Print this Article


ස්වාමි දුවගේ ගැහැට විඳි රජ්ජුමාලා දාසිය දෙව්ලොව ගිය හැටි

ස්වාමි දුවගේ ගැහැට විඳි රජ්ජුමාලා දාසිය දෙව්ලොව ගිය හැටි

අවට පරිසරයේ තිබුණේ තද සීතලක්. හරියට හිම වැටෙනවා වගේ. ඒ පාන්දර අවදි වී එම සිතට වගේ ම ගතටත් එක් කළේ පීඩාවක්.

ස්වාමි දුව අවදිවීමට පෙර තමා නිවසේ වැඩ පටන් ගත යුතු බව ඇය දැන සිටියා. ඇය සීතලේ ගැහි ගැහී එදා කළයුතු වැඩ මෙනෙහි කළා. හැමදාම එක විදිහ යි. විවේකයක් නැති තරම්. ඇගේ දෑසට නැඟුණු උණු කඳුළු කම්මුල පුරා ගලාගෙන ගියා.

ඒ දාසිය සිටියේ ගයාව කියන නගරයේ. ඇය විසූ නිවසේ ස්වාමි දියණිය ක්‍රෝධ සිත් ඇති චණ්ඩි, නපුරු ස්ත්‍රියක්. ඇය මෙම දාසියට අකාරුණික යි. ඇය දුටු විට ක්‍රෝධයෙන් නින්දා කරමින් බැණ වැදුණා. වද වේදනා දුන්නා. නිවෙසේ සියලුම වැඩ කළත් අක්‍රෝශ කළා. සසරේ පෙර වෛරයක් නිසා දෝ ඇයට නිතර ම ගුටිබැට තමයි ලැබුණේ. ඇගේ දිග කෙස් වැටියෙන් අල්ලාගෙන නිතර පහර දුන්නා. මේ පහරදීම ඇයට ඉවසුම් නුදුන්නා.

“දිගු වරලස නිසයි මේ දුක. මම හිස මුඬු කර ගන්නවා”.

දාසිය නාන තොටුපළට ගොස් වරලස කොට වන ලෙස කපා දැමුමා. ඒ බව දුටු ස්වාමි දියණිය බොහෝ කෝප වුණා. වෛරයෙන්, ක්‍රෝධයෙවන් ඒ දෙනෙත් ගිනි ගත්තා.

“ඒයි දාසිය, නුඹ කෙස් වැටිය කපා දැමුවේ නිදහස් වීමට සිතාගෙන ද? මගෙන් නම් තිට කවදාවත් නිදහස්වීමක් නැහැ. තී එකටෙක කරන්නේ මා විඩාවට පත් කරන්න ද?” කියමින් රැහැන් පටක් ගෙන දාසියගේ හිස වටා බැඳ එයින් අල්ලාගෙන එදා සිට ඇයට පහර දීමට පටන් ගත්තා. රැහැන ලිහන්නට ඇයට නොහැකි වූ නිසා ඒ දාසිය රජ්ජුමාලා නමින් ප්‍රසිද්්ධ වූවා. රජ්ජුමාලාට ස්වාමි දුවගේ අක්‍රෝශ ඉවසීමට නොහැකි වුණා. ඇයට පෙනෙන තෙක් මානයක පිළිසරණක් තිබුණේ නැහැ. ඇය බේරා ගන්න පිහිටවෙන්න කවුරුවත් සිටියේ නැහැ.

“මෙහෙම ජීවත් වෙලා මොකට ද?”

තනිව ම සිතූ රජ්ජුමාලා හුන් තැනින් නැඟිට කළය අතට ගෙන වතුර ගෙන එන්නට මෙන් සෙමින් නිවසෙන් නික්මී ගියා. යන පාරේ ඈතට වෙන්න කළය තිබ්බා. වන ලැහැබ ඇතුළට ගියා.

“මම අද මෙතැන දී ම මැරෙනවා. මේ ජීවිතය මහ දුකක්. ඇයි මට ම මේ තරම් දුකක්?”

රජ්ජුමාලා කතා කළේ තනිවම යි. අතට ගත් රෙදිපටිය හිර වෙන්න තොණ්ඩුව ගැට ගසා ගහක එල්ලුවා. වනයේ පෙනෙන්නට කවුරුත් ඉන්නවාද කියලා වටපිට බැලුවේ හිතේ කුතුහලයෙන්. ඇයගේ ඇස් නැවතුනේ එක ගසක් මුලයි.

