Print this Article


උවදුරු දුරු කරන්න සැදැහැ සිතින් පිරිත් අසන්න

 උවදුරු දුරු කරන්න සැදැහැ සිතින් පිරිත් අසන්න

බුදු දහම සම්පූර්ණයෙන් ම සත්ත්වයාගේ පිහිට, ආරක්ෂාව සඳහා දේශිත දහමකි. මෙලොව ආරක්ෂාව හා පරලොව ආරක්ෂාව යනුවෙන් එය දෙයාකාර වේ.

මේ දෙයාකාර වූ ආරක්ෂාවන් සඳහා බුදු දහමෙහි සැකසුණු ප්‍රතිපදාවන් සමුදායක් ඇත. පිරිත් දේශනාව යනු ඉන් මෙලොව පැමිණෙන කායික, මානසික හිරිහැර, කරදර හා සම්බාධක ඉලක්ක කොට සකසා ඇති වැඩ පිළිවෙළකි.

පිරිත් යන්නට පාලි භාෂාවෙන් ‘පරිත්ත’ යන වචනය යෙදේ. එහි තේරුම වන්නේ පිහිට හෙවත් ආරක්ෂාව යන්නයි. එබැවින් මිනිසාගේ අභාග්‍යය, අවාසනාව, ලෙඩ දුක්, විපත්, හිරිහැර, කරදර යනාදිය මඟහරවා ගැනීමට යොදා ගත හැකි බුද්ධ දේශිත සූත්‍ර විශේෂයක් ලෙස පිරිත් හඳුනා ගත යුතු ය.

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ම දීඝායු කුමාරයා මරණයෙන් බේරා ගැනීමට උපකාර වූයේ පිරිත යි. මහාකාශ්‍යප, චුන්ද හා ගිරිමානන්ද යනාදී මහරහතන් වහන්සේලාගේ දරුණු ආබාධ මඟහරවා ගැනීම සඳහා ද බුදුරජාණන් වහන්සේගේ නියමයෙන් මෙම පිරිත් දේශනා භාවිත කරන ලදී.

එසේම විශාලා මහනුවර මිනිසුන්, මෙකල කොරෝනා රෝගයට සමාන රෝගයකින් පෙළෙමින්, දහස් සංඛ්‍යාත ගණන් මැරෙමින් එනිසා ම පැමිණෙන යක්ෂ, භූත, ප්‍රේත, පිශාචාදීන්ගෙන් වන හිරිහැරවලට ද භාජනය වෙමින්, දුර්දශාපන්න කාලයක් ගෙවූ අවස්ථාවක දී බුදුන් වහන්සේගේ නියමයෙන් ආනන්ද හිමියන් විසින් රතන සූත්‍රය සජ්ඣායනා කරමින් පිරිත් පැන් නගරයේ ඉස, උවදුරු දුරු කළ බව ඉතා ප්‍රකට කරුණකි.

වරු පිරිත්, සර්ව රාත්‍රික පිරිත්, සති පිරිත් යනාදී වශයෙන් දිගු කාලයක් තුළ මෙම ආරක්ෂක ගාථා සජ්ඣායනය කෙරෙන නමුදු ඉතා කෙටි ගාථා වුව ද පිරිත් හෝ ආරක්ෂක ගාථා ලෙස භාවිත කළ හැකි ය.

මේවායේ වටිනාකම්, ප්‍රත්‍යක්ෂ අත්දැකීම් ලෙස ශ්‍රද්ධාවන්ත ගිහි පැවිදි සුධීහු ආත්මගත කොට වෙසෙති. මීට අමතරව බෞද්ධ අබෞද්ධ වියත්හු මෙය පර්යේෂණාත්මක ව තහවුරු කර ගැනීමට ද සමත් වූහ.

ශ්‍රී ලංකාවේ දී ද ප්‍රකට ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන මහාචාර්ය චන්දන ජයරත්න සූරීන් නූතන තාක්ෂණික මෙවලම් භාවිතයෙන් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කොට ඇත.

