Print this Article


උදාර දිවියක පිය සටහන්: උතුම් වූ පූජනීය පැවිදි ජීවිතය

මෙවර උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ ගාලු බස්නාහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය බළංගොඩ සෝභිත නා හිමිපාණන් වහන්සේ ය.

උතුම් වූ පූජනීය පැවිදි ජීවිතය

අපේ හාමුදුරුවනේ, නූතන පිරිවෙන් අධ්‍යාපනයේ මූලස්ථානය වශයෙන් සැලකෙන විද්‍යෝදය පිරිවෙන් අධිපතිත්වය දරන ඔබ වහන්සේගේ පැවිදි ජීවිතය පිළිබඳ ව අතීතාවර්ජනයක යෙදෙනවා නම්,

අකුරැටියේ ශ්‍රී අමරවංශ නා හිමිපාණන් වහන්සේ හා අගුලියේ ශ්‍රී ජනානන්ද නා හිමිපාණන් වහන්සේ යන දෙනමගේ ආචාර්යත්වයෙන් 1966 වර්ෂයේ දී ගාල්ල පෝද්දල පහළ කිඹිය පුරාණ විහාරස්ථානයේ දී බළංගොඩ සෝභිත යන උතුම් ශාසනික නාමයෙන් පැවිදි දිවියට එළඹුණා. එම කාලවකවානුව තුළ පැවිදිවීමට පෙර මාස 6 ක් හෝ ඊට වැඩි කාලයක් විහාරස්ථානයෙහි රැඳෙමින් සියලු වත්පිළිවෙත් පුරුදු පුහුණු වීම අවශ්‍යයයි. විශේෂයෙන් පාලි සංස්කෘත උච්චාරණ පුහුණුව සඳහා නම්පොත, බුද්ධගජ්ජය, මඟුල් ලකුණ, සකස්කඩය,ප්‍රත්‍යසතකය, ආදී ග්‍රන්ථ කටපාඩම් කළ යුතුයි. ඒ සියල්ල තුළින් නිවැරැදි අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබුණා. එම සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම කුල දරුවා පැවිදි වීමට සුදුසුද? නැද්ද? යන වග එවකට වැඩ සිටි සම්භාවනීය හිමිපාණන් වහන්සේලා විසින් තීරණය කළා.

බණදහම් පොත, පිරිත්පොත, බාලාවතාරය, සිඳත්සඟරාව, ආදී වශයෙන් සාමණේර දිවියට අවශ්‍ය සියල්ල කටපාඩම් කිරීමට යොමු වුණේ අනතුරුවයි. ධර්ම අධ්‍යාපනය හා ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා ගාල්ල විද්‍යාලෝක පිරිවෙනට ඇතුළත් වුණා. එහිදී ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම යන ප්‍රාචීන විභාග සමත්ව, උසස් පෙළ ප්‍රතිඵල අනුව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී පන්ති සාමාර්ථයක් සහිතව ශාස්ත්‍රවේදී උපාධිය සමත්ව ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධිය දක්වා අධ්‍යයන කටයුතු සිදුකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ හා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ දේශන සඳහා සම්බන්ධවීමට අවස්ථාව ලැබුණා. වසර 10 කාලයක් කොළඹ විශ්ව විද්‍යාල අධ්‍යාපන පීඨයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළා.

1979 වර්ෂයේ දී ආචාර්යවරයකු වශයෙන් මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට සම්බන්ධවීමෙන් සියලු අංශවල අත්දැකීම් ලබා ගැනීමටත්, සියලු පිරිවෙන් විෂයයන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත් අවස්ථාව උදා වුණා. එවකට වැඩ සිටි සම්භාවනීය වියත් ස්වාමීන් වහන්සේලා යටතේ අධ්‍යාපනය ලබාගනිමින් රාජකීය පණ්ඩිත උපාධිය ලබාගෙන එම පිරිවෙන තුළ උප ප්‍රධානාචාර්යවරයකු වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණා.

ඒ අතරතුර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආරම්භ කළා. මාලිගාකන්ද විද්‍යොදය ආයතනය,පෑලියගොඩ විද්‍යාලංකාර ආයතනය,බලගල්ල සරස්වතී ආයතනය හා සද්ධර්මාකර ආයතනය වශයෙන් එයට ආයතන හතරක් ඇතුළත් වුණා.

