු දහම ඒහි පස්සික නම් ඕනෑම කෙනෙකුට සසුනට
පැමිණිය හැකි ය. අකැමැති නම් ඉන් බැහැර විය හැකි ය. අකුසල් සිදු වන්නේ අකැමැතිව
සිල් නොපුරමින් සසුන තුළ රැඳී සිටීමෙන් ය.
වරක් මාලුංක්‍ය පුත්ත නම් භික්ෂුවක්
බුදු රජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විචාරීමක් සිදු කරයි. නිවනට අදාළ නොවන එම
ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ උත්තර නොදෙන්නේ නම් තමා සසුනෙන් බැහැර වන බව
මාලුංක්‍යපුත්ත හිමි බුදුරජාණන් වහන්සේට පවසයි. එවිට බුදු රජාණන් වහන්සේ සඳහන්
කරන්නේ ,
“මාලුංක්‍ය පුත්ත මම ඔබට කවදාවත් කීවද එන්න, මා සමීපයෙහි බඹසර හැසිරෙන්න මම මේ ඉහත
සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නම් කියලා?”
‘‘නැත, ස්වාමීනි“
‘‘දැනුත් මම ඔබට එසේ කියන්නේ නෑ. කවුරු හරි කියනවනම් ඉහත ප්‍රශ්න පිළිබඳව තථාගතයන්
වහන්සේ මට උත්තර සපයන්නේ නැත්නම් මම උන්වහන්සේ සමීපයෙහි බඹසර හැසිරෙන්නෙ නැහැ කියල
එම තැනැත්තා මෙම ප්‍රශ්නවලට උත්තර නොලබාම කලුරිය කරනවා“
පැවිදි වීමෙන් ම නිවන් දකින්න යැයි පැහැදිලි කිරීමක් හෝ ඉල්ලා සිටීමක් ද නැත. බුදු
රජාණන් වහන්සේ මග ඵලවලට පැමිණි ශ්‍රාවකයන්ට පවා පැවිදි වන්නැයි කරන ලද සඳහනක් නොවේ.
ඒ නිසා නිවන යනු පැවිද්දාට මෙන් ම ගිහියාට ද අයිතිව තිබෙන්නකි.
එසේ නම් නන්ද කුමරු රාහුල කුමරු වැනි අය පැවිදි බවට යොමු කරන ලද්දේ මන්ද යැයි
කෙනකුට සිතෙනු ඇත.
රාහුල කුමරුට දායාදයක් ලෙස දෙන්නට තිබුණේ පැවිදි බව පමණකි. බුදු දහමට අනුව නිවන් මඟ
පෙන්වා දීම තරම් වටිනා දෙයක් තවත් නැත. නන්ද කුමරු ගිහි ගෙයි සිටියා නම්, එම නිසාම
ඔහුගේ දුක් වැඩි කර ගෙන, මේ භවයේ ලබන්නට තිබූ නිවන ඔහුගෙන් ගිලිහී යන බව දන්නා
බුදුරජාණන් වහන්සේ ඔහු පැවිදි වන්නට යොමු කළහ. බුදුරජාණන් වහන්සේ පුද්ගලයකු හඳුනා
ගන්නේ හුදු කතා බහ තුළින් පමණක් නොවේ. ඔහුගේ ආධ්‍යාත්මය දෙස බැලීමෙන් ය.
එසේ හඳුනා ගන්නා සංසාරික වශයෙන් ප්‍රඥාව සම්පූර්ණ කර තිබූ පුද්ගලයන් පැවිදි බවට
යොමු කළ අවස්ථා කිහිපයක් ද බුද්ධ චරිතයේ ඇත. එහෙත් ඒවා විධානයකින් හෝ අණ කිරීමකින්
හො භය කිරීමකින් හෝ නොවේ. එක් උදාහරණයක් ලෙස වංගීස හිමියන් පෙන්වා දිය හැකි ය.
වංගීස යනු විශේෂ හැකියාවක් තිබූ අයෙකි. කෙනකුගේ හිස් කබලට නිය පිටින් තට්ටු කර ඔහු
මිය ගොස් කවර ලෝකයක ඉපදී ඇත්දැයි කියන්නට හැකියාවක් වංගීසට තිබිණි.
බුදු රජාණන් වහන්සේ හමුවට ගිය විට බුදුරජාණන් වහන්සේ ඔහුට රහතන් වහන්සේ නමකගේ හිස්
කබලක් දී උන්වහන්සේ ගේ උපත පිහිටි තැන කියන්නැයි වදාළහ. එයට තට්ටු කළ නමුත් සාර්ථක
පිළිතුරක් නොලද වංගීස බමුණා එය කියන්නැයි ඉල්ලී ය.
බුදු රජාණන් වහන්සේ එයට දෙන පිළිතුර වන්නේ පැවිදි වුවහොත් එය දැන ගත හැකිය යනුවෙනි.
ඒ අනුව වංගීස පැවිදි වන්නේ සිය කැමැත්තෙන් එකී රහස දැන ගනු පිණිස ය.
