Print this Article


පිරිවෙන

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

****

පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය

තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ සුවිශේෂී සිප්හල

මහනුවර ශ්‍රී සංඝරාජ මහ පිරිවෙන

වර්තමාන ශාසන පුනරුද්දීප්තියෙහි පුරෝගාමී උතුමන් වන බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ පිරිහී ගිය ලාංකේය සම්බුද්ධ ශාසනය නැවත ප්‍රකෘතිමත් කොට වදාළහ.

ශබ්ද ශාස්ත්‍රයන්හි කෙළපැමිණි වියතුන්ගෙන් තොර වූ එම කාලපරිච්ඡේදයේ දී උන්වහන්සේ ස්වෝත්සාහයෙන්, පෞරාණික ධර්‍ම ග්‍රන්ථාදිය සපයා ගනිමින්, බොහෝ දුෂ්කරතා මධ්‍යයෙහි තෙවළා දහමෙහි මෙන්ම හෙළ සකු මගධ භාෂාත්‍රයෙහි ද ප්‍රවීණයකු බවට පත්වූහ.

සංඝරාජ සාධු චරියාව, සඟරජවත ආදී තත්කාලීන ග්‍රන්ථ මෙම කරුණු සනාථ කරයි. තමන් වහන්සේ විසින් මෙසේ දුක සේ ලබාගත් දැනුම් සම්භාරය තම ශිෂ්‍ය පිරිසට ලබා දී මතු අනාගතය සඳහා සුරක්ෂිත කිරීමට උන්වහන්සේ කල්පනා කළහ.

මෙකී අපේක්ෂණය සාධනය කරගනු පිණිස එවක උන්වහන්සේ මහනුවර පොහොයමළු විහාර භූමියෙහි කුඩා විද්‍යාස්ථානයක් ආරම්භ කර දිවයිනේ නන් දෙසින් පැමිණි විද්‍යාර්ථීන් හට ශාස්ත්‍ර ලබාදීමෙහි නිරත වූහ. මෙමඟින් බුද්ධ ධර්මයෙහි මෙන්ම, සිංහල, සංස්කෘත මාගධී යන භාෂාවන්හි ද පරතෙරට පත් ගිහි පැවිදි පඬිවරු රටට දායාද වූහ.

අනතුරුව උන්වහන්සේ මුලදී තමන් වහන්සේට ධර්‍ම ග්‍රන්ථ සපයා ගැනීමේ දී ඇතිවූ දුෂ්කරතාව සිහිපත් කරමින් එය මඟහැරවීම පිණිස තම උගත් ශිෂ්‍යවරයන් ග්‍රන්ථකරණයෙහි යොදවා, ග්‍රන්ථ සුලභ කරවීමට කටයුතු කළහ. පසුකාලීන ව සිදු වූ ශිෂ්‍ය පිරිසෙහි වර්ධනයත් සමඟ කීර්ති ශ්‍රී රාජසිංහ මහරජුගේ ද අනුග්‍රහය ඇතිව සරණංකර මාහිමියෝ නොයෙක් විහාරාංගයන්ගෙන් යුතු අංග සම්පූර්ණ විද්‍යාස්ථානයක් වූ උඩුනුවර නියමකන්ද පිරිවෙන ආරම්භ කළහ.

එය වනාහි නූතන යුගයෙහි ලක්දිව ඇතිවූ ප්‍රථම පිරිවෙන වන අතර, එමඟින් බිහි වූ වේහැල්ලේ ධම්මදින්න ආදී කීර්තිමත් පඬිවරු දිවයින පුරා විශිෂ්ට ධර්‍ම ශාස්ත්‍රීය සේවවාක නිරත වූහ.

දහනව වන සියවස අගභාගයේ දී ලක්දිව බිහිවූ ශ්‍රේෂ්ඨ අධ්‍යාපනික මධ්‍යස්ථාන වන රත්මලානේ පරම ධම්මචේතිය, මාලිගාකන්ද විද්‍යෝදය, පෑලියගොඩ විද්‍යාලංකාර යන පිරිවෙන් සඳහා මූලාධාර වූයේ සරණංකර හිමියන් විසින් ආරම්භ කරන ලද යට කී නියමකන්ද පිරිවෙනයි.

එහි ආරම්භය සඳහා හේතු වූයේ මුලින්ම ආරම්භ කරන ලද පොහොයමළු විහාරයීය විද්‍යාස්ථානයයි. මෙසේ වර්තමාන ලාංකේය ශබ්ද ශාස්ත්‍රෝන්නතිය පිණිස හේතු වූ ඒ උතුම් පුණ්‍ය භූමියෙහි පිරිවෙනක් ආරම්භ කිරීමට පසුකාලීන ව අවශ්‍යතාවයක් පැන නැගිණි.

