Print this Article


රෝග වළක්වා ගැනීමට බුදු දහමේ මාර්ගෝපදේශ පිළිපදින්න

රෝග වළක්වා ගැනීමට බුදු දහමේ මාර්ගෝපදේශ පිළිපදින්න

මිනිසාගේ ප්‍රායෝගික ජීවිතයට අවශ්‍ය මානසික සැනසීම ලබා දෙන්නට බුදු රජාණන් වහන්සේ විසින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ වසර 2600කට පෙර දී ය. අද ලෝකයේ බොහෝ ගැටලුවලට විසඳුම් උන් වහන්සේ එදා පෙන්වා දුන්හ. ඒ උපදෙස් අනුව ශ්‍රී ලාංකේයයන් ලෙස, බෞද්ධයන් ලෙස අප කටයුතු කරන්නේදැයි මඳක් සිතා බැලිය යුතු ය.

මේ දිනවල ලෝකය පුරාම පැතිර යන මහා වසංගතය හමුවේ අප කටයුතු කරන ආකාරය නිවැරැදි ද?

ශ්‍රී ලංකාවේ මේ වසංගතය මැඬ පැවැත්වීමට රජය විසින් මනා ක්‍රමවේදයක් ආරම්භ කර තිබේ. එහෙත් ජනතාව ඒ සඳහා සහාය දුන්නේ ද යන්න මෙහිදී අප විමර්ශනය කළ යුතු ය. පසුගිය පුන් පොහොය සහිත සති අන්තයේ බස්නාහිර පළාතේ ජනතාවට නිවසින් බැහැර නොයන ලෙස දන්වා තිබිය දී ඇතැම් පිරිස් එය නොසලකා බැහැර ගොස් තිබුණි. එපමණක් නොව එසේ නීති ගරුක නොවූ, සමාජයට හිතකර නොවන ලෙස කටයුතු කළ අය තමන් කළ ඒ ක්‍රියාව වීර ක්‍රියාවක් සේ සමාජ මාධ්‍ය මඟින් ද පළ කර තිබුණි.

ඇතැම් විට වසංගත රෝගය ඒ පුද්ගලයන්ට වැළඳී තිබුණේ නම් ඒ හරහා තවත් විශාල පිරිසකට රෝගය වැළඳෙන්නට බොහෝ ඉඩකඩ තිබේ. ආත්මාර්ථකාමීත්වය බුදු දහමින් ප්‍රතික්ෂේප කර තිබේ. අප සැම විටම කටයුතු කළ යුත්තේ තමන් ද ආරක්ෂාකාරී වී රටත්, සමාජයත් ආරක්ෂා කර ගැනීමට ය.

විශේෂයෙන් ම කාම්භෝජය, ලාඕසය වැනි රටවල් මේ වසංගතය පැතිර නොයෑමටත් තායිලන්තය වැනි රටවල රෝගය ව්‍යාප්තියක් සිදු නොවූ හේතු මොනවාදැයි විමර්ශනය කළ විට මේ බව ඉතා පැහැදිලි ය. එම රටවල ජනතාව සැම විමට ක්‍රියා කර ඇත්තේ නීතියට ගරු කරමින්, විනය හික්මීම ඇති, ශික්ෂණයක් ඇති අය ලෙසිනි.

මේ වසංගත රෝග තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ කාර්යභාරය ඉහළ මට්ටමක තිබේ. වෙනත් රටවල අදාළ රෝගියාට පමණක් ප්‍රතිකාර කරනු ලබන නමුත් ශ්‍රී ලංකාවේ අදාළ රෝගියාගේ ආශ්‍රිතයන් සොයා යෑමේ ක්‍රමවේදය නිසා රට බොහෝ දුරට ආරක්ෂාකාරී වී ඇත. එහෙත් ඒ ක්‍රියාදාමය සාර්ථක කර ගැන්මට ජනතා සහාය අවශ්‍ය වේ.

බුදු දහමේ දැක්වෙන්නේ තමන්ගේ යුතුකම් ඉටු කළ යුතු ආකාරය ගැනයි. සිඟාලෝවාද සූත්‍රයේ පවා තමන් විසින් කළ යුතු යුතුකම් පැහැදිලිව දක්වා තිබේ. නමුත් අප පෙර සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ ඇතැම් ජනතාව කටයුතු කරන්නේ වගකීම් විරහිත ව බව අපට පෙනේ.

