Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

භාග්‍යවතුන් වහන්සේ භග්ග දේශයෙහි සුංසුමාගිර පුරය අසල වූ භේසකලා වනයෙහි වැඩ වාසය කරන කල්හි බෝධිරාජ කුමරාගෙන් ඇරයුමක් ලැබූහ.

බෝධිරාජ කුමාරයා විසින් කෝකනද නම් මහගු පායෙක් නිම කරන ලද අතර, ගෙවදින උත්සවය එළැඹ සිටි සමයෙහි කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේ ට මෙම ඇරයුම කෙළේ ය.

මෙම බෝධිරාජ කුමාරයාට හා කුමරියට දරුවන් නැති සොවින් පෙළුණේ ය.එබැවින් තමන්ට පුතකු හෝ දුවක් ලැබේ නම් සිතා භාග්‍යවතුන් වහන්සේ වඩින මග රෙදිපියවිල්ලක් එලුයේ ය.කුමරුගේ අදහස දත් භාග්‍යවතුන් වහන්සේ එහි පා නොතැබු සේක.තෙවරක්ම ඇරයුම් කළද භාග්‍යවතුන් වහන්සේ එය නොපිළිගත් සේක.

ඉන්පසු කුමරු ආනන්ද තෙරුන් ගේ වචනය පරිදි ඒ පියවිල්ල අකුලා භාග්‍යවතුන් වහන්සේ ත්, භික්ෂු සංඝයාත් ගෙට වැඩමකොට සංග්‍රහ කෙළේ ය.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ පියවිලි නොපැගුවේ මන්දැයි කරුණු පැහැදිලි කළ සේක.

භාග්‍යවතුන් වහන්ස, මා හට පුතෙක් හෝ දියණියක් හෝ නො ලැබේදැයි විචාළේ ය.

ලැබෙන්නේ නැති බව වදාළභාග්‍යවතුන් වහන්සේ අතීත කතාව ගෙනහැර පෑ සේක.

පෙර පිරිසක් නැව් නැගී ගියහ. නැව මුහුද මැද දී කුණාටුවකට හසුව බිඳීණ.එහි උන් අය අතුරෙන් අඹු සැමි දෙදෙනෙක් ලී කොටයක නැඟී පිහිනා දූපතකට පැමිණ විසූහ.ඒ දූපතෙහි බොහෝ පක්ෂීහූ වසති.එම දෙදෙනා පක්ෂීන් ගේ බිජුවට දැක ඒවා ගෙන ගින්නෙහි පලහා කෑ හ.ඉන් නොනැවතී කුරුලු පැටවුන් ද මරා කෑ හ.වයසට යන තෙක්ම මොවුහු එලෙස විසූහ.

එම අඹු සැමි දෙදෙනා නම් මෙකල බෝධිරාජ කුමරුන් හා දේවිය යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“තමා ප්‍රිය කරන්නහු විසින් තුන් වයස් හි ම තමා නො පමාව රැක්ක යුතුයැ යි” භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසු සේක.

දේශනාව අවසන බෝධිරාජ කුමාරයා සෝවාන් ඵලයට පත් විය.

මෙවර කවරය භාග්‍යවතුන් වහන්සේ බෝධිරාජ කුමාරයාට හා දේවියට ධර්මය දේශනා කරන අයුරින් සිතුවම් වෙයි.