Print this Article


ප්‍රත්‍යවේක්ෂා: අකුසලයට බිය සහ පිළිකුල ඇතිකර ගන්නේ කෙසේ ද?

අකුසලයට බිය සහ පිළිකුල ඇතිකර ගන්නේ කෙසේ ද?

" හිංසාකාරි අදහස් ඇති වන විට අවිහිංසාව ද, තරහ ඇති වෙනවිට මෛත්‍රිය ද, කුසීත කම ඇති වන විට වීර්යය ද, ඊර්ෂ්‍යාව ඇති වන විට මුදිතාව ද, ආදී වශයෙන් ඒ ඒ අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ වූ, අන්‍ය වූ කුසලය උපදවාගෙන ඒ අකුසල විතර්කයන් බැහැර කළ යුතු වේ."

අධිචිත්තමනුයුත්තෙන, භික්ඛවෙ, භික්ඛුනා පඤ්ච නිමිත්තානි කාලෙන කාලං මනසි කාතබ්බානි.

මහණෙනි, විදර්ශනාවට පාදක වූ සමාධිය වඩන්නා වූ භික්ෂුව විසින් කලින් කල කරුණු පසක් මෙනෙහි කළ යුත්තාහු ය.

ධර්මය අවබෝධ කිරීමට බලාපොරොත්තු වන සෑම කෙනකුට ම ධර්මය අවබෝධ වන්නේ මාර්ග සමාධිය උපදවා ගැනීමෙනි.සම්මා සමාධි යන්නෙහි ලෝකෝත්තර සමාධිය මාර්ග සමාධියයි.මාර්ග සමාධිය අනිකුත් ලෝකෝත්තර මාර්ග අංග සමඟ එක්ව මාර්ග සිත උපදවයි. ඉනික්බිති උපදින්නේ පල සිතයි.

එනම් එම පුද්ගලයා මාර්ගඵල ලාභියෙකු බවට පත්වී විදර්ශනාව සම්පූර්ණ කරයි. මෙවැනි උසස් තත්ත්වයකට පත්වන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයකු සෑමවිටම ඉතාම ප්‍රවේශමෙන් තමන්ගේ සිත රැකගත යුතුව ඇත.

මන්ද යත් සෑම අකුසලයක් ම මෙම උසස් තත්ත්වයට පත් වීමට බාධා කරන බැවිනි. මෙසේ උසස් විදර්ශනාවකට හිත පත් කර ගන්නට බලාපොරොත්තු වෙන අය අකුසල විතර්කයන්ගෙන් වන හානිය නවත්වා ගැනීම සඳහා සිදුකළ යුතු ක්‍රියාකාරකම් පහක් විතක්ක සන්ඨාන සූත්‍රයෙහි දක්නා ලැබේ.

මෙහි පළමු වැන්න සඳහන් කර ඇත්තේ මෙසේය.

මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවට යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කිරීම හේතුකොට ගෙන ලෝභ සහගතවූ ද දෝෂ සහගතවූ ද, මෝහ සහගතවූ ද, ළාමකවූ අකුසල කල්පනා උපදිත් ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත අරමුණක් මෙනෙහි කළ යුතු ය.

ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත වූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගත වූ, දෝෂ සහගත වූ, මෝහ සහගත වූ, ළාමක වූ, යම් අකුසල කල්පනාවෝ වෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශවෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළත ම පිහිටයි, නවතියි, එකඟ වෙයි සමාධිය ඇතිවෙයි.

එනම්, හිංසාකාරි අදහස් ඇති වන විට අවිහිංසාව ද, තරහ ඇති වෙනවිට මෛත්‍රිය ද, කුසීත කම ඇති වන විට වීර්යය ද, ර්ෂ්‍යාව ඇති වන විට මුදිතාව ද, ආදී වශයෙන් ඒ ඒ අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ වූ, අන්‍ය වූ කුසලය උපදවාගෙන ඒ අකුසල විතර්කයන් බැහැර කළ යුතු වේ.“මහණෙනි, යම් සේ දක්ෂ වඩුවෙක් හෝ වඩු ගෝලයෙක් හෝ කුඩා ඇණයකින් ලොකු ඇණයක් පිටකරන්නේ ද, නිකුත් කරන්නේ ද, ගලවා දමන්නේ ද, ඒ ආකාරයෙන් ඇතිවන මේ ප්‍රබල අකුසලය කුසලයෙන් ගටා ටිකෙන් ටික ඉවත් කර දැමිය යුතු බව උදාහරණයකින් ද මෙම සූත්‍ර ධර්ම හි දක්වා ඇත.

මෙයින් ගම්‍ය වන්නේ තරහක් ඇති වෙනකොට පුංචි හෝ මෛත්‍රීයක් තමන්ගේ සිත් තුළ ඇත්නම් එය නැවත නැවත ඇති කර ගනිමින් එම තරහ ඉවත් කළ යුතු බවයි. ඊර්ෂ්‍යාවක් ඇති වන විට කුඩා හෝ මුදිතාවක් තමන් තුළ වේ නම් එයම නැවත නැවත අපහසුවෙන් හෝ මෙනෙහි කර එම ඊර්ෂ්‍යාව පලවා හැරිය යුතු බවයි.