ඔහු පෙන්වා දෙන පරිදි මධ්‍යම ස්වර භාවිතයෙන් කෙරෙන පිරිත් සජ්ඣායනාවල සංගීත ශාස්ත්‍රයේ පවතින ස්වර හතෙන් හතරක් පමණක් භාවිත වේ. රාග ස්වර පිරිත්වල භාවිත නො වන අතර, නූතනයේ මානසික සැහැල්ලුව සඳහා යොදා ගැනෙන සංගීත චිකිත්සාවන්ට වඩා පිරිත් දේශනාවල ඵලදායකත්වයක් ඇත.

එසේම පිරිත ආරම්භයේ සිට විනාඩි දහයක් තුළ හෘද ස්පන්දනය සියයට පණහකින් අඩු වී ඇති අතර, භාවනාවෙන් ලබන සමාධියට සමාන මානසික ඒකාග්‍රතාවක් ලැබේ. මේ නිසා මනාව පිරිත් ඇසීමෙන් හෘද රෝග සමනය කර ගැනීම, ශාරීරික ප්‍රතිශක්තිය හා මොළයේ මතකශක්ති ධාරිතව වැඩි දියුණු කර ගැනීම, ධනාත්මක සිතිවිලි වැඩි දියුණුවීම, අවධානය හා සංවේදීතාව ප්‍රවර්ධනය වීම, නින්ද නො යෑම වළක්වා එය ක්‍රමවත් කිරීමටත් කරුණා මෛත්‍රී සිතිවිලි උපදවා සමාජයට හිතකර පුද්ගලයකු ප්‍රදානය කිරීමටත් පිරිත් සජ්ඣායනාව උපකාරී වේ.

එසේම ජපන් ජාතික පර්යේෂකයකු වන මසුරෝ එමෝටෝ කළ පරීක්ෂණයකින් තහවුරු වූ පරිදි පැය කිහිපයක් පිරිත් සජ්ඣායනා කිරීමෙන් පසු පිරිත් පැන් සිසිල් වීමෙන් සාන්ද්‍රනමය වෙනස්කම් සිදුවන බවත්, අපගේ ශරීරයේ ජල ප්‍රමාණය අධික වන හෙයින් සිරුරේ ශෛල සෞඛ්‍යමත් ලෙස සංවිධානය කරන බවත්, එයින් රෝග සමනයට පිරිත් පැන් ඉවහල් වන බවත්, පෙන්වා දී ඇත.

එසේම කැනඩාවේ මැක්ගිල් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන බර්නා ග්‍රැඩ් බීජ රෝපණය සඳහා සාමාන්‍ය ජලය හා පිරිත් පැන් යොදා කළ පර්යේෂණ මගින් ද පිරිත්වල බලය තහවුරු වී ඇත.

මෙහිදී වඩාත් ඵලදායක වන්නේ ප්‍රතිඵල අපේක්ෂා කිරීමට වඩා එම ක්‍රියාදාමය සිදුකළ යුතු ආකාරය තේරුම් ගැනීම යි.

පිරිත් දේශනාවන්ට අදාළ චාරිත්‍ර වාරිත්‍ර සමුදායක් ඇත. එනම් එය සිදු කෙරෙන ස්ථානය සැකසීම, සජ්ඣායකයාගේ පැවැත්ම හා ශ්‍රාවකයාගේ භක්තිමූලික හා සාවධානාත්මක කැපවීම යනාදී කරුණු රාශියක එකතුවෙන් සිදුවිය යුතු බව සඳහන් වේ. බුදු දහමෙහි නිර්දේශිත දාන, සීල, භාවනා ආදී කුසල කර්මයන්ට පමණක් නොව භික්ෂූන් වහන්සේලාගේ පොහොය කිරීම වැනි විනය කර්මවලදී ද පුබ්බකරණ, පුබ්බකිච්ච යනුවෙන් සම්පාදනය කළයුතු මූලික අවශ්‍යතා විශේෂයක් වේ.