විශ්ව විද්‍යාල ආයතන හැටියට ස්වාමීන් වහන්සේලාට උපාධි ලබාගැනීම සඳහා අධ්‍යයන කටයුතු කරනු ලැබුවා. ඒ තුළ අධ්‍යාපන මනෝවිද්‍යා දේශකයකු ලෙස කටයුතු කරමින් සිටියදී 1983 වර්ෂයේ සිට වසර ගණනාවක් එහි ලේඛකාධිකාරී වශයෙන් ද, 1994 වර්ෂයේ දී එහි ආයතනාධිපති වශයෙන් ද කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා.

එහිදී ලේඛකාධිකරීවරයකු හා ආයතනාධිපතිවරයකු වශයෙන් අධ්‍යාපනමය හා පරිපාලනමය වශයෙන් විශාල අද්දැකීම් සම්භාරයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වුණා.

එවකට පරිවේණාධිපති ව වැඩ සිටි අකුරැටියේ ශ්‍රී අමරවංශ නාහිමිපාණන් වහන්සේ 2007 වර්ෂයේ දී අපවත්වීමත් සමඟ විද්‍යෝදය පිරිවෙනේ පරිවේණාධිපති වශයෙන් පත්කිරීමට පාලක සභාව විසින් කටයුතු කරනු ලැබුවා.

විද්‍යොදය පරිවේණාධිපති වශයෙන් ඔබ වහන්සේ ලබාගත් අත්දැකීම් අනුව,භික්ෂු ආකල්ප වැඩිදියුණු කරගැනීමට භික්ෂු අධ්‍යාපන රටාව වෙනස් විය යුතු ද?

භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය ලබාදෙන අතරම යහපත් භික්ෂු ආකල්ප පිළිබඳ පුහුණුවක් ලබාදීම අවශ්‍යයි. පැරැණි අධ්‍යාපන රටාව සහ පැවිදිවීමේ දී එවකට පැවැති සම්ප්‍රදායන් වන වත්පිළිවෙත් පුහුණුව, ආකල්ප පුහුණුව වර්තමානය තුළ දකින්න අඩුවීම සාමණේර ස්වාමීන් වහන්සේලාට අහිතකර තත්ත්වයක් උදාකරනවා.

යම් යම් ගැටලු මතුවීමට හේතුව පැවිදිවීමට පෙර ඉහත සඳහන් පරිදි කළ යුතු නිසි වැඩපිළිවෙළ හා එම කාර්යභාරය වර්තමානය තුළ නිවැරැදිව සිදු නොවීමයි. පිරිවෙන තුළින් විභාගය සමත් වීමට අවශ්‍ය දැනුම පමණයි ලැබෙන්නේ. භික්ෂු ජීවිතයට අවශ්‍ය පසුබිම සඳහා නිවැරැදි අධ්‍යයනයකින් යුතු පුහුණුවක් ලැබීමට වර්තමාන අධ්‍යාපන ක්‍රමය සකස්ව නැති ස්වභාවයක් පවතිනවා. භික්ෂු ආකල්ප මොනවා ද? භික්ෂුව යනු කවරෙක් ද? පුරුදු පුහුණු විය යුත්තේ කුමක් ද?

පිළිබඳ අවබෝධයක් නැති බවක් දකින්න පුළුවන්. ඇතැම් විහාරස්ථාන තුළින් හා පිරිවෙන තුළින් නිවැරැදිව එම කාර්යභාරය ඉටු නොවීමත් හේතුවක්. ආකල්ප සකස් කිරීමට අධ්‍යාපන රටාව වෙනස් විය යුතුයි. පැවිද්ද තුළ තිබෙන උතුම් බව ආරක්ෂා කරගැනීමටත්,පැවිදි ජීවිතයට අවශ්‍ය කරන හුරුපුරුදු , භික්ෂුවට අයිති කාර්යභාරය පිළිබඳ අවබෝධය හා ශාස්ත්‍රීය අධ්‍යාපනය විහාරස්ථාන හා පිරිවෙන තුළින් ලබාදිය යුතුවා සේ ම, ඒ සඳහා ගැලපෙන පරිදි අධ්‍යාපන රටාව ද වෙනස් විය යුතුයි.

