Print this Article


ප්‍රත්‍යවේක්ෂා: අත්දැකීම් ඇසුරෙන් නිවැරදි වෙමු

අත්දැකීම් ඇසුරෙන් නිවැරදි වෙමු

තුන්වන උපක්‍රමය භාවිත කරමින් ද තමන්ට එන අකුසල විතර්ක මැඩ පවත්වා ගන්නට නොහැකි වන කල්හි, සිව්වන ක්‍රමවේදයක් ද මෙම සුත්‍ර ධර්මයට අනුව අපට භාවිතාවට ගත හැකිය. එනම්,

මහණෙනි, ඒ කල්පනා මෙනෙහි නොකරන්නා වූ, අමතක කරන්නා වූ භික්ෂුවට ලෝභ සහගත වූ ද, දෝෂ සහගත වූ ද, මෝහ සහගත වූ ද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහු ම වෙත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කටයුතුයි. මහණෙනි, ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නා වූ ඒ භික්ෂුවට ලෝභ සහගත වූ ද, දෝෂ සහගත වූ ද, මෝහ සහගත වූ ද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්. අභාවයට යෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහි ම සිත පිහිටයි, නවතියි, එකඟ බවට පැමිණෙයි, සමාධියට පැමිණෙයි.

මහණෙනි, යම් සේ පුරුෂයෙක් ඉක්මණින් යන්නේ ද, ඔහුට ‘මම කුමක් නිසා වහා යන්නෙමි ද? සෙමින් යන්නෙම් යි අදහස් වන්නේය. හෙතෙම හෙමින් යන්නේ ය. ඔහු නැවත කුමක් නිසා ‘මම සෙමින් යන්නෙම් ද? නැවතී සිටින්නෙම් නම් යහපතැ’යි සිතා නවතින්නේ ය. නැවත ඔහු කුමක් නිසා ‘මම නැවතී සිටින්නෙම් ද? මම හිඳගන්නෙම් ය’යි සිතා හිඳගන්නේ ය. නැවත ඔහු ‘කුමක් නිසා මම හිඳගන්නෙම් ද? නිදාගන්නෙම් ය’යි සිතා නිදාගන්නේ ය. මහණෙනි, මෙසේ ඒ පුරුෂතෙම ඔළාරික ඉරියව් නවත්වා සියුම් ඉරියව් පවත්වන්නේය.

මේ ආකාරයෙන් ඇතිවන අකුසලයන් හි මූලය නොහොත් හේතුව සෙවිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. මට මෙවැනි විෂම සිතුවිලි ඇතිවන්නේ ඇයි ද යන්න තමන් තුළින්ම විමසා බැලීම මෙයින් අදහස් කෙරේ. සුභ නිමිති ගැනීම, පටිඝ නිමිති ගැනීම, අයෝනිසෝ මනසිකාරය, පවිටු මිතුරු ආශ්‍රය, අවිද්‍යාව බහුල බව, කුසීතකම, ධර්මය ගැන නො විචාරීම, කුසල් වැඩීම, ත්‍රිලක්‍ෂණය පිළිබඳ නොදැනීම ආදී වශයෙන් අකුසලයන් බහුල වන්නට හේතු වන කාරණාවන් මෙනෙහි කිරීමෙන් මෙම අකුසලවිතර්කය හේතු සහගතව ඇතිවන බව අවබෝධ ගර ගැනීමෙන් එම අකුසලය දුරු කර ගත හැකි බව මෙම ක්‍රමවේදය තුළින් පැහැදිලි කෙරේ.

මහණෙනි, ඒ කල්පනාවන්ගේ මූලහේතුව මෙනෙහි කරන්නා වූ භික්ෂුවට ද, ඉදින් ඒ ලෝභ සහගතවූ ද, දෝෂ සහගතවූ ද, මොහ සහගත වූ ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම් මහණෙනි, ඒ භික්ෂුව විසින් දත්වලින් දත් තදකොට, දිවෙන් තලු තදකොටගෙන (දත්මිටි කාගෙන) සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. තැවිය යුතුයි. දත්වලින් දත් තද කොටගෙන, දිවෙන් තලු තදකොටගෙන සිතින් සිත නිග්‍රහ කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූ ද, දෝසසහගත වූ ද, මෝහ සහගත වූ ද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්.

ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි.මේ පස්වැනි ක්‍රමවේදයයි.

යම්සේ බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයකු හිසෙන් හෝ අල්වා, කරෙන් හෝ අල්වා, නිග්‍රහකරන්නේ ද, පෙළෙන්නේ ද, තබන්නේද, එයාකාරයෙන් ම මෙම අකුසල විතර්කය වීර්යයෙන් ම දුරු කළ යුතු බව පස් වැනි උපක්‍රම යේදී සඳහන් කර තිබේ.

මේ අනුව බලන කල අපට වැටහෙන්නේ අකුසලයෙන් මිදීම සඳහා කළ යුතු බොහෝ දේ ඇති බවයි. අකුසල් සිත් පහළ වන විට කවදා හෝ එම අකුසල් සිත් මගේ තුළින් දුරු වී යැයි සිතමින් නිහඩව සිටීමෙන් කිසිදු ආකාරයකට අකුසලයෙන් මිදීමට හැකියාවක් නැත. ඒ සඳහා අකුසලය තිබියද ීම වීර්යය කළ යුතුව ඇත.

මෙවැනි උපක්‍රම ප්‍රායෝගික ව භාවිත කර තමන් තුළින් අත්දැකීම් ලබමින්, විදර්ශනා සමාධිය ඇතිකර ගනිමින් ලොකෝත්තර සිත් වඩා වර්ධනය කරගන්නටත්, සියලු දුක් නැති කර ගනිමින් උතුම් සැනසීමෙන් සැනසෙන්නට පින්වත් සෑම දෙනාටම ශක්තිය, ධෛර්යය, වීර්යය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කර කරන්නෙමු .