සැප දුක සම සිතින්
දරාගන්නේ කෙසේද?
කකචූපම සූත්‍රය හා විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරෙනි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
සහකාර කථිකාචාර්ය
මොරවක ධම්මරක්ඛිත හිමි
‘කකච‘ යනු කියතයි. කියත උපමා කොටගනිමින් බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර
ජේතවනාරාමයේ දී දෙසූ සූත්‍රය කකචූපම සූත්‍රයයි. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි
වැඩවසන කල උන්වහන්සේ මෝලියඵග්ගුණ නම් භික්ෂුව පිළිබඳව තොරතුරක් භික්ෂූන්
වහන්සේලාගෙන් දැන ගත්හ.
එනම් ”ආයුෂ්මත් මෝලියඵග්ගුණ භික්ෂුව භික්ෂූන් වහන්සේලා සමඟ බොහෝ වේලාවක් කතාකරමින්
සිටී” යන්නයි.
එපමණක් නොව යම් භික්ෂුවක් භික්ෂූන් වහන්සේලාගේ දෝෂයක් පවසයි ද, එවිට ඵග්ගුණ භික්ෂුව
අන් භික්ෂූන් සමඟ අඩදබර කරයි.
යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂූන් ඉදිරියෙහි මෝලියඵග්ගුණ භික්ෂුවගේ නුගුණ කියා ද, ඒ
භික්ෂූහු ද ඒ භික්ෂුව සමඟ කිපේ. මේ ආදී වශයෙන් ගිහියන් මෙන් ඵග්ගුණ භික්ෂුව හා
භික්ෂූන් අතර සම්බන්ධතාවක් ඇති බව බුදුරජාණන් වහන්සේට දැන ගන්නට ලැබුණි.
අනතුරුව බුදුරජාණන් වහන්සේ ඵග්ගුණ භික්ෂූන් වහන්සේ උන්වහන්සේ සමීපයට කැඳවා දැක්වූ
එම කාරණා සත්‍යය ද යන්නයි. එවිට ඵග්ගුණ භික්ෂුව ඒවා සත්‍ය බව පිළිගත්හ.
බුදුරජාණන් වහන්සේ විමසා සිටියේ ඔබ වහන්සේ ශ්‍රද්ධාවෙන් ගිහි ගෙයින් නික්ම පැවිදි
වූවේ ද? යන්නයි එසේ යැයි ඵග්ගුණ භික්ෂුව විසින් පවසන ලදීි. බුදුරජාණන් වහන්සේ මෙසේ
දෙසූහ. “න ඛො තෙ එතං, ඵග්ගුන, පතිරූපං කුලපුත්තස්ස සද්ධා අගාරස්මා අනගාරියං
පබ්බජිතස්ස...”.
එනම්, එසේ ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිදිවූවකුට එසේ හැසිරීම සුදුසු නොවන
බවයි.
එසේ භික්ෂූන් සමඟ හැසිරීම, ඔවුන් කෙරෙහි නුගුණ කියන කල්හි කිපීම හා ඔබ ඉදිරියෙහි
කිසිවෙක් ඒ භික්ෂූන්ට අතින් පහර දෙන්නේ ද, කැටයකින් ආයුධයකින්, දඬුවෙන්, පහර දෙන්නේ
ද, එහි දී ඔබගේ සිතේ යම් පංචකාම සහගත වූ ආශාවන් වෙත් ද, පංචකාම සහගත වූ කල්පනාවෝ
වෙත් ද, ඒවා දුරු කළ යුතු යැයි බුදුරජාණන් වහන්සේ අවවාද කළහ.
පෙර මගේ ශාසනයේ භික්ෂූන්හට මා විසින් අනුශාසනාවක් නොකළ යුතු බවත්, මා විසින් සිහි
ඉපදවීම පමණක් ප්‍රමාණවත් වූ බවත් වදාළහ.
එය උපමාවක් ඇසුරෙන් පෙන්වන බුදුරජාණන් වහන්සේ සම බිමක, සතර මංසන්ධියක, ආජානීය අසුන්
යෙදූ රථයක් පහසුවෙන් ගත හැකි සේ තබන ලද කෙවිටි ඇතිව තැබුයේ වෙයි ද, අශ්වයන් දමනය
කිරීමෙහි දක්ෂ වූ අශ්වාචාර්යයෙක් මේ රථයට නැඟ වමතින් රැහැන් ගෙන දකුණතින් කෙවිටි
ගෙන කැමැති මගක එසේ ඉදිරියට, පසු පසට එළවන්නේ යම් සේ ද, එපරිද්දෙන් ම ඒ භික්ෂූන්
කෙරෙහි මා විසින් අනුශාසනාවක් නොකළ යුතු වූ අතර සිහිගැන්වීම පමණක් ප්‍රමාණවත් වූ බව
ද දැක්වූහ.