බුදු දහමේ දැක්වෙන්නේ රෝග භය ඇති කර ගැනීම නොවේ. රෝගයට නිසි ලෙසින් මුහුණ දිය යුතු ආකාරයයි. රෝගයට මුහුණ දීමේදී වසංගත රෝගයක් නම් ඒ සඳහා අප විසින් අනුගමනය කළ යුතු ක්‍රම වේද තිබේ. විශේෂයෙන් ම අප රෝගයට බිය නොවී ඊට අදාළ ක්‍රමවේද අනුගමනය කළ යුතු ය. තමන් ඒ වෙනුවෙන් 100%ක විශ්වාසයෙන් යුතුව මනසින් විමසා බලා කටයුතු කළ යුතු ය.

විශාලා මහනුවර ඇති වූ තුන් බිය දුරු කිරීම උදෙසා රතන සූත්‍රය දේශනා කළාක් මෙන් ශ්‍රී ලංකාවේද රතන සූත්‍රය දේශනා කිරීම සුදුසුය. එහෙත් පිරිතේ නිසි ආශිර්වාදය ලබන්නට නම් අප ඒ වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ යුතු ය. එය අපහසු හෝ කළ නොහැක්කක්ද නොවේ. විහාරස්ථානයේ හෝ රූපවාහිනියේ හෝ ගුවන් විදුලියේ විකාශය වන පිරිතක් ඇසෙන්නට සැලැස්වීමෙන් පමණක්ම එහි ආශිර්වාදය ලැබෙන්නේ යැයි නොසිතිය යුතු ය. එම පිරිත ශ්‍රවණය කිරීමෙන් පිරිත් විකාශයෙන් යම් ආකාරයක ආශිර්වාදයක් ලැබෙනු ඇති.

එහෙත් වඩාත් හොඳම ක්‍රමය වන්නේ අප පිරිත සමඟ බද්ධ වී කටයුතු කිරීමයි. ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් පිරිත් විකාශය වෙද්දී තමන් ද පිරිතෙහි අනුසස් සිහි කළ යුතු ය. වඩාත් සුදුසුම ක්‍රමය වන්නේ තමන් විසින් ම උදේ හවස පිරිත සඡ්ඣායනය කිරීම ය. මේ වකවානුවේ ඇඳීරිනීති පනවා ඇති පෙදෙස්වල එසේ පිරිත් සඡ්ඣායනා කිරීමට පවුලේ සියලු දෙනාට සහභාගි විය හැකි ය.

එසේ පවුලේ සියලු දෙනා එක්ව පිරිත් සඡ්ඣායනා කරන්නේ නම් එය වඩාත් ප්‍රතිඵල සහිත ය. ආධ්‍යාත්මික වශයෙන් විශාල සැනසීමක් ලැබේ.

එමෙන්ම රෝග වළක්වා ගැනීමට නම් අප ආහාර ගැන ද වඩාත් සැලකිලිමත් විය යුතු ය. අද බොහෝ දෙනා අධික ලෙසින් ආහාර ගැනීම පුරුද්දක් කරගෙන සිටී. මේ නිසා දියවැඩියාව, කොළෙස්ටරෝල් හෘදයාබාධ වැනි ආබාධ හට ගෙන තිබේ. අධික සීනි ආහාර ලබා ගැනීම නිසා දියවැඩියාවත්, අධික තෙල් සහිත ආහාර ලබා ගැනීම නිසා කොළෙස්ටරෝල් මෙන්ම, දුම්පානය, මත් ද්‍රව්‍ය භාවිතය වැනි දුශ්චරිත නිසා හෘදයාබාධ වැළ¼දීමත් සිදුවන අතර බුදු දහමින් අපගේ ආහාර ගැනීමේ සිට කළ යුතු කටයුතු පැහැදිලි කර තිබේ.

රෝගයක් සම්බන්ධයෙන් ඇති කර ගන්නා ආත්ම විශ්වාසය ද රෝග වළක්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ. ඇතැම් පිළිකා රෝගීන්ට පිළිකාව නිසා ජීවිතය රැඳී ඇත්තේ වසරක් දෙකක් පමණක් බවට වෛද්‍යවරුන් නිර්දේශ කළ ද ඇතැම් විට රෝගීන් වසර 7ක් 8ක් පමණ දිවි ගෙවා ඇත්තේ ඔවුන්ගේ ආත්ම විශ්වාසය නිසා ය.

