සතුට කැමැති නම් ජීවිතයට පින් පුරමු
හැව්ලොක් සිටි සාමවිහාරාධිපති
ශාස්ත්‍රපති
අතපත්තුකන්දේ
ආනන්ද නා හිමි
ඉධමෝදති පෙච්ච මෝදති
කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ
(ධම්මපදය යමක වග්ගය)
බුදු දහම නිරන්තරයෙන් ම තම ශ්‍රාවකයන් පින් කිරීම සඳහා උනන්දු කරව යි. පව් කිරීමෙන්
වැළකීම සඳහා උපදෙස් දෙයි. පින් සහ පව් යන නම් වලින් හඳුන්වා ඇත්තේ පුද්ගල
ක්‍රියාකාරකම් ය.
මේ සඳහා ප්‍රමුඛතාව දෙනු ලබන්නේ චේතනාව විසින්ය. එම චේතනාව මෙහෙයවා සිදුකරන ක්‍රියා
කය, වචන, මනස යන ති දොරින් සිදු කරනු ලැබේ. අකුසල මූලයන් මුල් ව සිදු කරන එම
ක්‍රියාවන් පාප කර්ම හෙවත් අකුසල කර්ම නමින් හැඳින්වේ. කුසල මූලයන් මුල් ව සිදු කරන
ක්‍රියා පින් හෙවත් කුසල කර්ම ලෙසත් හැඳින්වේ.
අකුසල ක්‍රියාවේ ස්වභාවය අපිරිසුදු සහ කිලිටි සහගත බවයි. එහි විපාකය ශෝකි බව සහ
දුක් සහගත බවයි. පව් කරන්නා පාපකාරී යන නමින් හඳුන්වයි. ඔහුගේ ක්‍රියාකාරකම් වන්නේ
පස් පව්, දස අකුසලය යි. මේවායෙහි විපාකය ‘සෝචති’ යනුවෙන් හඳුන්වයි. තමා විසින් සිදු
කළ එම “කිලිට්ඨකම්ම” හෙවත් පාප කර්මයන්හි බරපතළ විපාකයන් ලෙස මුළු ජීවිත කාලය පුරාම
දැඩි මානසික පීඩාවන්ගෙන් පීඩාවට පත් වේ. ශෝකී වූ සිතිවිලි වලින් යුතුව දිවි ගෙවන්නට
සිදුවේ. ලෙඩ ඇඳෙහි හෝ මරණ මංචකයේ දී අසරණ ව මහත් කම්පාවට පත් වේ. මරණින් මතු අපාගත
වන මෙබඳු පවිටන් අපා දුක් විඳමින් දැඩි සේ කම්පා වන ආකාරය “විහඤ්ඤති’ යන්නෙන් දක්වා
ඇත. එය පාපතර සිතට බිය ගෙන දෙන සුළු වේ. මේ සඳහා අපේ ධර්ම සාහිත්‍යයෙහි දේවදත්ත
චරිතය වැනි බොහෝ සාධක දැක ගත හැකි ය.
උතුම් මිනිසත් බවක් ලබා බුදු සව්වකු වූ කිසිවකුත් එබඳු පාපතරයකු නො විය යුතු ය.
ශෝකී මනසින් පීඩාවට පත් වන්නකු ද නොවිය යුතු ය. දුර්ලභ වූ උතුම් මනුෂ්‍යත්වය ලැබූ
බෞද්ධයා නිරන්තරයෙන් ම සතුටු සිතින්, සොම්නස් ව, සැහැල්ලු සිතින් ජීවත් වන
පුද්ගලයකු විය යුතු වේ. ඒ සඳහා මූලික වන්නේ තමා විසින් සසර දී සිදු කරන ලද උතුම්
පුණ්‍ය කර්මයන් ය. එම පුණ්‍යවන්තයා දහමින් හඳුන්වා ඇත්තේ “කතපුඤ්ඤ”යන නමිනි. ඒ සඳහා
අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන් මුල් වූ සිතින් පුණ්‍ය ක්‍රියාවන්හි නිරත විය
යුතු වේ. එම පුණ්‍ය ධර්මයන් මූලික වශයෙන් දස කුසල ක්‍රියා වශයෙන් හඳුන්වා දී තිබේ.
දානය, සීලය, භාවනාව, පින් දීම, පින් අනුමෝදන් කිරීම සහ වතාවත් කිරීම, පිදිය යුත්තන්
පිදීම, බණ කීම සහ බණ ඇසීම, දෘෂ්ටි ඍජුකිරීම යනුවෙන් හඳුන්වා ඇත.
මේවා තිදොරින් සිදුකරන ඉතා උතුම් සුසිරිත් ය. “විශුද්ධිකම්ම” යනුවෙන් ඒවා හඳුන්වා
තිබේ. එනම් ඒවා ඉතා සුපිරිසුදු කර්මයන් වන අතර, එහි ස්වභාවය මෙලොව දී ලබන සැහැල්ලුව
සහ සතුට ලෙස සඳහන් වේ.
