Print this Article


බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථ: මලියදේව මහරහතන් වහන්සේ සහ සිංහල ජනශ්‍රැති

බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථ:

මලියදේව මහරහතන් වහන්සේ සහ සිංහල ජනශ්‍රැති

රාජකීය පණ්ඩිත පදියතලාවේ අමරවංශ හිමි

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 14 වැනි වතාවටත් සූදානම් කළ බෞද්ධ සාහිත්‍ය උත්සවය පසුගිය සැප්තැම්බර් 15 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලනයේ දී පවත්වන්නට යෙදුණා.

එහි දී 2019 වර්ෂයේ ප්‍රකාශයට පත් බෞද්ධ සාහිත්‍යය කෘති ඇගයීමට ලක්වුණු අතර ප්‍රශස්තම පර්යේෂණ බෞද්ධ කෘතිය ලෙස රාජකීය පණ්ඩිත පදියතලාවේ අමරවංශ හිමියන් විසින් රචිත “මලියදේව මහරහතන් වහන්සේ සහ සිංහල ජනශ්‍රැති” නමැති කෘතියට සම්මාන හිමි වුණා. බෞද්ධ සමාජයේ මුල්බැසගත් මතයක් වන ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ මලියදේව මහ රහතන් වහන්සේ යන්න පැවසෙන බැවින් සම්මාන හිමි වූ පර්යේෂණ කෘතිය කාගේත් කතා බහට ලක්වෙලා තියනවා.

* සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් පවත්වන්නට යෙදුණ බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී 2019 වර්ෂයේ ප්‍රශස්තම බෞද්ධ පර්යේෂණ කෘතිය ලෙස ඔබ වහන්සේ විසින් රචිත “මලියදේව මහරහතන් වහන්සේ සහ සිංහල ජනශ්‍රැති” ග්‍රන්ථයට සම්මාන හිමි වුණා. ඒ පිළිබඳව කතා කිරීමට පෙර ඔබ වහන්සේගේ තොරතුරු කිහිපයක් විමසා සිටින්න කැමැතියි.

මගේ උපන් ගම අම්පාර දිස්ත්‍රික්කයට අයත් පදියතලාව යි. ගැමි පරිසරයකින් අනූන ප්‍රදේශයක්. මගේ ගුරුදේවයන් වහන්සේ නැෙඟනහිර පළාතේ ප්‍රධාන සංඝනායක, දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති මීගහකිවුලේ සුගතවංශ නායක හාමුදුරුවෝ. මූලික අධ්‍යාපනය මාවරගල බ/ශ්‍රී ඥානප්‍රදීප පිරිවෙනින් ලැබුවා. ද්වීතීයික අධ්‍යාපනය මහනුවර අස්ගිරිය මහා විහාර මහ පිරිවෙනින් ලැබුවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා.

* මලියදේව මහරහතන් වහන්සේ ගැන පර්යේෂණයක් කිරීමට හිතුණේ කොහොමද?

දඹාන ප්‍රදේශයේ පිහිටි මාවරගල ආරණ්‍ය සේනාසනය වළගම්බා රාජ සමයට අයත් විහාරයක් බවත්, එහි පිහිටා ඇති විශාල ගල් තලාව මත ලීයෙන් සැකසූ ආසනයක වැඩ සිටිමින් මලියදේව මහරහතන් වහන්සේ ධර්මදේශනා කර ඇති බවටත් ජනප්‍රවාදයක් ඒ ප්‍රදේශයේ පවතිනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළාට පසු මේ පිළිබඳව නිවරැදිව පර්යේෂණයක් කරන්න ඕන බව හිතුණා. ඒ අනුවයි පර්යේෂණය පටන් ගත්තේ.

* මලියදේව මහරහතන් වහන්සේ සහ සිංහල ජනශ්‍රැති නමැති පර්යේෂණයේ අන්තර්ගතය ගැන යමක් සඳහන් කළොත්?

ඒ සඳහා මලියදේව මහරහතන් වහන්සේගේ ජීවන චරිතය, උන්වහන්සේ සම්බන්ධයෙන් ලියැවුණු “මලියදේව කථාව, ලියමහපාය විස්තර කථාව, අරන්කැලේ අස්න, වට්ටාරන් අස්න යන ඉපැරැණි ලියවිලි, ජනප්‍රවාද යටතේ අර්හත්භාවය ලබාගැනීම සම්බන්ධ ජනප්‍රවාද සහ සතර බුදු පිළිම වහන්සේ වන මාදන්වල , පුසුල්පිටිය, වට්ටාරම, දිද්දෙණිය යන විහාරයන්හි පිළිම වහන්සේ පිළිබඳ ජනප්‍රවාද ඇතුළු මලියදේව චරිතය සමඟ බැඳුණු ජනප්‍රවාද විශාල ප්‍රමාණයක් සහ උන්වහන්සේ වැඩසිටි බව විශ්වාස කෙරෙන විහාරස්ථාන හතළිස් එකක තොරතුරු ද, ජන කවි යටතේ මලියදේව කථා පුවත හෙවත් වට්ටාරම විස්තර කවි ඇතුළත්ව ජනකවි අනූවකට අධිකව ද ඇතුළත් කර තිබෙනවා. ඒවගේම ධර්ම දේශනා පැවැත්වූ ස්ථාන ආදිය ද සාකච්ඡා කර තිබෙනවා. මලියදේව මහ රහතන් වහන්සේ සම්බන්ධයෙන් පැවැති ජනශ්‍රැති විශාල ප්‍රමාණයක් ජනවිඤ්ඤාණයෙන් ඈත් ව ඇති බව පර්යේෂණය ක්‍රියාවට නැඟීමෙන් තහවුරු වුණා.ඇතැම්හු මලියදේව මහරහතන්වහන්සේගේ චරිතය සම්බන්ධයෙන් විස්මය දනවන පුවත් ද ගෙනහැර දක්වනවා.