එමෙන්ම ආත්ම විශ්වාසය නොමැති රෝගීන් වසර 4ක්, 5ක් පමණ කාලයක් ජීවිතය රඳා පවත්වා ගත හැකි බව නිර්දේශ වූ නමුත් ඒ රෝගීන් මාස කිහිපයකින් මිය යන අවස්ථා ද දක්නට ලැබේ. එයට හේතු වන්නේ ආත්ම විශ්වාසයක් ඇති නොවීමයි. නිතර රෝගය ගැන සිතා පසුතැවීමෙන් සිත දුර්වල තත්ත්වයට පත් වන නිසා රෝගය උත්සන්න වීම සාමාන්‍ය ස්වභාවයයි.

සිත එක්තැන් කරගෙන කටයුතු කළ හැකි නම් නිවසක් අතු ගාන ගමන් වුව ද මුළුතැන්ගෙයි කටයුතු කරන අතරේ වුව ද පිරිත නිසි ලෙසින් ශ්‍රවණය කළ හැකිය. එය ද එක්තරා භාවනාවකි. සිත එක් අරමුණක තබාගෙන ක්‍රියා කිරීමේ වටිනාකම එයින් අපට දැක ගත හැකි ය. විශේෂයෙන්ම භාවනාවකට පිවිසෙනවාට වඩා එය පහසු ය. රතන සූත්‍රයේ ද වචන නිසි ලෙසින් සිහි ගන්වා එහි ශබ්දය තේරුම් ගෙන අවධානය යොමු කරන්නේ නම් එහි නියම ආශිර්වාදය අපට ලබා ගත හැකි ය. එයින් මානසික ඒකාග්‍රතාවයක් ඇති වන අතර, එයින් සිත පිරිසිදු වේ.

බුදු රජාණන් වහන්සේ වසර 2600කට පෙර අපට වදාළ සිත එක අරමුණක තබාගෙන කටයුතු කිරීම,

සිතෙහි පිරිසිදුභාවය ඇතිව කටයුතු කිරීම අද බටහිර ලෝකයේ මෙන්ම වෙනත් විදේශ රටවල එය නවීකරණය කරගෙන විශාල වෙළෙඳ පොළක් බිහිව ඇත.

‘මයින්ඩ්ෆුල්ජිම්‘ (Mindfulgym) ‘මයින්ඩ් තෙරපි‘ (Mind Therapy) යනුවෙන් අද වන විට ලෝකය පුරා මහත් ඉල්ලුමක් පවතින්නේ මේ සිත එකඟ කරවන පාඨමාලාවන්ට ය.

නමුත් අපට ‘සිත එක අරමුණක තියාගෙන කටයුතු කිරීම‘ යනුවෙන් හැඳීන්වුවහොත් එය දැනෙන්නේ යල් පැන ගිය, පැරැණි, කිසිදු වටිනාමක් නොමැති කටයුත්තක් සේ ය. එහෙත් බටහිර නාමකරණයෙන් ඒ කටයුත්තම සිදු කරද්දී එයට විශාල ඉල්ලුමක් ලැබේ.

‘මයින්ඩ්ෆුල් ජිම්‘ ‘මයින්ඩ් තෙරපි‘ යනුවෙන් හඳුන්වා ක්‍රියා කරන්නේ ‘එක අරමුණකට සිත තබා ගන්න. තමන් කළ හොඳ දේ් පමණක් හිතන්න. කිසිදු ආකාරයක නරක දෙයක් සිතන්න එපා. ‘ යනුවෙන් සිත එක්තැන් කිරීමයි.

අද එය වාණිජ කර්මාන්තයක් බවට පත්ව තිබේ. බටහිරින් පැමිණි සංකල්පයක් නිසා ඒ වෙනුවෙන් විශාල පිළිගැනීමක් තිබේ.

සිත එක අරමුණක තබාගෙන කටයුතු කිරීමෙන් අපට රෝග වළක්වා ගත හැකිවාක් මෙන්ම, නිරෝගී ව දිවිය ගත කළ හැකි වනු ඇත.

නමුත් අපට අපේ දේ අගය නොවන නිසා මේ සැනසීමේ මාර්ගය, රෝග වළක්වා ගැනීම අපෙන් තරමක් දුරස්ව ඇත. අප කළ යුතු වන්නේ දේශීයත්වයට මුල් තැනක් ලබා දී බුදුරජාණන් වහන්සේ විසින් අපට ලබා දුන් ඒ උපදේශ ඔස්සේ කටයුතු කිරීම ය. රෝග වළක්වා ගැනීමට මෙන්ම නීරෝගී ව සිටීමට ද එය හොඳටම ප්‍රමාණවත් වනු ඇත.