Print this Article


ලංකාවේ බෞද්ධ ස්තූප 17: කේශ ධාතූන් වහන්සේ වැඩ සිටින මහියංගණ සෑ රදුන් වහන්සේ

ලංකාවේ බෞද්ධ ස්තූප 17:

කේශ ධාතූන් වහන්සේ වැඩ සිටින මහියංගණ සෑ රදුන් වහන්සේ

ලංකාය යත්ථ පඨමං සුගතෝ නිසජ්ජ
යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය
ඨානෙ තහිං නිහිත කුන්තල ගීවධාතුං
වන්දාමි සාධු මහියංගන ථූපරාජං

බුදුරජාණන් වහන්සේ ස්වකීය ශාසනය ආරක්ෂා කරනු පිණිස පළමුවෙන් ලක්දිවට වැඩමවා යම් තැනක වැඩහිඳ යකුන් දමනය කළ සේක් ද, ඒ උතුම් ස්ථානයේ කේශ ධාතූන් වහන්සේ හා ග්‍රීවා ධාතුන් වහන්සේ නිදන් කොට කරවන ලද මහියංගණ සෑ රජුන් වන්දනා කරමි.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න කෝරළයේ මහවැලි ගඟ අසබඩ සුන්දර පින්බිමකි. එහි මහියංගණ රාජමහා විහාරය හා ස්තූපය පිහිටා ඇත.

වංශ කතාවේ සඳහන් වන්නේ ලංකාද්වීපයේ පළමුවරට තනවන ලද ජීව සර්වඥ කේශ ධාතූන් වහන්සේ තැන්පත් කළ, බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් පසුව ග්‍රීව ධාතූන් වහන්සේ තැන්පත් කරනු ලැබූ ස්තූප වහන්සේ වන්නේ ද මහියංගණ ස්තූපය බව ය. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් නවවන මස දුරුතු පුර පසළොස්වක පෝදා මහානාග නම් වන උයනේ විසූ යක්ෂ සමාජය දමනය කර මනුෂ්‍යයන්ට ධර්මාවබෝධය ලබාදීම සඳහා මහියංගණය ස්තූපය පිහිටි බිමට දඹදිව සිට ඍද්ධියෙන් වැඩි බවයි මහා වංශයේ සඳහන් වන්නේ. බුදුරජාණන් වහන්සේ උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතය සඳහා වැඩම කොට අනෝතත්තවිල සමීපයේ විවේකී සුවයෙන් වැඩි සිටි සේක. එම අවස්ථාවේ දී බොහෝ කල් බුදුදහම පවතින්නේ ලංකාද්වීපයේ යැයි උන්වහන්සේ දිවැසින් දුටු සේක. ඒ වන විට ලංකාද්වීපයේ විශාල යක්ෂ සේනාවක් බලය පතුරුවාගෙන සිටියහ. ඒ යක්ෂ සේනා බලය ඉවත් කර බුද්ධානුභාවය පිහිටු වූයේ නැති නම් අනාගතයේ දී ලංකාද්වීපයේ බුද්ධ ශාසනය පිහිටුවන්නට බාධා වන බව දුටු සේක.

ඍද්ධියෙන් වැඩි බුදුරජාණන් වහන්සේ මහියංගන ස්තූපය ඉදිවන ස්ථානයෙහි යක්ෂ සමාජය දමනය කිරීම සඳහා ආකාසයේ සිට ඝන අන්ධකාරයක් මැවූ සේක. ඒ අන්ධකාරයට යක්ෂ සේනාවෝ බිය විය. ඒ අයත් ඍද්ධියෙන් තම තමන්ගේ ආලෝක පතුරුවන්නට උත්සාහ කළත් නොහැකි විය. ඒ අන්ධකාරය මැදින් බුදුරජාණන් වහන්සේ රශ්මි දහරා විහිදුවමින් ආකාසයේ වැඩ සිටි සේක. සියලු දෙනාට පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. යක්ෂ සේනාවෝ කෑ ගසා කියනවා “අපට අභය දෙන්න. අපට අභය දෙන්න” යැයි කියා. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ වදාළා, ඔබට මම අභය දෙන්නෙමි. මට දැන් අසුන් ගන්න තැනක් දෙන්න යැයි කියා. ඉන් අනතුරුව යක්ෂ සේනාවෝ “ස්වාමිනි මෙතැන වැඩ සිටින සේක්වා’යි ආරාධනා කළහ. බුදුරජාණන් වහන්සේ ආකාසයේ වැඩ සිටිමින් පත්කඩය වැඩම කර බිම ඇතිරූ සේක. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ පත්කඩයෙහි වැඩ සිටි සේක.

බුදුරජාණන් වහන්සේ විසින් යක්ෂයන්ගේ බිය දුරුකර ඔවුන් සිලු දෙනා ගිරි දිවයිනට පිටත් කර යවනු ලැබූහ. ඉන් පසු මිනිසුන්ට ධර්ම දේශනා පැවැත් වූ සේක. දුරුතු පුන් පෝදා මුළු ලංකාද්වීපය ම බුද්ධ ආනුභාවය පැතිරී ගියේ ය. එම අවස්ථාවෙහි එහි පැමිණ සිටි දෙවිවරු ආකාසයේ බැබළි බබැබළී සාධුකාර දෙමින් මල් වරුසා වැස්ස වූහ. ඒ දෙවියන් අතර බැබළි බැබළි සමන් මලක් වන් සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියෝ ද සිටියහ.

බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියෝ ඉලක්ක කර ගනිමින් දෙවියන්ට දහම් දෙසූ සේක. අසූහාරදහසක් දෙවිවරු මහියංගන සෑ මළුවේ දී ධර්මාවබෝධය ලැබූහ. ශ්‍රී සද්ධර්ම දේශනය අවසානයේ සොතාපන්න ඵලයට පත් වූ සුමන සමන් දෙව් රජු “ස්වාමීනි, අපට වන්දනා කිරීමට කිසියම් වූ පූජාර්භ වස්තුවක් ලබා දෙනු මැනවැ’යි ඉල්ලා සිටියේ ය.

එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේගේ හිස පිරිමැද කේශ ධාතු මිටක් ලබා දුන් සේක. සුමන සමන් දෙව් රජු රන් කරඬුවකින් කේශ ධාතූන් වහන්සේ පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ, මිනිපේ මහා නාග උයනේ එනම්, වර්තමානයේ ස්තූපය පිහිටි ස්ථානයේ කරඬුව තැන්පත් කොට සත් රියන් උස ඉන්ද්‍ර නීල මාණික්‍යමය ස්තූපයක් කළේ ය.

මේ අනුව බුදුරජාණන් වහන්සේ වැඩ සිටීමෙන් අති පවිත්‍ර වූ පූජනීය භූමියේ ඉදිකරන ලද ලක්දිව මුල් ම ස්තූපය මහියංගණ ස්තූපයයි. ජීවමාන කේෂ ධාතූන් වහන්සේ තැන්පත් කොට තිබෙන අති උතුම් ස්තූපය ද වන්නේ ය. මෙම ස්තූපය “මියුගුන දාගැබ”, “මල් සෑය” නමින් ද හැඳින්වේ.

පසු කාලයේ දී එනම් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බුදුරජාණන් වහන්සේගේ ග්‍රීව ධාතූන් වහන්සේ මෙම ස්තූපයේ තැම්පත් කොට අඩි 18 ක් උස ස්තූපයක් ඉදිකර ඇත. මෙම ස්තූපය

ඝණ්ටාකාර හැඩය අනුව නිමවූ ස්තූපයක් ලෙසින් ද හඳුන්වා ඇත.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුව සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ ඍද්ධිමත් වූ සරභූ මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය සිදුකළ දර සෑයෙන් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීව ධාතූන් වහන්සේ ඍද්ධියෙන් වැඩම වූහ. ඉන් අනතුරුව මහ රහතන් වහන්සේ 99 නමකගේ සහභාගිත්වයෙන් සත්රියන් ඉන්ද්‍රනීල මානික්‍යමය ස්තූපයේ තැන්පත් කොට මේදොවර්ණ පාෂාණයෙන් එය දොළොස් රියනක් උසට ඉදි කළහ. එසේ ම මෙම පාෂාණ හිමාල වනයෙන් හෝ සාංචි පුරවරයෙන් ගෙන්වා ගත් බව ද සඳහන් වේ.

පසු කාලයේ දී දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා වූ උද්ධචූළාභය කුමරු විසින් මෙම ස්තූපය ශෛලමය තිස් රියන් උස ස්තූපයක් ලෙස ප්‍රතිසංස්කරණය කරවා ඇත. ක්‍රී. පූ. 2 වැනි සියවසේ දුටුගැමුණු රජතුමා විසින් මෙම ස්තූපය ගඩොලින් අසූ රියනක් උසට බැඳ ප්‍රතිසංස්කරණය කොට ආරක්ෂකයෝ ද යොදවා ස්තූපයේ නඩත්තුව සඳහා ගම්බිම් ද පූජා කරන ලදී. වෝහාරිකතිස්ස රජු ස්තූපයට ඡත්‍රයක් සවි කළ බව ද දෙවන සේන රජු, සතරවන කාශ්‍යප රජු, පළමුවැනි විජයබාහු රජු, නිශ්ශංකමල්ල රජු, සයවෙනි පැරකුම්බා රජු, වීරවික්‍රම රජු, නරේන්ද්‍රසිංහ රජු සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ද යන රජවරුන් විසින් ස්තූපය ප්‍රතිසංස්කරණය කරමින් ගම්වර ද පූජා කොට ඇත.

ලංකාද්වීපයේ ආධිපත්‍ය එනම් විදේශීය පෘතුගිසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය යන යුගවලට නතුව තිබූ කාලයේ දී නටබුන් ව තිබූ මහියංගණ ස්තූපය ඉද්දමල්ගොඩ ධර්මපාල හිමියන් හා යටවත්තේ චන්ද්‍රජෝති හිමියන් විසින් ද ඒ ඒ කාලයන් හි දී ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකොට ඇත. ඒ අවධියෙන් පසු නිදහස ලැබෙන තුරුම නැවත ස්තූපය ගරා වැටී ඇත. නිදහසින් පසු ස්තූපය චෛත්‍ය වර්ධන සමිතිය විසින් මහියංගණ ස්තූපය වර්තමානයේ පවතින ආකාරයට ප්‍රතිසංස්කරණය සිදු වූ බවයි සඳහන් වන්නේ. වර්තමානයේ දක්නට ලැබෙන ස්තූපය අඩි 138ක් උසැති ය.