Print this Article


වස්සාන සමයක අනාගාමී වූ මාතිකමාතා උපාසිකාව

වස්සාන සමයක අනාගාමී වූ මාතිකමාතා උපාසිකාව

බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩ විසූ චක්ඛුපාල මහ රහතන් වහන්සේ වරක් තමන් වහන්සේලාගේ වස් කාලයක් ආරම්භ කළේ අධිෂ්ඨානයක් ඇති කර ගෙන යි.

එහි දී උන්වහන්සේ වෙත පැමිණි බාධා සියල්ල තමන් වහන්සේගේ විමුක්තිය උදාකර ගැනීමේ ඉලක්කයට බාධා නො වන සේ ජයග්‍රහණය කර ගැනීමට උන්වහන්සේ සමත් වුණා. වරක් සැවැත්නුවර විසූ පාල නම් තරුණ ධනවත් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් පැහැදීමක් ඇති කර ගෙන ජේතවනාරාමයට ගොස් පැවිදි බව ලබන්නේ ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය සම්බාධ අඩුවීම හේතුවෙන් සසර කෙටිිකර ගැනීම පහසුබව, ඉක්මන් බව තේරුම් ගෙන යි.

ඉතින් උපසම්පත්තියටත් පත් වූ පාල හාමුදුරුවෝ වස් තුන් මාසයක් ඈත ප්‍රදේශයකට තවත් එවැනි ම භික්ෂුන් වහන්සේලා 29 ක් එක්ක වස් විසුමට වැඩ වස්සානය එහි ගත කරන්නට පටන් ගත්තා. උන්වහන්සේගේ අධිෂ්ඨානය වූයේ වස්සාන කාලය අවසාන වනවිට සසර කෙළවර කර විමුක්ති සුවය ලබනවා කියන එක යි. ඉතින් එහි දී උන්වහන්සේ සම්මා වායාමයෙන් යුක්ත ව එම ඉලක්කය සපුරා ගැනීමේ දැඩි ප්‍රයත්නයක යෙදුණා. වස් තුන් මාසය අවසන් වීමට පෙර මේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සැතපීම යන ඉරියව්ව නො පවත්වමින් විදසුන් භාවනාවකට යොමුවුණා.

දැන් උන්වහන්සේ දවස ගෙවන්නේ ඇවිදීම හෙවත් සක්මන, වැඩසිටීම, වැඩහි¼දීම යන මේ ඉරියව් තුන පමණක් පවත්වමින් නිදි වර්ජිතව යි. මෙසේ විදසුන් භාවනාවේ යෙදීමෙන් බලවත් අක්ෂි රෝගයක් වැළඳීි ඇස් අන්ධ වුණා. ඒ අවස්ථාවේ දී ත් උන්වහන්සේ සිහියට නඟා ගත්තේ මගේ කියා අප හිතන ඇස් හානියට පත් වෙනවා. කන කලක දී නො ඇසී යන්නට ත් පුළුවනි. ඒ පමණක් නොවෙයි මේ සමස්ත පංචස්කන්ධයමත් අනිත්‍යය යි. ඉතින් එහෙම නම් ඇයි පාල, ඔබ තවමත් ප්‍රමාද වන්නේ කියා තමන්ට ම අවවාද ගනිමින් විදර්ශනා භාවනාවේ යෙදීමෙන් වස් තුන් මාසය අවසාන දිනය ඉකුත්වන අන්තිම පැයේ දී රහත් බවට පත් වෙනවා.

මෙයින් පැහැදිලි වන්නේ බෞද්ධ කාල කළමනාකරණය අනුව සංසාර විමුක්තිය අරමුණු කොට මේ වස් කාලය ගත කරන ගිහි හෝ පැවිදි කවුරු වුණත් එම කාලය තුළ කටයුතු කිරීමේ දී තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය පිළිබඳ ඉලක්කයක් ඇති කර ගෙන සම්මා වායාමයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කම යි.

ගිහි පක්ෂයට ද මේ කරුණ ඒ ආකාරයෙන් ම වැදගත් වෙනවා. කොසොල් රටේ ඇලගමුව නම් ගමේ සිටිය මාතිකමාතා නම් උපාසිකාව භික්ෂූන් වහන්සේලා හැට නමකට ආරාධනා කරලා වස්වසවා ගන්නේ සිවුපසයෙන් උපස්ථාන කිරීමට යි. පින් සිදු කර ගැනුමට යි.

ඉතින් වැඩිකල් නො ගොස් ඇය වටහා ගන්නවා මේ භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේ ගත කරන මේ වස්තුන් මාසය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් කමටහන අනුව ගත කරමින් කායගතාසති භාවනාව වඩමින් තමන් සපයා දෙන සිවුපසය පරිභෝග කරන බව.

ඇය වටහා ගත්තා භික්ෂුන් වහන්සේ මේ වස් කාලය කුමක් අරමුණු කොට ක්‍රියා කරනවා ද? කියන මේ කාරණය. ඉතින් එම භික්ෂූන් වහන්සේලාගේ ම උපදෙස් අනුව තමනුත් එම කායගතාසති භාවනාව වඩා අනාගාමි ඵලයට පත් වුණා.

එහෙම වුණත් ගෙදර දොර කටයුතු හෝ වස්විසූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සිවුපසයෙන් උපස්ථාන කිරීම ආදී ඒ කිසි ම කටයුත්තක් අතපසු කළෙත් නැහැ. එහෙත් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා පැමිණ වස්විසූ එකදු භික්ෂූන් වහන්සේ නමකට වත් ඒ වනවිටත් එකම මාර්ග ඵලයක්වත් ලබා ගැනීමට හැකි වුණේ නැහැ.

මේ ගිහි උපාසිකාව මාර්ගඵල තුනක් ම ලබා ගත්තා. ඉතින් අධිෂ්ඨානයෙන් ක්‍රියා කිරීම තුළ ගිහි දායක පක්ෂයත් මේ ආකාරයෙන් මෙම වස් කාලය ප්‍රයෝජනයට ගත් ආකාරය පිළිබඳ තවත් එවැනි තොරතුරු අපට හමු වෙනවා. මේ නිසා මේ වස් කාලය ගිහි පැවිදි අප දෙපක්ෂයේ ම ලෞකික ලෝකෝත්තර ඵල උදා කරගන්නා කාලයක් ලෙස කළමනාකණය කර ගත යුතු වෙනවා.