බුදු රජාණන් වහන්සේ ගිහි ජනතාවට ලෞකික ජීවිතයට අදාළ කරුණු විවිධ සූත්‍ර ඔස්සේ දේශනා
කර තිබේ. ඒ තුළින් පැහැදිලි වන්නේ ගිහි ජීවිතයෙන් බැහැර කළ යුතු, අත්හළ යුත්තක් නොව
මෙලොව, පරලොව මෙන්ම නිවනට ද අවශ්‍ය කළමනා සම්පූර්ණ කර ගැනීමේ සම්පතක් ලෙස බුදුරදුන්
අගය කළ බවයි. එහෙත් පැහැදිලිවම භික්ෂුවට අනුදැන වදාරන්නේ වහ වහා ම මේ ලැබූ මිනිස්
දිවියෙහිම නිවන් සාක්ෂාත් කර ගන්නට ය. භික්ෂුන් වහන්සේලාට නිතර සසරෙහි බිය දැනෙන
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ලෝකය දකින්නට අනුදැන වදාරන බුදු රජාණන් වහන්සේ ගිහි
ජනතාවට ඒ මට්ටමේ දේශනාවන් සිදු කරන අවස්ථාවන් අඩු ය. ගිහි ජීවිතයට අදාළ ගිහි
ජීවිතයේ සාර්ථකත්වය පිණිස හේතුවන බොහෝ කරුණු සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, වසල, පරාභව
වැනි සූත්‍රවල දේශනා කර තිබේ. ඒ තුළින් පැහැදිලි වන්නේ ගිහි අයට සිය විමුක්තිය තෝරා
ගැනීමේ කැමැත්ත ඉතාමත් ඉහළින් බුදුරජාණන් වහන්සේ ලබා දුන් බවය. එහෙත් කිසි විටෙක
ගිහි ජනතාව භික්ෂුන් වහන්සේලාගේ උපස්ථායකයන් පමණක් බවට පත් කර නැත.
ගිහි ජීවිතයේ සිටියදී ම රහත් වූ උග්ග සිටු පුත්, සුද්ධෝදන රජතුමා, වැනි කිහිප
දෙනෙක් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. බොහෝ විට මේ අය රහත් භාවයට පත් වන්නේ
ජීවිතයේ අවසාන දින කිහිපයේ හෝ හෝරා කිහිපයේ වීම නිසා පැවිදි බවට නොපැමිණ ගිහිව
සිටියදී ම පිරිනිවන් පෑ බව පෙනේ.
ගිහි පින්වතෙක්ට රහත් වී ගිහි භාවය තුළ දින සතකට වඩා ජීවත් විය නොහැකි යැයි මතයක්
නිර්මාණය වී ඇත්තේ මේ නිසා වන්නට පුළුවන. ඒ හැරෙන්නට අනාගාමී තත්වයට පත් වූ උපාසක
උපාසිකාවන් පිළිබඳව නම් සැලකිය යුතු මට්ටමකින් සඳහන් ව තිබේ.
ඡත්තපාණී උපාසක, පුක්කුසාති රජතුමා, දාරුචීරිය, විසාඛ සිටුතුමා වැනි අය අනාගාමී
තත්වයට පත්ව ගිහි ජීවිතය තුළම විසූහ. මේ අනුව පැහැදිලි කර ගත හැකි වන්නේ සෝවාන්,
සකෘදාගාමී, අනාගාමී, අරහත් යන බුදු දහමේ මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම සියල්ලන්ගේ
අවසාන අරමුණ විය යුතු බවය. “ අත්තදීපා විහරථ, අත්ත සරණා න අඤ්ඤ සරණා“ යන මේ බුදු
වදනට අනුව ඒ ඒ පුද්ගලයා විසින් සිය උත්සාහයෙන් සාක්ෂාත් කර ගත යුතු දෙයකි
විමුක්තිය.
ඒ නිසා භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කිරීම තුළින් පමණක් ගිහි පින්වතුනට නැවතිය
නොහැකි ය. මක් නිසාද යත් ඔවුනගේ නිවන ඔවුන් විසින් සාක්ෂාත් කළ යුතු නිසා ය. එසේ
නම් ගිහි පින්වතුන් කළ යුත්තේ කුමක් ද?
‘නිවන් අවබෝධය පිණිස අවශ්‍ය කුසල ප්‍රතිපදාවේ නිරත වීමයි. අකුසල් වන පංච
නීවරණයන්ගෙන් වෙන්වී කුසලය වන අරී අට මඟ වැඩීමයි‘
ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා විමුක්තිය සාක්ෂාත් කිරීම යනු චතුරාර්ය සත්‍ය අවබෝධ කර
ගැනීමයි. නිවන් මග යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
කිසියම් ගිහි පින්වතකුගෙන් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරන්නේ ද යනුවෙන්
විමසුවොත් බොහෝ විට ලැබෙන පිළිතුර වන්නේ තවම ඒ තරම් දුර ගමන් කර නොමැති බව ය. එය
සැබැවින් ම වැරැදි වැටහීමකි. නිවන් දැකීම මෙතේ බුදුන් සමීපයෙහි ප්‍රාර්ථනා කිරීම
ඉතා දුර ඉලක්කයකි. ප්‍රාර්ථනය එය නම් එයට ද අවශ්‍ය පාරමී ධර්ම සම්පූර්ණ කළ යුතු ය. |