සරල නිදසුනක් දක්වන්නේ නම් කෙබඳු දෙයක් වුවත් දීමක් නම් එය දානයකි. එහිදී දෙන තැනැත්තා, දෙන දෙය සහ ලබන තැනැත්තා වැදගත් නොවේ. එහෙත් සංඝික දානයක් පිරිනැමීමේ දී ඊට පෙර අසුන් පැනවීම, පා දෝවනය කිරීම, උඩුවියන් බැ¼දීම යනාදී කරුණු රාශියක් අවශ්‍ය වේ. භාවනා කිරීමට පෙර සිල් ගුණ ආවර්ජනය කිරීම, තෙරුවන් නමස්කාරය ආදී පසුබිමක් තිබීම සිද්ධියේ ප්‍රතිඵල උදාවීමට අවශ්‍යම වේ.

දැනට ශ්‍රී ලංකාවේ පවතින සාමාන්‍ය ක්‍රමවේදය අනුව සිදුවන්නේ සාවදානව, මානසික ඒකාග්‍රතාවකින් පිරිත් ශ්‍රවණය කිරීමකට වඩා පිරිත් ඇහෙන්නට සැලැස්වීම ය. මෙය අඩුපාඩු සහිත ක්‍රියාවලියකි.

පිරිත්වල රෝග සුව කිරීමට තරම් බලසම්පන්න බවක් ඇත්නම් බුදුන් වහන්සේට ජීවක නම් වෛද්‍යවරයෙක් සිටියේ කුමක් නිසා දැයි පවසන ඇතැම්හු එය නිසරු ක්‍රියාවක් බව පවසමින් ශ්‍රද්ධාවන්තයන්ගේ සිත් වියවුල් කරන අවස්ථා ද ඇත.

එහෙත් ඔබ තේරුම්ගත යුත්තේ පිරිත යනු සත්‍ය ක්‍රියාවක බලයක් ලෙසිනි. සෑම සූත්‍ර දේශනාවක් අවසානයේ ම එතෙන සච්චවජ්ජේන සොත්ථි තෙ හොතු සබ්බදා යනුවෙන් මෙම සත්‍ය වූ බුද්ධ වචනයේ අනුහසින් ඔබට යහපතක් වේවා යැයි ප්‍රාර්ථනා කරනු ලැබේ.

එසේම දුක් සන්සිඳේවා, බිය දුරුවේවා, රෝග දුරුවේවා යනාදී වශයෙන් ප්‍රාර්ථනා කෙරෙති. ගෙයින් ගෙයට, ගමින් ගමට, නගරයෙන් නරගරයට ගොස් මෙසේ කරුණාව, දයාව, ආදරය, හා මුදිතාව මුසු වූ සිතින් පැතීමෙන් සමාජයේ සිත් පහන් වන බව හා මිනිසුන් අතර, යහපත් සිතිවිලි පිබිදෙන බව ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ.

පිරිත් ධර්මය ශ්‍රවණය කිරීමෙහි ඵල නෙළා ගැනීමට නම් පිරිසිදු සිතිවිලි හා තෙරුවන් විෂයයෙහි පවතින ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය කරුණක් බව තේරුම් ගන්න. පිරිසිදු සීලයෙහි පිහිටා අකුසලයෙන් මිදී කුසලය දියුණු කිරීමේ අධිෂ්ඨානය ඇති කර ගන්න. මානසික ඒකාග්‍රතාව උපදවා ගැනීමට හැකි පරිසරයක සිට කායික මානසික විවේකය සහිතව මෙම ක්‍රියාව හා එක්වන්න.

පිරිතේ ස්වරයෙන් උපදින ධර්ම රසය ආස්වාදනය කරන අතර ම ඒවායෙහි අර්ථය ද දිනෙන් දින වටහා ගනිමින් ශ්‍රවණය කිරීමට පුරුදුවන්න. ශ්‍රවණය කරන අතර බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය මෙන් ම සංඝ ගෞරවය උසස් ලෙස වැඩි දියුණු කරගන්න.