එමෙන්ම අකුසලය දුරු කරයි නම්, කුසල ධර්මයන්හි යෙදෙයි නම්, එසේ ඇති කල්හි ඔබ ද මේ
ශාසනයෙහි වෘද්ධියට ද, වැඩීමට ද, විපුල බවට ද පැමිණෙන බව බුදුරජාණන්
වහන්සේ දෙසූහ.
අනතුරුව බුදුරජාණන් වහන්සේ අතීත කථාවක් සිහිගැන්වූහ.
සැවැත්නුවර වේදහිකා නම් කාන්තාවක් ඉතා හොඳ කීර්තියකින් යුතුව වාසය කළා ය. ඇය ප්‍රිය
වචන කියන්නී ය. උඩඟු නොවූ හා සංසුන් සිත් ඇත්තී ය වශයෙනි. ඇයගේ නිවසේ සිටි සේවිකාව
කාලි නම් වූවා ය. ඇය මෙසේ සිතුවා ය.
“මාගේ ආර්යාව තමා තුළ ඇත්තා වූ කෝපය පහළ නොකරන්නී ද? කෝපය නැති නිසාම කෝපයක් පහළ
නොකරන්නී ද, නැතහොත් හොඳීන් මා වැඩපළ කරන නිසා තමා තුළ ඇති කෝපය පහළ නොකරන්නී ද?
අධ්‍යාත්මයෙහි කෝපය නැති නිසා පහළ නොකරන්නී ද”? කියා පරික්ෂා කළ යුතු බවයි. ඒ අනුව
ඊට පසුදින ඇය දවල් වනතුරු ම නිදා ගත්තා ය.
වේදහිකාව සේවිකාව සමීපයට පැමිණ කුමක් නිසා නිදාගන්නේදැයි විමසන්නී, “කිසිවක් නැත,
නිකමට නිදාගත් තෙමි’යි සේවිකාව පැවසුවා ය. එවිට ඇය කෝප වූවා ය. නොසතුටු සිත් ඇත්තී
මුහුණ හකුළුවා ගත්තා ය.
දෙවන දින ද එසේම කාලි නම් වූ සේවිකාව දවල් වනතුරුම නිදාගත්තී ය. වේදහිකාව පැමිණ එසේ
නිදා ගැනුමට හේතුව විමසන කල හේතුවක් නොමැතිවම එසේ නිදාගත් බව ඇය පැවසුවා ය. එදින
නපුරු වචන කියමින් වේදහිකාව ඇයට කෝපයෙන් බැණ වැදුනා ය.
තවදුරටත් වේදහිකාවගේ කෝපය විමසිය යුතුයැයි කල්පනා කළ කාලී දාසිය තෙවන දිනයේ ද දවල්
වනතුරුම නිදාගත්තා ය.
ඉතා දවල් වී අවදිවූයේ කවර හෙයින් ද? යනුවෙන් විමසූ කල වේදහිකාව විසින් කිසියම්
හේතුවක් නැතැයි’ කීය. එයින් කිපුණු වේදහිකාව දොරපොල්ල ගෙන කාලි දාසියගේ හිසට පහරක්
දුන්නා ය. එයින් ඇයගේ හිස පැලුනේ ය. දාසිය “වේදහිකාවගේ ප්‍රිය වචන ඇති හැටි බලව්,
උඩඟු නොවූ හැටි බලව්, සංසුන් සිත් ඇත්තියකගේ වැඩක හැටි දැනගනිව්” යැයි පවසමින් ගම
වටා ඇවිද්දා ය. පසුව වේදහිකාව දරුණු, ළාමක, උඩගු තැනැත්තියක් යැයි ප්‍රකට විය.
ඒ අයුරින්ම මේ ශාසනයෙහි යම් භික්ෂුවක් අමනාප වූ වචන අසන්ට නොලැබෙද්ද ඒතාක් ඉතා
යහපත් වෙයි. ඉතා යටහත් පැවතුම් ඇත්තේ වෙයි. ඉතා සංසුන් පැවතුම් ඇත්තේ වෙයි.යම්
හෙයකින් එම භික්ෂුවට අමනාප වූ වචන අසන්නට ලැබේ ද එකල්හි ද පෙර මෙන් යටහත් පැවතුම්
ඇත් ද, සංසුන් වෙත් ද එම භික්ෂුව ශාන්ත වූ භික්ෂුවක් බව බුදුරජාණන් වහන්සේ දෙසූහ.
එසේම යම් භික්ෂුවක් සිවුරු, ආහාර, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් හා පිරිකර ආදිය හේතුකොට
ඉතා සංවර වේ ද, කීකරු බවට පැමිණේ ද ඔහු කීකරු යැයි කිව නොහැකි ය. කුමක් හෙයින්ද
යත්, ඒ භික්ෂුව ඒ චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලන්පස, බෙහෙත් හා පිරිකර නොලබන්නේ ද
එකල එම භික්ෂුව සුවච නොවේ.