එමෙන්ම “පමෝදති” පරලොව සුගති සැප ලබා, සිත කය පිනවන්නේ බලවත් ලෙස සතුටට පත්වන බව
දැක්වේ. මේ අනුව අපට සතුට, සොම්නස ලබාදීම සඳහා මූලික වන්නේ පුණ්‍ය ධර්මයන් බව ඉතා
පැහැදිලි ය. මේ සඳහා පුද්ගලයා සම්පත් පුද්ගලයකු වීම පමණක් නොව නිරෝගී සම්පන්න
පුද්ගලයකු ද විය යුතු ය. එපමණක් ද නොව, යහපත් උපධි සම්පත්තියකින් යුතු අයකු විය
යුතු වේ. හෙතෙම සමාජය තුළ පිළි ගැනීමක් ඇති, පි‍්‍රයශීලි පුද්ගලයකු බවට පත්වේ.
සිල්වත් බවින් හා ගුණවත් බවින් යුක්ත වීම ද මේ සඳහා මහත් රුකුලක් වනු ඇත. මෙම සියලු
කරුණුවලින් සතුට අර්ථවත් වන අතර, සතුටක් නැති කිසිදු ජීවිතයක හෝ තනතුරක මිහිරියාවක්
නැත. එසේනම් කායික හා මානසික පී‍්‍රණනය සඳහා පින ප්‍රබල සාධකයක් වන බව ඉතා පැහැදිලි
ය.
එදා සැවැත්නුවර බොහෝ උපාසකවරුන්ට නායකත්වය දුන් ධම්මික නම් වූ උපාසකවරයකු ඉතා
දැහැමි ව දිවි පෙවත පවත්වාගෙන යමින් සිටියේ ය. උපදෙස් දීමෙහි මනා දක්ෂතාවක් හා දැන
උගත් කමින්ද පිරිපුන් හෙතෙම විශාල ධනවතෙක් නො වූයේ ය. එහෙත් විශාල ගුණවත්කමකින් තම
ජීවිතය ඔපකර ගත්තකු විය.
සිල්වත්කමින් හා දැහැමි බවින් පිරි හෙතෙම දූ දරුවන් බොහෝ පිරිසකගේ පියාණන් විය.
ගුණවත් භාර්යාවකගේ යහපත් ස්වාමි පුරුෂයකු ද විය. ධම්මික උපාසකතුමා මෙන්ම, භාර්යාව
හා දූ දරුවෝ ද ඉතා සැදැහැවතුන් වූයේ ඉතා සතුටින් දානාදී පින්කම්වල නියැළුණහ. හෙතෙම
මහලු ව අසනීප ව මරණාසන්න වුණි.
සංඝයා වහන්සේ දැකීමෙහි හා සදහම් ඇසීමේ රුචිකත්වය තේරුම් ගත් දරුවන් දෙව්රම් වෙහෙරට
ආරාධනා කොට දොළොස් නමක් පමණ භික්ෂු පිරිසක් වැඩමවා ගන්නා ලදී. උපාසකතුමා භික්ෂූන්
දැකීමෙන් ඉතා සොම්නස් විය. තම රෝගී තත්ත්වය පිළිබඳව ද තොරතුරු සඳහන් කරමින් ධර්මය
අසනු කැමති තමන්ට සතිපට්ඨානය සූත්‍රය ඇසීමේ ඕනෑතරම ප්‍රකාශ කළේ ය. ඒ අනුව භික්ෂූන්
වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළහ. දෙව් ලොව දෙවියෝ ද පැමිණ අහසේ රැඳී සිටිමින්
උපාසකතුමා තම තමන්ගේ දේව ලෝකයන් වෙත කැඳවා ගැනීම සඳහා ඇරයුම් කරමින් සිටියෝ ය. ගති
නිමිති පහළව සිටි උපාසකතුමා එම ඇරයුම් සඳහා ප්‍රතිචාර දැක්වීම වැරැදි ලෙස වටහා ගත්
භික්ෂුහු දම් දෙසුම නවතා දෙව්රමට වැඩම වූහ.
උපාසකතුමා මිය ගොස් තුසිත දෙව් ලොව උපන්නේ ය. භික්ෂුන් විසින් මෙම සිදුවීම
බුදුරදුන්ට දැනුම් දෙන ලදී. උන්වහන්සේ එම භික්ෂුන් අමතා උපාසකවරයා තමන් කැටිව යාමට
පැමිණි දෙවියන් සමඟ කරන ලද කථිකාවක් බව පැහැදිලි කරමින් පින් කළ අය මෙලොව ද සතුටුව
පරලොව ද බොහෝ සැප විඳිමින් බොහෝ සෙයින් සතුටු වන බව දේශනා කොට වදාළහ.
සුමනා දේවිය පිළිබඳව වූ පුවත ද මීට ඉතා සමාන වූ සිදුවීමකි. අනේපිඬු සිටුතුමාගේ
දියණියක වූ ඇය ද බොහෝ පින්කම් හි යෙදී සකෘදාගාමී ඵලයට ද පත් විය. මරණින් මතු තුසිත
දෙව්ලොව උපන්නා ය. ඒ බව අපේ ධර්ම සාහිත්‍යයෙහි විස්තර කොට ඇත. එමෙන් ම පාපකාරී ව
ක්‍රියා කරන පුද්ගලයන් මෙලොව දීම දුකින් පෙළෙන බවත්, දැවීමට හා තැවීමට පත් වන බවත්,
මරණින් පසු අපායගාමී ව දැඩි සේ දැවීමට හා තැවීමට පත්වන බවත් අපේ ධර්ම සාහිත්‍යයෙහි
මැනවින් විස්තර කොට ඇත. |