* පර්යේෂණ ක්‍ෂේත්‍රයට සහ පාඨකයන්ට නව දැනුමක් එකතු කිරීමට ඔබ වහන්සේ විසින් රචිත ග්‍රන්ථය සමත්වී තිබෙනවා. ඒ පිළිබඳව යමක් සඳහන් කළොත්?

පර්යේෂණය නිමාවීමෙන් පසු මලියදේව මහ රහතන් වහන්සේ සහ සිංහල ජනශ්‍රැති සම්බන්ධයෙන් නිගමන ගණනාවකට ම එළැඹීමට හැකියාව ලැබුණා. මලියදේව මහරහතන්වහන්සේ නමින් හෙළදිව මහතෙරනමක් වැඩසිටි බව තහවුරු වුණා. ප්‍රධානම නිගමනය තමයි මලියදේව මහ රහතන් වහන්සේ හෙළදිව අවසන් මහ රහතන් වහන්සේ නොවන බව, මලියදේව මහ රහතන් වහන්සේ හා බැඳී ජනශ්‍රැති විශාල ප්‍රමාණයක් අලුතින් පාඨකයා ඉදිරියට ගෙනඒමට හැකියාව ද ලැබුණා. අප්‍රකට ජීවන චරිතය පිළිවෙළින් අනාවරණය කර ගැනීමට ද හැකි වුණා. මලියදේව චරිතය බෞද්ධ ජනයා වෙත සමීප කළ යුතුව තියෙනවා. ඒ එම චරිතය ගිහි-පැවිදි දෙපාර්ශ්වයට ම ආදර්ශවත්, කීර්තිමත් චරිතයක් වන නිසා. විවිධ මත ධාරීන්ගේ අදහස් ලේඛනගත කිරීමට කටයුතු කර තිබීම නිසා මලියදේව අර්හත් චරිතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මඟහැරී තිබෙනවා. මලියදේව මහරහතන්වහන්සේ හෙළදිව කඳුකර පෙදෙසෙහි (මලයරටෙහි) හෝ දඹදිව මලය රටෙහි හෝ උපන් බව අනාවරණය කර ගැනීමට ද හැකි වුණා. මලියදේව මහ රහතන් වහන්සේ මෙතරම් ප්‍රසිද්ධවීමට ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන්නේ සුවිශේෂ මතක ශක්තියක් පිහිටා තිබූ නිසා බව ද තහවුරු වුණා.

ඒවගේම උන්වහන්සේගේ කීර්තිය පැතිරීමට එකම සූත්‍ර දේශනාවකින් ධර්ම දේශනා කිරීමත් හේතු වී තිබෙනවා. හෙළදිව ස්ථාන සැටක දී සූත්‍රය දේශනා කරමින් හැටනම බැගින් අර්හත්භාවයට පමුණුවා ඇති බව ද අනාවරණය වුණා.

වළගම්බා රාජ චරිතය මෙන්ම මලියදේව මහ රහතන් වහන්සේගේ චරිතය ද ඓතිහාසික වැදගත්කම්වලින් යුතු පුදබිම්වල වැදගත්භාවය දැක්වීමට යොදාගෙන තිබෙනවා. සුවිශේෂ ඍද්ධිමය හැකියාවක් පැවැතීම, ශක්‍රදෙවියන් ඇතුළු දෙවිවරුන් සමඟ නිතර සම්බන්ධතා පැවැත්වීම ද මලියදේව චරිතය ගැමි බෞද්ධයන් අතර ප්‍රසිද්ධවීමට බලපා තිබෙනවා. මලියදේව මහරහතන් වහන්සේ හා බැඳී ජනශ්‍රැති තවදුරටත් අධ්‍යයනය කිරීමේ හැකියාව ද පවතිනවා. ඒවගේම මලියදේව මහරහතන් වහන්සේ ස්ථාන හැටක දී හැටදෙනකුට බැගින් ධර්ම දේශනා පැවැත් වූ බව ජන සමාජයේ පැවැතිය ද එය එසේ විය නොහැකි බව පර්යේෂණයෙන් දක්වා තියෙනවා. ඒ සම්බන්ධයෙන් එකඟවීමට නොහැකි පර්යේෂකයින්ට තවදුරටත් තොරතුරු සාකච්ඡා කිරීමේ හැකියාව ද පවතිනවා. මලියදේව මහරහතන් වහන්සේගේ ජීවිතයේ අවසන් සමය සම්බන්ධයෙන් තොරතුරු එතරම් වාර්තා නොවන නිසා ඒ සම්බන්ධයෙන් ද පර්යේෂණ කටයුතුවල නියැළීමේ හැකියාව ද පර්යේෂයන්ට විවෘතව පවතිනවා.