එසේම යම් භික්ෂුවක් ධර්මයම සලකමින්, ධර්මයම ගරුකරමින්, ධර්මයම පුදමින් සුවච වේ ද, ඒ
භික්ෂුව කීකරු යැයි කිවහැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. එබැවින් මේ
ශාසනයෙහි භික්ෂුව ධර්මයම සලකමින්, ධර්මයම ගරු කරමින්, ධර්මය ම පුදමින් සුවච විය
යුතු ය යනුවෙන් බුදු හිමියෝ දැක්වූහ .
බුදුරජාණන් වහන්සේ මෙහිදී පස් ආකාර වූ වචනයන් යම් කෙනෙක් පවසද්දී ද සම සිතින් ඒවා
දරාගත යුතු බව පෙන්වා දුන්හ. පස් ආකාර වචනයන් මෙසේ ය.
කාලෙන වා අකාලෙන වා කාලයෙහි හෝ අකාලයෙහි පවසන වදන්
භූතෙන වා අභූතෙන වා
සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් පවසන වදන්
සණ්හෙන වා ඵරුසෙන වා
මෘදුව හෝ රළු අයුරින් පවසන වදන්
අත්ථසංහිතෙන වා අනත්ථසංහිතෙන වා අර්ථාන්විත හෝ අනර්ථාවින්ත ව පවසන වදන් හා
මෙත්තචිත්තා වා දොසන්තරා වා මෛත්‍රී සිතින් හෝ ද්වේශ සිතින් පවසන වදන් ය.
මෙකී පස් ආකාර වූ වචන ඇසෙන කල හික්මිය යුතු ආකාරය ද බුදුරජාණන් වහන්සේ පෙන්වා
දුන්හ.
අපගේ සිත නොපෙරළේවා. අපි ළාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත
සිත් ඇතිව, නොකිපී සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරුවා
වාසය කරන්නෙමු. මුළු ලෝකය ම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණකොට මහත් වූ මහත් බවට ගියා
වූ, අප්‍රමාණ වූ, වෛර නැත්තා වූ, ද්වේෂ නැත්තා වූ, මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය
කරන්නෙමු යි හික්මිය යුතු ය.
එසේ හික්මිය යුතු අයුරු සතරාකාර වූ උපමාවකින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. එනම්
මහපොළොව මෙන් ය
අහස මෙන් ය
ගංගාවක් මෙන් ය
බළල් හමින් කළ මල්ලක් මෙන් ය.
යම් පුද්ගලයෙක් උදැල්ලක් රැගෙනවිත් මේ මහ පොළොව මම පොළොවක් නො කරමි‘යි කොටන්නේ ද,
පොළොව කිසිසේත් ම කම්පා නොවේ. පුරුෂයා දැඩි වෙහෙසට ලක්වනවා පමණි.
එසේම යමෙක් මහ පොළොවට කෙළ, සෙම් සොටු, මළ මූත්‍රා දමන්නේ ද, පොළොව ඒ සියල්ලක් ම සම
සිතින් දරාගනී. එසේම තමන් වෙත පැමිණෙන සියලු සැප දුක සම සිතින් දරාගත යුතු ය.
යම් පුද්ගලයෙක් නිල් හෝ රතු හෝ යම් පැහැයකින් යුතු පාටවලින් අහස පාට කරන්නෙමි’
චිත්‍ර කරන්නෙමියි අහසේ චිත්‍ර අඳින්නේ ද, කිසිකලෙක එය සඵල නොවේ. එසේම පුද්ගලයා ද
අහස මෙන් දුර්වර්ණ, විවර්ණ නොවී සම සිතින් සියල්ල දරා ගත යුතු ය.
යම් පුද්ගලයෙක් පත්තුකරගත් තණසුලක් ගෙන මේ ගංගාව ම රත් කරන්නෙමි, පුළුස්සන්නෙමි
යැයි එසේ කිරීමට තැත් කළහොත් එය සිදු නොවේ. එසේම ගංගාව මෙන් දුක සැප සියල්ල සම සේ
දරමින් විසිය යුතු ය.
බළල් හමින් කරන ලද මල්ල ඉතා සිනිඳු මල්ලකි. එය රළු කිරීමට යමෙක් වෙර දරන්නේ ද එය
එසේ කළ නොහැකි ය. වෙහෙස පමණි. එසේම එම බළල් හම සහිත මල්ල මෙන්, පුද්ගලයා ද කිසි
අයුරකින් රළුබවක්, කෝපබවක් ඇති නොකරගෙන විසිය යුතුයි.
මෙම ලිපියේ ඉතිරි කොටස
වප් අව අටවක පෝ දා (08) පත්‍රයේ පළවේ. |