මෙය ඉතා ප්‍රායෝගික ක්‍රමවේදයක් බව භාවිත කිරීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතුව ඇත. මෙසේ පළමු උපක්‍රමය සිදු කිරීමෙන්, අකුසල විතර්කය පහවන්නේ නැතිනම්, දෙවැනි උපක්‍රමය ලෙස සූත්‍රයේ දක්වා ඇත්තේ ඒ කල්පනාවන්ගේ ආදිනව මෙනෙහි කළ යුතු ය.

මෙසේ ද මේ කල්පනාවෝ අකුසල්ය, මෙසේ ද මේ කල්පනාවෝ වරද සහිත ය. මෙසේ ද මේ කල්පනාවෝ දුක් වූ විපාක ඇත්තෝ ය කියායි.

ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන්නා වූ ඒ භික්ෂුවගේ ලෝභ සහගත වූ ද, දෝෂ සහගත වූ ද, මෝහ සහගත වූ ද යම් ළාමක අකුසල කල්පනා වෙත් ද, ඒ ළාමක අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශවෙත්.

ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම සිටියි, නවතියි, එකඟවෙයි, සමාධිය ඇතිවෙයි.යම් සේ තරුණ වූ, අලංකාරයට කැමති වූ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ බෙල්ලෙහි එල්ලීමෙන් හැකිළෙන්නේ ද, පිළිකුල් කරන්නේ ද මහණෙනි, එපරිද්දෙන් ම මෙසේ ආදීනවයන් මෙනෙහි කරනා කල්හි අකුසලය හැකිළී යන බවද, කුසලය ඉස්මතු වන බව ද, උදාහරණයකින් ද බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර ධර්මය දී අවධාරණය කර දේශනා කර තිබේ.

උදාහරණයක් ලෙස, රාගාදී කෙලෙස් ධර්මයක් පිළිබඳව තමන්ගේ සිතේ විතර්ක පහළ වන විට එම අදහස ක්‍රියාත්මක වුවහොත් සිදුවන ආදීනවයන් මෙනහි කළ යුතු ය.

එනම් තම හිතවතුන් ඥාතීන් හා සමාජයෙන් අපකීර්තියට පත් වීම, අන් සියලු දෙනාට ම පිළිකුල් පුද්ගලයෙක් බවට පත් වීම, බොහෝ පාපයන් සිදුවී විපාක විඳීන්නට සිදුවීම, මරණින් මතු අපාගත වීම, ආදි වශයෙන් ලැබෙන සියලු විපාකයන් නැවත නැවත මෙනෙහි කළ යුතු ව ඇත.

එවිට සිත් තුළ අකුසලය කෙරෙහි බයක් සහ පිළිකුලක් උපදී. එසේ වනතුරු මෙම මෙනෙහි කිරීම් සිදුකිරීමේ අකුසලයෙන් මිදීමට හැකියාව ඇත. මෙම ක්‍රම දෙකම සිදු කිරීමෙන් ද අකුසල් විතර්ක දුරු වන්නේ නැතිනම් තවත් ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේ දී අප වෙත හඳුන්වා දී තිබේ.

මහණෙනි, ලෝභ සහගත වූ ද, දෝෂ සහගත වූ ද මෝහ සහගත වූ ද ඒ ළාමක අකුසල කල්පනාවෝ ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවහට උපදින්නාහුම වෙත් ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි.

ඒ අකුසල කල්පනා මෙනෙහි නොකිරීමට, අමතක කිරීමට පැමිණියාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූ ද, දෝෂ සහගත වූ ද, මෝහ සහගත වූ ද යම් ළාමක අකුසල කල්පනා කෙනෙක් වෙත්ද, ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණය හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, හිඳීයි, එකඟ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.

යම් සේ ඇස් ඇත්තා වූ පුරුෂයෙක්, ඇස් හමුවට පැමිණියාවූ රූපයක් නොදකිනු කැමැත්තේ නම්, හෙතෙම ඇස් පියාගන්නේ හෝ වේ ද, අන් දිශාවක් බලන්නේ හෝ වේද,මේ ආකාරයට මෙම ක්‍රියාවලිය සිදු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේ දී දේශනා කළහ.

එනම් ඇතිවූ එම විතර්කයට අදාළ බොහෝ සිද්ධීන් මෙනෙහි නොකිරීම මෙයින් අදහස් කෙරේ්. එම අකුසලයට අන්‍ය වූ දෙයක් මෙනෙහි කිරීම කළ යුතුව ඇත. උදාහරණයක් ලෙස කෙනකුට පහර දීමට තම සිතින් සැලසුම් කරන්නකු එම පහරදීම සිදු කරන සිද්ධිය සිදු කිරීමට පෙර තමන්ගේ මනසින් බොහෝ වාරයක් එම සිද්ධියට අදාළ සිතුවිලි ඇතිකර ගනී.තම සිතෙන් මෙම සිද්ධිය බොහෝ වාරයක් සිදුකරයි. එම සිද්ධිය සිදු කිරීමෙන් පසු සිදුවිය හැකි සිද්ධීන් ගැන පවා මෙනෙහි කරයි.මෙවැනි මානසික ක්‍රියාකාරකම් වලට නොගොස් මතකයට එන සෑම වාරයක ම අමතක කර දැමීම හෝ වෙනත් කරුණක් පිළිබඳ ව මෙනෙහි කිරීම හෝ සිදු කරමින් එම අකුසලයට අදාළව කිසිවක් මෙනෙහි නොකර සිටීම තුන්වන ක්‍රමවේදයයි.