Print this Article


ලංකාවේ බෞද්ධ ස්තූප - 18: ජයකොන්තය මත ඉදි වූ මිරිසවැටිය ස්තූපය

ලංකාවේ බෞද්ධ ස්තූප - 18:

ජයකොන්තය මත ඉදි වූ මිරිසවැටිය ස්තූපය

අභය රාජ සධාතු කේතුවරං
සුනිධාය කතං බහුමානිතං
සකලලොකහිතං පනමෙ සදා
මරිච වට්ටික චේතිය මුත්තමං

සියලු සත්ත්වයන්ගේ සුවය ප්‍රාර්ථනා කළ දුටුගැමුණු රජු සිත් සේ ධාතුන් වහන්සේ සහ ජයකොන්තය තැන්පත් කළ උත්තම මිරිසවැටි ස්තූපය දෑත් බැඳ පින් පිරෙන්න යැයි සැමදා වන්දනා කරම්.

ලංකාද්වීපයේ සිංහල ජාතියේ පළමු ජාතික වීරවරයා වූ දුටුගැමුණු කුමාරයා විදේශික ආක්‍රමණිකයකු වූ එළාර රජු සමඟ සටන් කරන්නට විය.

සියලු පරසතුරන් පරාජය කොට යුද ජයග්‍රහණය කළේ ය. ඉන් පසු රාජාභිෂේක මංගල්‍යය පවත්වා දුටුගැමුණු කුමාරයා ලක්දිව මහ රජු බවට පත්විය. ඉන් සතියකට පසු තිසා වැවේ ජල ක්‍රීඩාව පිණිස රජතුමා සහපිරිවරින්, සැපත් වූයේ ය. දීර්ඝ කාලයක් රට නිදහස් කර ගැනීමට තමන් කළ සටනේ දී දිනපතා බුදුන් වැඳීම පිණිස රාජ්‍යත්වයේ සංකේතය වූ “ජයකොන්තය” තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කර සටන් පෙරමුණේ රැගෙන ගියේ යැයි කියැවේ.

ජල ක්‍රීඩාව සඳහා තිසා වැවට බැසීමට පෙර එම ජයකොන්තය වැවට උතුරින් පිහිටි බිමෙහි විශේෂ ස්ථානයක තැන්පත් කළේ ය. ජල ක්‍රීඩාව අවසානයේ රජු ගොඩබිමට පැමිණ ජයකොන්තය රැගෙන පිටත්වීමට සැරසුණ ද ආශ්චර්යයකි. ජයකොන්තය තිබූ තැනින් මඳකුදු සෙලවීමට පවා නොහැකි විය.

රටත්, ජාතියත්, සම්මා සම්බුද්ධ ශාසනයත් සියලු විනාශකාරී සතුරු බලවේගයන්ගෙන් බේරාගත් දුටුගැමුණු රජතුමාගේ පරම අභිලාෂය වූයේ බුදු සසුනේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය ඇති කිරීමයි. ඒ අනුව ජයකොන්තය මැදි කොට ඒ මත ස්තූපයක් ඉදි කිරීමට රජතුමා අධිෂ්ඨානයක් ඇති කරගත්තේ ය. එලෙස ම මෙම ස්තූපයට මිරිසවැටිය යැයි නම් තබන ලද්දේ ය. දුටුගැමුණු රජතුමා දිනපතා තමන් ගන්නා සෑම ආහාරයක ම අග්‍ර භාගය සංඝයා වහන්සේ උදෙසා පිදීම සිරිතක් වූයේ ය. එහෙත් දිනක් තමන් ආහාරයට ගත් මිරිස් ව්‍යංජනයක අග්‍රභාගය භික්ෂු සංඝයා වහන්සේට පූජා කිරීමට නොහැකි වූ බව මෙනෙහි කළේ ය. ශ්‍රී ධාතූන් වහන්සේට ගෞරව පිණිසත්, රාජ්‍ය බලයේ, ජයග්‍රහණයේ හා ප්‍රෞඪත්වයේ සංකේතය වූ ජයකොන්තයට උපහාර පිණිසත් එම අතපසුවීමට ස්වයං වන්දියක් වශයෙන් ජයකොන්තය මත මහා ස්තූපයක් ඉදි කිරීමටත් රජු අදිටන් කර ගත්තේ ය.

දුටුගැමුණු රජතුමා ජයකොන්තය මැදිකොට ස්තූපය ඉදිකරන ලද අතර, මිරිස් ව්‍යංජනයේ කතාව මත එම ස්තූපය “මිරිසවැටි ස්තූපය” නමින් ප්‍රකට විය. මෙම ස්තූපය ලංකාද්වීපයේ ඉදිකරන ලද පළමු මහා ස්තූපය ද වන අතර, එවකට ලංකාද්වීපයේ විශාලතම ස්තූපය ද විය. ක්‍රි. ව. 161 දී රජු විසින් ආරම්භ කරන ලද මිරිසවැටි ස්තූපයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට පුරා වසර තුනක් ගත වී ඇත. මිරිසවැටි ස්තූපයේ ධාතු ගර්භයේ ධාතු නිධානෝත්සවයේ දී දුටුගැමුණු රජතුමා ඇතුළු රාජකීයයන් විසින් වටිනා වස්තු හා ධාතූන් වහන්සේ තැන්පත් කරනු ලැබ තිබේ. ස්තූපයට කොත් පැළැඳීවීමේ හා සංඝාරාමය සාංඝිකව පූජා කිරීමේ කටයුතු උත්සවශ්‍රීයෙන් සතියක් පමණ සිදු කරන ලදී. ඒ සඳහා විශාල ජනතාවක් සහභාගි වී ඇත. ඒ අතරට භික්ෂූන් වහන්සේ අනූදහසක් පමණ ද, උපාසක, උපාසිකා හා රාජකීයන් මෙන් ම සාමාන්‍ය වැසියන් ද, විශාල සංඛ්‍යාවක් රැස්ව සිටි බව ද සඳහන් වේ. දුටුගැමුණු රජතුමා අතපැන් වත්කර ආරාමය සංඝයා වහන්සේට පූජා කළේ ය.