“වනාන්තරයේ තනියම ඉන්න මේ උත්තමයා කවුද? මිනිසෙක් ද? නැතිනම් දෙවි කෙනෙක් ද? දුටු දුටුවන් පහදින ප්‍රසාදනීය පෙනුමක්. ඇත්තෙන් ම ඇත්තේ ශාන්තනීය පෙනුමක්. මේ උත්තමයාගේ ඉඳුරන් ශාන්තයි. දිඹුල් මලක් දැක ගැනීමත් මේ වගේම යි. මේ උත්තමයා එසේ මෙසේ කෙනෙක් නම් නොවේ. මේ නම් බුදුරජාණන් වහන්සේ ම තමයි.”

භාවනා ඉරියව්වෙන් වැඩ සිටින තථාගතයන් වහන්සේ දකිමින් රජ්ජුමාලා ස්ථිරව ම සිතුවා.

රජ්ජුමාලාගේ සිත දැන් තැන්පත්. ඒ සිතේ පින මෝරාගෙන එමින් තිබුණා. භාග්‍යවතුන් වහන්සේ මෘදු වචනයෙන් කතා කළා.

“පින්වත් රජ්ජුමාලා, මේ ජීවිතය දෙස ගැඹුරින් බලන්න. ඉපදුන සත්ත්වයාට තිබෙන දුක තමයි ඔබටත් මේ තිබෙන්නේ. මේ තමයි දුක, දුකෙහි හට ගැනීම, මේ තමයි දුක නිරුද්ධ වීම, ඒ අමා නිවන කරා යන මාර්ගය මේකයි. කෙමෙන් කෙමෙන් ඇය ජීවිතය ගැන තේරුම් ගත්තා.

ඒ වදන්වල කිසිම දෝෂයක් නැහැ. හරිම අර්ථවත්. පිරිසුදු යි. මිහිරි යි. බුද්ධිමත්. හැම ශෝකයක් ම දුරු වෙනවා. රජ්ජුමාලා ඒ හැම වචනයක් ම අහගෙන හිටියා.

ඇයගේ හිත පැහැදුණා. අවබෝධයට සුදුසු පරිදි සකස් වුණා. ඒ බව දත් සකල ලොවට හිතැති තථාගතයන් වහන්සේ ඇයට දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙළ කියා දුන්නා.

ලෝකානුකම්පා ඇති, නිවන් මගෙහි දක්ෂ වූ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයෙහි ඇය පිහිටියා. ඒ ශාන්ත වූ අමරණීය වූ අමා මහා නිවන ඇයට තේරුණා. ඒ චතුරාර්ය සත්‍ය දර්ශනය නමැති අවබෝධය නිසා දැඩි සතුටට පත් වුණා. මුළු හදවතින් ම ඇය භාග්‍යවතුන් වහන්සේ සරණ ගියා.

සියදිවි නසා ගැනීමේ අදහසක් දැන් අය තුළ නැහැ. සිතේ තිබුණේ දෝරේ ගලා ගෙන යන සතුටක් විතරයි. ජීවිතය පුරා මහා සැහැල්ලුවක් තිබුණා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ දණ නමා බොහෝ ගෞරවයෙන් වන්දනා කොට උන්වහන්සේගේ ගුණ සිහි කරමින් ඇය වතුර කළය ගෙන ගෙදර ගියා.

“ඔබ දිය ගෙන එන්නට ගොස් මෙ තරම් පරක්කු වුයේ මන්ද? අද ඔබගේ මුහුණ ඉතා ප්‍රසන්න යි. කවර හෝ සතුටකින් නේද ඔබ ඉන්නේ? නිවස ඉදිරියේ දී බමුණා ඇසුවා. රජ්ජුමාලා සෙමින් සෙමින් ඇගේ සිතේ සතුට වචනවලට පෙරලුවා.

ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට යහපත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකානුකම්පාවෙන් යුතුව දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ධර්මය දේශනා කරන ආකාරය රජ්ජුමාලා ස්වාමියාට කියා දුන්නා.

තම දාසියගේ කතාව ඇසූ බමුණා ඉතාමත් පී‍්‍රතියට පත්ව භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් වැඳ තම නිවසේ දානයක් සඳහා ආරාධනා කළා. ඒ ආරාධනාව පිළිගත් උන්වහන්සේ බමුණාගේ නිවසට පැමිණ ධර්මය වදාළා.

ස්වාමි දියණිය තිසරණ සරණ පිහිටියා. ඒ බමුණා සෝවාන් ඵලයට පත්වුණා. ඒ රජ්ජුමාලා නම් වූ දාසිය දාසි බවින් මිදුණා. ඇය සිත් සේ පින්දහම් කරමින් කාලය ගත කළා.