ඒ අනුව මහනුවර උපෝෂිථ පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දහහතර වන මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් එවක විද්‍යෝදය පිරිවෙනෙහි දීප්තිමත් ආදිශිෂ්‍යවරයකු වූ අති ගෞරවාර්හ පවර නේරුත්තික විනයාචාර්‍ය මඩුගල්ලේ ශ්‍රී සුමන සිද්ධාර්ථාභිධාන මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් “ශ්‍රී සංඝරාජ පිරිවෙන” නමින් විද්‍යාස්ථානයක් ක්‍රි.ව. 1897 මැයි මස 12 වන දින ආරම්භ කරන ලදී.

වර්තමාන ශබ්දශාස්ත්‍රෝන්නතියෙහි ආදි කර්තෘවර බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමය අනුස්මරණය කරනු වස් ආරම්භ වූ මෙම පරිවේණස්ථානයෙහි එදා පොහොයමළු විහාර භූමියෙහි දී සිදුකෙරුණු එම ශාස්ත්‍රීය සේවාව නැවතත් නොකඩ කොට ඉදිරියටත් පවත්වාගෙන යමින් සුපේශල, ශික්ෂාකාමී, බහුශ්‍රැත ශිෂ්‍ය භික්ෂු පිරිසක් සම්බුද්ධ ශාසනයට දායාද කිරීම මූලික අභිමතාර්ථය විය.

ගෞරවාර්හ මඩුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථ අනුනාහිමි, මහබෝපිටියේ ශ්‍රී මේධංකර නාහිමි ආදී වූ දක්ෂ ආචාර්‍ය මණ්ඩලයකින් සමන්විත වූ ශ්‍රී සංඝරාජ පිරිවෙන අතිසම්භාවිත මල්වතු අස්ගිරි උභය මහාවිහාරයන් ප්‍රමුඛ ලක්දිව නොයෙක් ප්‍රදේශවලින් සපැමිණි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට මෙන්ම ගිහි සිසුන්ට ද සෙත සලසාදීමට සමත්විය.

****

සිල්වත්කම

භික්ෂූන් වහන්සේ සත්‍ය වශයෙන් ම සිල්වත් විය යුතු ය. “සිල්” යන අකුරු දෙකෙන් අදහස් කරන්නේ කුමක් ද? චේතනා, චෛතසික, සංවර, අව්‍යතික්‍රම යන සිව් වැදෑරුම් පිළිවෙළට සකස්වන කල්හි සිල්වත් වේ.

ප්‍රාණඝාතා දී සප්ත කර්ම පථයන්ගෙන් වැළකී වත්පිළිවෙත් පුරන්නහු ගේ ගති පැවතුම් සුරක්ෂිත වූ කල්හි භික්ෂුවක් වෙතින් සිල්වත්කම ප්‍රසාරණය වේ.

සිල්වතා සන්සුන් ය. ඔහු තුළ විපිළිසර සිතක් නැත. සිත, කය, වදන යන තුන්දොර පිරිසුදු වූ කල්හි පච්චුප්පට්ටන ලක්ෂණය උද්ගතවේ. හිරි ඔතප් ඇති වූ කල්හි සිල් උපදී.

සිල් රකින කෙනකු තුළ හිරි ඔතප් ඇතිවිය යුතු ය. හිරි ඔතප් නැති වූ විට ඕනෑ ම වරදක් කළ හැකි ය. දැන් සිදු වී තිබෙන්නේ හිරි ඔතප් නැතිවීමයි.

දීඝ නිකායේ සඳහන් වන ලෙස සිල්වත් භික්ෂුවට මෙවැනි ආනිසංස ලැබිය හැකි ය.

ගෘහපතිවරුනි, සිල්වත් තෙමේ අප්‍රමාදයෙන් භෝග උපදවා ගන්නේ ය. ඒ පළමු වැනි ආනිසංසයයි.

එමෙන් ම සිල්වත් තෙමේ කල්‍යාණ කීර්ති ඝෝෂාවෙන් ලොව ප්‍රචලිත වන්නේ ය. එය දෙවැනි ආනිසංසයයි.

එමෙන් ම සිල්වත් තෙමේ ක්ෂත්‍රීය, බ්‍රහ්මණ, ගෘහපති, ශ්‍රමණ පිරිස් අතරට පැමිණෙන්නේ ද, ඒ අය අතර විශාරදයකු ලෙස කැපී පෙනෙන්නේ ය. මේ තෙවැනි ආනිසංසයයි.

එමෙන් ම සිල්වත් ස්වාමීන් වහන්සේ කළුරිය කරනවිට සිහි කල්පනාවෙන් යුතුව අපවත් වෙති. මේ සිව්වැනි ආනිසංසයයි.

එමෙන් ම සිල්වත් තෙමේ මරණින් මතු සුගති ස්වර්ග ලෝකයෙහි උපදින්නේ ය. මේ පස්වැනි ආනිසංසයයි.

සිල්වත්හුගේ සීල සම්පත්තියෙහිලා මේ ආනිසංස පහ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. බුදු සමය අධ්‍යාත්මික ප්‍රතිලාභයකි. දම්සක් පැවතුම් සූත්‍රයෙන් ඒ බව සිතාගත හැකි ය.

****

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