Print this Article


බුදුරජාණන් වහන්සේ දැක ගනිමු - 4: කළ අකුසල කර්ම බලවත් කරන සිතිවිලි හඳුනා ගන්න

බුදුරජාණන් වහන්සේ දැක ගනිමු - 4:

කළ අකුසල කර්ම බලවත් කරන සිතිවිලි හඳුනා ගන්න

ලෝභ, ද්වේිෂ, මෝහ ආදී සිතිවිලි නිසා ඔබ විසින් කරගත්තා වූ අකුසල ධර්ම බලවත් වේ. සංසාර ගමනේ බොහෝ කාලයක් සතර අපායේ තැනක ගත කිරීමට සිදු වේ.

මේ නිසා කාමාදී අකුසල ධර්මයන්ගෙන් නිදහස් විය යුතු වේ. රහතන් වහන්සේ නමක් චරිතයක් සේ, සම්මුතිය තුළ මේ ස්කන්ධ පංචකය පවත්වා ගන්නවා. එහෙත් ඇලීමක්, බැඳීමක්, ගැටීමක්, මුලාවක් එහි සකස්වීමක් ඇත්තේ නැහැ. ගෘහස්ථ ජීවිතවල පවා මව්පියන්, දරුවන්, ස්වාමියා, බිරිද ආදී වශයෙන් ඔබට කටයුතු පවත්වාගත හැකියි. එය සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, මංගල සූත්‍රයේ ම අවසන් මංගල කරුණ ලෙස දක්වා තිබෙන, “ඵූට්ඨස්ස ලෝකධම්මේහි, චිත්තං යස්ස න කම්පති, අසෝකං විරජං බේමං, ඒතං මංගල මුත්තමං” ඒ අවසන් මංගල කරුණු අත්හැරීම හෙවත් නිවනට සිත, සිහිය යොමු කරනවා.

තෘෂ්ණාවෙන් රූප ආරම්මනයෙහි නොබැඳෙන්න. කනට සකස්වෙන ශබ්දය නිසා එහි තෘෂ්ණාව පහළ කර නොගන්න. නාසයට ගන්ධාරම්මනය සකස් වීමෙන්, ඒ අරමුණ නිසා තෘෂ්ණාව ඇති කර නොගන්න. දිවට රස ආරම්මනය සකස්වීමෙන් තෘෂ්ණාව සකස් කර නොගන්න. කයට ස්පර්ශය සකස්වීමෙන් පොට්ඨබ්බාරම්මනය සකස්වීමෙන් තෘෂ්ණාව සකස් කර නොගන්න. සිතට සිතිවිලි සකස්වෙන විට, සිතිවිලිවල ඇතිවන තෘෂ්ණාව සකස් නොවෙන්නට සිත පුරුදු කරන්නේ නම් එය නික්මීමයි.

සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාවෙහි සඳහන් කළ අයුරින් ඇසෙන් ද, රූපයෙන් ද, චක්ඛු විඥානයෙන් ද, ස්පර්ශයෙන් ද, වේදනාවෙන් ද මේ තෘෂ්ණාව සකස්වෙන ආරම්මනයෙන් ම තෘෂ්ණාව ගලවා දමන්නට තරම් ශක්තියක්, හැකියාවක්, පාරමී ධර්ම සම්පූර්ණ කරන, නිවන අරමුණු කරන, ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව තුළ තිබිය යුතුමයි. ඒ අවස්ථාව නික්මීමක් හැටියට දැක ගන්න පුළුවනි.

තවදුරටත් සඳහන් කරන්නේ නම්, මේ නික්මීම පිණිස ඔබට පාරමී ධර්ම සම්පූර්ණ කරන මඟක අවස්ථාව සලසා ගත හැකියි. එනම් සිතෙහි හටගන්නට පැමිණෙන්නා වූ කාම විතර්කය පරමාර්ථ ධර්ම අවබෝධයෙන් ඉවසිය නො හැකියි. ගලවා දැමිය හැකියි. ආදීනවයන් මෙනෙහි කරමින් ඉවත් කළ හැකියි. එහි ඇති භයානක බව සිහිපත් කොට සම්මුතිය මත පමණක් පිහිටා පරමාර්ථ ධර්ම වශයෙන් පිළිකුල්කොට ගත හැකියි. බැහැර කළ හැකියි. නැවත හටගන්නට අවස්ථාවක්, අවබෝධයක් සිතෙහි නැත යන අදහසට සිත ශක්තිමත් කරගත හැකියි.

මේ ආදී වශයෙන් සිතේ ද්වේෂයක් හටගන්නේ ද? හිංසාවක් හටගන්නේ ද? ඒ හැම අවස්ථාවක දී ම මුලින් සඳහන් කළා සෙයින් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් ම සිත, සිහිය පිහිටුවා ගන්න. එසේ සකස් වෙන්නවා. රාගය, ද්වේෂය, විහිංසාව, දියවී යන්නට සිතෙහි නැවත බීජයක් හෝ ස්වල්පයක් හෝ තෘෂ්ණාවක් වශයෙන් නොපවතින්නට සිත නැවත, නැවතත් පුරුදු කර ගැනීම අවශ්‍යයයි.

පාරමිතා ධර්ම සම්පූර්ණ කර ගැනීමෙන් හෝ පාරමිතා ධර්ම සම්පූර්ණ කරන විට මේ අවස්ථාව සිත සකස්වෙන බව ශ්‍රාවකයාට වැටහිය යුතුයි. මේ සඳහා කල්‍යාණමිත්‍ර සම්පත්තියක් පවතින්නේ නම්, වර්තමාන යුගය තුළ වඩාත් යහපත් වේවි. වඩා අද්දැකීම් ඇති කල්‍යාණ මිතුරා වැරැදි මගෙන් බැහැර කොට නිවැරැදි මගට සකස් වෙන්නට උපකාරි වෙනවා.