කාලයකට පසු රජ්ජුමාලා මිනිස් ලොව අත් හැරියා. මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නා.

දිනක් මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොව චාරිකාවේ වැඩි අවස්ථාවේ දී බොහෝ සැප සම්පත් විඳිමින් සිටින මේ දෙව් දුව දුටුවා. ඒ දෙව්දුව සුන්දර රූපයකින් බැබළුණා. හැම දිසාවක් ම බබුළුවන තාරුකාවක් වගේ.

දෙව්දුව ගේ ශරීරයෙන් ඉතා කන්කළු වූ මනරම් වූ සියුම් නාදයක් නිකුත් වෙනවා. ඇය වෙතින් ඉතා මනරම් වූ, දිව්‍ය සුගන්ධයක් නිකුත් වෙනවා. නටන සිරුර ලෙළෙදෙන විට කේශ කලාපයෙන් ඇති සුන්දර පළඳනාවලින් මිහිරි නාදය ඇසනේනේ පංචාංගික තුර්යය නාදයක් වගේ.

ඇගේ හිස මුදුනේ මල් කළඹක් තිබෙනවා. මද සුළඟින් ඒ මුදුන් මල් කළඹ සැලෙද්දී එයිනුත් මිහිරි නාදය ඇහෙන්නේ පංච තූර්යය නාදයක් වගේ.

ඇය හිස පළඳාගෙන සිටින මල් හරිම ලස්සනයි. හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරී යන්නේ පිපී සුවඳ හමන මඤ්ජූසක වෘක්ෂයක් වගේ.

පින්වත් දෙව්දුව, මේ සොඳුරු රූපය ඔබට ලැබුණේ මොන වගේ කර්ම විපාකයක් ලෙස ද? මේ සොඳුරු සුගන්ධය ඔබට ලැබුණේ කොහොම ද? පෙර ජීවිතයේ මොන වගේ කර්මයක විපාක හැටියට ද?

“පින්වත් ස්වාමින් වහන්ස, මම සරණ ගිය ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසයි මේ හැම දේ ම ලැබුණේ. උන්වහන්සේ වදාළ ඒ සුන්දර දහම මට තේරුණා. ඒ දහම මම, මගේ ජීවිතයට ගළපා ගත්තා. ඒ නිසයි මනුස්ස ලෝකයේ දී මහා දුකක් විඳිමින් සිටි මම දැන් මේ දිව්‍ය ලෝකයේ දී මෙ තරම් සැප විඳින්නේ.

මා ප්‍රබෝධවත් කරන්නට තුර්ය වාදක හැට දහසක් තිබෙනවා. ඒ වගේම මේ දිව්‍ය අප්සරාවන් දිව්‍ය සංගීතයෙන් ගී ගයනවා. සිත් පුබුදු කරවන තවත් අප්සරාවන් නටමින් ඉන්නවා. ඒ අය මාව සතුටු කරනවා. දෙව්දුව අපි නටමු. සිංදු කියමු. අපි ඔබ ව සංතෝෂ කරනවා.” කියමින් මා වටා දැවටෙමින් සිටින්නේ.

පින්වත් ස්වාමින් වහන්ස, තව්තිසා දිව්‍ය ලෝකයේ යන්න කැමැති උදවිය වැඩි වැඩියෙන් පින් කරන්න ඕනේ. පින් කළ උදවිය විතරම යි සැප සම්පත් ලබාගෙන සතුටු වෙන්නෙ පුළුවන්කම ලැබෙන්නේ.”

“මම ඉන්නේ සතුටින්. කෙළි සෙල්්ලම් කරනවා. පී‍්‍රති වෙනවා. සතර අපා බයක් මට ඇත්තේ ම නැහැ. දිව්‍ය මල් මාලා දරාගෙනයි මම ඉන්නේ. මධු මද්දව නම් නදියෙන් තමයි පැන් බොන්නේ.”

ස්වාමීනි, මම නැවත කියන්නේ මේ දිව්‍ය විමානය පින් නො කළ උදවියට ලැබෙන්නේ නැහැ. පින් කළ උදවියට ම යි මේ සෝක නැති සිත්කළු තව්තිසාවේ නන්දන වනය ලැබෙන්නේ. පින් නො කළ උදවියට මෙලොව හෝ පරලොව සැපයක් ලබන්නේ බැහැ. මෙලොව පරලොව දෙකේ ම සැප ලැබෙන්නේ පින් කළ උදවියට යි.

රජ්ජුමාලා දෙව්දුව මුගලන් මහ රහතන් වහන්සේට එසේ පවසා වන්දනා කර එතැනින් නික්ම ගියා.