Print this Article


පසුතැවීම් නැති ජීවිතයකට පින් පව් හඳුනා ගන්න

පසුතැවීම් නැති ජීවිතයකට පින් පව් හඳුනා ගන්න

නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

නතං කම්මං කතං සාධු
යංකත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛො රොදං
විපාකං පටිසේවති

සුපින්වතුනි,

"යමක් කිරීමෙන් පසුතැවිලි වේ ද, විපාකය හමුවේ කඳුළින් පිරුණු මුහුණින් හඬා වැළපීමට සිදු වේ ද, එවැනි පව් කම් නොකිරීම යහපති."

සකල සතවෙත සුපතළ මහා කරුණා ඇති අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි සීසාන ගොවියකු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

සැවැත් නුවර වාසී ගොවියකු නුවරට නුදුරුව කුඹුරක් සී සෑම පිණිස කුඹුරට ගියේ ය. සොරු කණ්ඩායමක් රාත්‍රියෙහි ධනවතකුගේ ගෙයක් බිඳ එම කුඹුරේ සොරොව්ව ළඟ තබා ධනය බෙදා ගත්හ. එක් සොරකුගේ දහසින් බැඳි මසුරන් මල්ලක් අමතක වී එම ගොවියා සීසාන සමීපයේ ම තිබුණි.

අප බුදුරජාණන් වහන්සේ අලුයම ලොව බලන සේක් එම ගොවියා හට පැමිණෙන විපත ද. සෝවාන් මඟට පැමිණීමේ වාසනාව ද දිවැසින් දැක අනඳ තෙරුන් සමඟ පෙරවරු එම කුඹුරට වැඩි සේක. සී සාමීන් සිටි ගොවියා බුදුරදුන් දැක වැඳ සී සෑමෙහි යෙදුණේ ය.

බුදුරජාණන් වහන්සේ, ආනන්දය සර්පයා දුටුවේ දැයි ඇසූ සේක. ආනන්ද හිමියෝ ස්වාමීනි සර්පයා දුටුවෙමි’යි පිළිතුරු දුන්හ.

මෙයට සවන් දුන් ගොවියා එතැන පරික්ෂා කොට සර්පයකු නොදැක, මුදල් මල්ල දැක එය සඟවා තබා සී සාන්න පටන් ගත්තේ ය. පා සටහන් ඔස්සේ සොරුන් සොයන රාජපුරුෂයෙක් මුදල් බෙදාගත් තැන් පරික්ෂා කර බලා මුදල් මල්ල සමඟ ගොවියා අල්ලා ගත්තේය.

රාත්‍රී සොරකමේ ගොස් භාණ්ඩ සඟවා දැන් සීසාන අයුරු බලවයි කියමින් ගොවියාට තළා පෙළා ගෙන ගොස් රාජ දඬුවම් පැමිණ වූහ.

බුදුරදුන්, ආනන්ද සර්පයා දුටුවේ දැයි, වදාළේ මේ විපත නිසා යැයි සිතා ගොවියාගේ මුවින් කීප වරක් ම ‘ආනන්ද සර්පයා දුටුවා’දැයි යන වදන පිටවිය.

රාජ පුරුෂයන් එම වාක්‍යයේ අර්ථය විමසන විට ගෙවියා නොසඟවා සිද්ධිය විස්තර වශයෙන් ප්‍රකාශයට පත් කළේ ය. එය ඔහුගේ නිදහසට හේතුවිය.

බුදුරජාණන් වහන්සේ මේ කාරණය නිමිති කරගෙන මුලින් දැක්වූ ගාථා ධර්මය දේශනා කළ සේක. දේශනාව අවසානයේ ගොවියා සෝවාන් ඵලයට පත්විය.

යමක් කිරීමෙන් පසුතැවිලි වේ ද, විපාකය හමුවේ කඳුළින් පිරුණු මුහුණින් හඬා වැළපීමට සිදු වේ ද, එවැනි පව් කම් නොකිරීම යහපති. පින්වත්නි, මෙම ගාථා ධර්මයෙන් අපට ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව අවධාරණය කරයි.