සාමණේර භික්ෂූන් වහන්සේලා එම දිශානතියට යොමු කිරීමේ වගකීම ආචාර්යවරයන් වහන්සේලාට පැවරෙන කාර්යයක් බවත් සිහිපත් කළ යුතුයි. පිරිවෙන් තුළ කටපාඩම් කිරීම ඇතැම් අවස්ථාවල අඩු ස්වභාවයක් දකින්න පුළුවන්. අතීතයේ භික්ෂූන් වහන්සේට ඉහත සඳහන් කළ පැරැණි ග්‍රන්ථ සම්පූර්ණයෙන් අධ්‍යයනය කිරීමත්, හොඳීන් කටපාඩම් කිරීමත් නිසා ඒ තුළින් ලබාගත් ජීවිතාවබෝධය ධාර්මිකව හා විනයානුකූලව

ඕනෑම ගැටලුවකට සාර්ථක ව මුහුණදීමටත්, නිවැරැදිව ප්‍රශ්න විස¼දීමේ ශක්තියත් පැවතුණා.

තුන්පිටකය දැනගැනීමෙහිලා සාමණේර ස්වාමීන් වහන්සේලා දක්වන රුචිකත්වය පිළිබඳව ඔබ වහන්සේට සෑහීමකට පත්විය හැකි ද?

සූත්‍ර, විනය , අභිධර්ම යන පිටක තුනට අයත් පොත් 57 පිළිබඳ අවබෝධය ලබාගත යුතුයි. ත්‍රිපිටකය ඉගෙනීමේදීත්, ත්‍රිපිටකයට අයත් යම් යම් කොටස් ගෙන ඒ තුළින් සකස් කරන ලද පොත් පරිශීලනය කිරීමෙන් අදාළ කොටස පමණක් අධ්‍යයනය කිරීමට යොමුවීම නිසා සම්පූර්ණ ග්‍රන්ථය පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැහැ.

පැරැණි අධ්‍යාපන ක්‍රමය තුළ සම්පූර්ණ ග්‍රන්ථය තුළින්ම අධ්‍යයන කටයුතු සිදු කිරීමට එම අධ්‍යාපන රටාව සකස් ව පැවතුණා. ත්‍රිපිටකය අධ්‍යයනය කරන තරමට එහි රසවත් බව වැඩියි. එය තමන්ගේ ජීවිත අවබෝධය ඇති කර ගන්න ලොකු පිටුවහලක් වෙනවා. ත්‍රිපිටකය ඉගෙනීමට අවශ්‍ය පසුබිම වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ සකස්ව නැහැ. පිරිවෙන් අධ්‍යාපනය අවසන් බව ප්‍රකාශ කරමින් උසස් පෙළ විභාගය හරහා විශ්ව විද්‍යාලයට යන ස්වභාවයක් දකින්න පුළුවන්. පාලි සංස්කෘත දැනුම අඩු පිරිසක් බිහිවන්නේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය සකස්ව පවතින ක්‍රමය අනුවයි.

ආදර්ශවත් පැවිදි ජීවිතයක් ගොඩනඟාගැනීමට සාමණේර හාමුදුරුවන් වහන්සේලාට ලබාදිය යුතු අවවාද සිහිපත් කරනවා නම්, පැවිදි ජීවිතයට අවශ්‍ය පෙර පුහුණුවීම් ආචාර්වරයන් වහන්සේලා විසින් කුඩා හාමුදුරුවරුන්ට සකස් කර දිය යුතුයි.

කුඩා අවධියෙහි සිටම ඒ සඳහා යොමුකිරීමේ කර්යභාරය උන්වහන්සේලා වෙතින් ඉෂ්ට වෙනවා නම්, පුංචි හාමුදුරුවන් වහන්සේලා එම කටයුතු ඉදිරියට කරගෙන යාවි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා යොමු නොකර ප්‍රාචීන අධ්‍යාපනයට උන්වහන්සේලා යොමු කිරීමටත්, ආචාර්යවරයන් වහන්සේලා විසින් සිදු කළ යුතුයි.

භික්ෂූන් වහන්සේලාට අතීත උරුමයක් පවතිනවා. එවකට වැඩ සිටි සම්භාවනීය ස්වාමීන් වහන්සේලා විසින් ආරක්ෂා කරගෙන පැමිණි ප්‍රාචීන භාෂා හා ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ඉදිරියටත් ආරක්ෂාකරගෙන යාමට පොඩි හාමුදුරුවන් වහන්සේලා යොමු කළ යුතුයි.