ඇවිදීම, එකිනෙකා සමඟ කතාබහ කිරීම, අනුභව කිරීම, වෙනත් දේ ගැන සිතීම යනාදී සම්බාධක පැමිණිය හැකි අතිරේක ක්‍රියාවන් හා එක්වීමෙන් වැළකීම මගින් ඔබට හිතකර පසුබිමක් සකසා ගත හැකි ය.

පිරිත් සජ්ඣායනාවක් ශ්‍රවණය කිරීම යනු ධර්මය ශ්‍රවණය කරන්නාක් මෙන් අධ්‍යාත්ම විශෝධනයට ඉවහල් වන කාරණයකි. එබැවින් ශ්‍රවණය කරනු ලබන කාලය අතරතුර අධ්‍යාත්මික පාරිශුද්ධිය ඉන් ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳ ව ද සැලසුම්කරණය කළ යුතු ය. වෙනත් විධියකින් කිවහොත් ‘මාගේ ජීවිතය මින්පසු යහපත් සිතිවිලි හා ක්‍රියාකාරකම්වලින් අඛණ්ඩ ව පවත්වාගෙන යෑමට වෑයම් කරමි’ යන අධිෂ්ඨානය උපදවා ගත යුතු ය.

පිරිත් ශ්‍රවණය කිරීමෙන් පසු අඛණ්ඩ ව එකී ශාන්තිය උදාවීම පිණිස සුපිරිසිදු ධර්මානුකූල ප්‍රතිපත්ති මත ක්‍රියා කළයුතු වේ. එසේ අඛණ්ඩව පිරිත් ශ්‍රවණය කිරීම මඟින් මිනිසුන්ගේ පමණක් නොව දෙවියන්, භූතයන් ආදී අමනුෂ්‍ය සත්ත්ව කොට්ඨාසයන්ගෙන් හා වෙනත් විශ්වීය බලවේගයන්ගෙන් ඔබට විපත් නො පැමිණෙනවා පමණක් නොව කරදර උවදුරු ආදියේ දී පිහිට හා ආරක්ෂාවක් ද සැලසෙනු ඇත.

සබ්බේ බුද්ධා බලප්පත්තා

(සියලු බුදුවරු බල සහිත වූවාහු ය.)

පච්චෙකානං ච යං බලං

(පසේ බුදුවරුන්ගේ යම් බලයක් වේ නම්)

අරහන්තානං ච තෙජෙන

(රහතන් වහන්සේලාගේ ද යම් බලයක් වේ නම්)

රක්ඛං බන්ධාමි සබ්බසො

( ඒ සියලු බලයන්ගෙන් ඔබට සියලු ආකාරයෙන් ආරක්ෂාව බඳීමි.)

යනුවෙන් පිරිත් දේශනා අවසානයේ දී භික්ෂූන් වහන්සේලා විසින් ඔබගේ අතෙහි පිරිත් නූලක් ගැට ගසා ආරක්ෂාව සලසන බව ද ඔබ විසින් මතක තබා ගත යුතු ය. ඔබගේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු සම්පාදනය කිරීම සඳහා, රෝගයකින් පෙළෙන අසරණ පුද්ගලයකුට මෙබඳු ප්‍රකාශයකින් සිතට සැනසිල්ලක් ගෙනදීම සඳහා සහ ඔබගේ ජීවිතය මෙලොව හා පරලෝ වශයෙන් ඵලාදයක කරනු සඳහා ඉවහල් වන සොබාදහම පවා ප්‍රිය කරන පිරිත් හඬට ඇතැම් ප්‍රේතයන්, භූතයන් මෙන් ඔබත් අකැමැති ද? ඉහත කී පරිදි මහඟු වටිනාකම් සහිත පිරිත් ධර්මය මෙවන් කාලයක සැදැහැයෙන් යුතුව ශ්‍රවණය කිරීමේ වටිනාකම තීරණය කිරීමේ බුද්ධිය ඔබ සතු ය.