තම බුද්ධියෙන් හොඳ, නරක හඳුනා ගැනීම , යමක් කිරීමට පෙර සිතා බැලීම, පශ්චාත්තාපයට හේතුවන පව්කම් නොකර ඉඳීම, කර්මයට චේතනාව මූලිකවීම

මිනිසා හා තිරිසනා අතර වෙනස නම් මිනිසා බුද්ධියෙන් පව්කම් නොකිරීම යි. තිරිසන් සතුන් පවා හොඳ වැඩ කරන්නේ විමර්ශන බුද්ධියෙන් නොව ලබාගත් පුරුද්දෙනි. මිනිසාට හොඳ නරක විශ්ලේෂණය කිරීමේ බුද්ධියත්, හොඳ වැඩ කිරීමේ නිගමනයත් විද්‍යමාන වන්නේ ය.

මනාව සමාජයේ ඉතිහාසය අනුව ප්‍රධාන වශයෙන් මිනිසාට පින් පව් හඳුනා ගැනීමට ආගම දහම මහෝපකාරි වුව ද එය ඉක්මවා ගිය හැටිත්, පොදුවේ මානව සමාජයම ශෝකයට සන්තාපයට පත්වූ සැටිත් ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

අප ගෞතම බෝධි සත්වයෝ ද අති දීර්ඝ කාලයක් සමාජය සමඟ ම හොඳ නරක වලට මුහුණ පාමින් පින් පව් හඳුනාගෙන පින්කම් කරමින්, දානාදි පාරමි ධර්මයන් පිරූ අයුරු ජාතක කතා වලින් අවධාරණය වේ.

මිනිසා චින්තනයෙන් හා නිර්මාණ කුසලතාවයෙන් කෙතරම් උපරිම තැනකට තැබුව ද, ආත්ම නිර්මාණවාදය හුදු සංකල්පයක් බව බුද්ධියෙන් හඳුනා ගන්නා තුරු මානව සමාජයට සහනයක්, ශාන්තියක් අපේක්ෂා කළ නොහැකි ය.

භෞතික ආශාවන් උපරිම වශයෙන් ඉහළ යන විට. එයට නිර්මාණ වාදයෙන් ජීවය දෙනවිට මිනිස් චින්තනය දූෂණය වන්නේ ය.

ලෝක ජනගහනයෙන් වැඩි දෙනා ආත්ම නිර්මාණවාදී නම් එහි ප්‍රතිවිපාක සමස්ත මානව සමාජයට ම ලැබෙන්නේ ය. මානව සමාජය ම භෞතික වශයෙන් සිඝ්‍රගාමී ව ධාවනය කරන විට පව්කම් සිදුවීම් අපමණ ය. විශේෂයෙන් බුදු දහමේ දැක්වෙන ප්‍රාණඝාතය දියගොඩ සැමතැන සිදු වන්නේ ය, සොරකම් වංචා, අවනීති ධනයට බලයට, ආටෝපයට අගති ගාමි වීම මේ ආදි දහසක් වැරැදි සිදුවන්නේ භෞතික ආශාවන් නිර්මාණවාදයත් නිසා ම ය.

වර්තමාන ලෝකයට අවම වශයෙන් හෝ සහනයක් අවශ්‍යනම් බුදුදහමේ උගන්වන පින්පව් පිළිබඳ සිද්ධාන්ත මානව සමාජයෙන් ම හඳුනාගෙන ජනතාවගේ දෛනික ජීවනයට සම්බන්ධ කළ යුතු වන්නේ ය. පින් පව් පිළිබඳ ක්‍රියාකාරිත්වය හා සාධනීය ප්‍රතික්‍රියා පරලොවටම සම්බන්ධ කිරීමට වඩා එදිනෙදා සංවේදිතාවන්ට සම්බන්ධ කරවන්නේ නම් කෙතරම් යහපතක් වන්නේ ද?

සෑම කර්මයකටම මුල් වන්නේ මනස නිසා එය විකෘත කරන දර්ශන, අරමුණු වැඩිවන විට සමස්ත මානව සමාජයම අසහනයට, දුකට සන්තාපයට පත්වීම අනිවාර්ය වන්නේ ය.

තමා වින්ද හා විඳින දුක සැප සාපේක්ෂව තමා විසින් ම පින්පව් පිළිබඳව අවබෝධයක් ලබාගෙන පාප ක්‍රියාවන්ගෙන් අවම වශයෙන් හෝ වෙන් වී තමාට හැකි පමණින් පින් කරන්නේ නම් මෙවන් සන්තාපවලින් බේරෙන්නට හැකි ය.