බුදුරජාණන් වහන්සේ මේ ලෙසින් මුණගැසුනේ නම්, මාර්ගඵලාවබෝධයට පත්වෙන්න සුදුසු ශ්‍රාවකයාට ඒ සාමුක්ඛංසික දේශනාව සිද්ධ කරනවා. එසේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම දියුණු නැති තවදුරටත් පාරමී ධර්ම සම්පූර්ණ විය යුතු ශ්‍රාවකයාට භාග්‍යවතුන් වහන්සේ ආනුපුබ්බී කතාව දේශනා කරන ආකාරය දාන කතා, සීල කතා ආදී වශයෙන් පැහැදිලි කළා. මේ දහම් කතාව ධර්මයේ පැහැදිලි කරන්නේ, “ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේපේසි සම්පහංසේසි යනුවෙනුයි.

දහම් කතාවක් දේශනා කරනවා. “සන්දස්සේසි“ එහි පිහිටුවනවා. “සමුත්තේපේසි“ එහි උනන්දු කරනවා. “සම්පහංසේසි“ ධර්මයෙන් ලබන නිරාමිස ප්‍රීතියකට මඟ පෙන්වනවා. මේ අවස්ථාවේ දී කල්ලචිත්තය සකස් වෙනවා. කෙලෙස් සංසිඳෙනවා. කුසල් සිත සකස් වෙනවා. එය “මෘදුචිත්ත” කෙලෙස්වලින් පීඩා නොවීම නිසා සිත මෘදු වෙන්න ගන්නවා. සරු බීජයක් වගා කිරීමට සරු පොළොවක්, පරිසරයක් සකස් වෙන්නා සේ යි. නීවරණ ධර්ම බැහැර වෙනවා. “පසන්නචිත්ත” උඩින් බැලූ විට පත්ල පෙනෙන්නා සේ රාගාදී කෙලෙස් හි යටපත්වීම, සංසිඳීම නිසා මනස පිරිසුදු වෙනවා. ධර්ම මනසිකාරයට අවස්ථාව ඉතා ම යෝග්‍ය වෙනවා. “උදග්ගචිත්ත” ඔදවැඩී ගිය සිතක් බවට පත්වෙනවා. චතුරංග වීර්යයෙන් යුක්තව එනම් ඇට, ලේ, මස්, නහර වියැකී ගියත් කෙලෙස් හි මිදී මිස නොනැගිටිමියි යන අදහසක් සේ ධර්ම මාර්ගය තුළ මහත් වූ සුවයක් ලබනවා. මෙය ම තමයි මාර්ගය යැයි සිතෙන්නට පටන් ගන්නවා. “සම්පහංසේසි ප්‍රහර්ශයක් ලැබූවා සේ ම “උදග්ගචිත්ත” කෙලෙස් බැහැරවීමෙන් ලබන නිරාමිස සතුටින් ඉදිරියට පවත්වනවා. කෙලෙසුන්ගෙන් මිදුණු තැනින් ශුන්‍යත නම් වූ කර්ම සකස් කර ගැනීමට කිසිදු ආරම්මනයක් සකස් නොවී ම නිසා උඩට මතුවෙන, ඉහළට ම ගමන් කරන මාර්ගඵලාවබෝධය ඉලක්කවන සිතක් සකස් වෙනවා. මෙයයි බුදුරජාණන් වහන්සේ නමක් අපට මුණ ගැසුණොත් අප මුහුණ පාන ස්වභාවය.

භාග්‍යවතුන් වහන්සේ කුසල් අකුසල් පිළිබඳව දේශනා කොට වදාළා. මේ කුසල් යහපත් ය. කුසලය සසරගත දුකින් නිදහස් කර මිනිසා සුගතියට යොමු කරනවා. සදාකාලිකව ම දුකින් නිදහස් වෙන්න, සුවය ලබන්න නිවන ම උරුම කරනවා. අකුසල කර්ම කරන්න එපා අකුසලය භයානකයි. අයහපතක් වෙනවා. ඒ නිසයි අකුසල් කරන්නට එපා යැයි අනුශාසනා කරන්නේ. අකුසල් නිසා සතර අපායේ ඉපදී අප්‍රමාණ දුක්වින්දා. මේ ජීවිතයත්, ඉදිරියත්, සසර දීර්ඝ කරගන්නට මේ අකුසල කර්ම හේතු වෙනවා. මේ නිසා මහත් වූ කරුණාවෙන් නුඹලාට දේශනා කරන්නේ පස්පව්, දස අකුසලයන්ට මුල සාදන ලෝභ, ද්වේෂ, මෝහ නම් වූ ඒ අකුසල මූල සකස්වෙන පස් පව්, දස අකුසලයන්ගෙන් බැහැර වෙන්න. කුසලය පහපත පිණිසයි. අකුසලය අයහපත පිණිසයි.

බුදුරජාණන් වහන්සේ නමක් ජීවමාන ව මුණ ගැසුණත් එසේ නො වී ධර්මකාය සම්පත්තියෙන් අපට හමුවුණා යැයි ධර්මයෙන් ම සිත ඔසවා තබා ගැනීමෙනුත්, බුදුරජාණන් වහන්සේ දැක ගැනීමක් සිදු කර ගන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේගේ ම දේශනාව අනුව බුදු උතුමෙක් මේ ලෙසින් මුණගැසුනු මොහොතක බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට ඇහුම් කන් නොදීම හෝ අනුගමනය නොකිරීම නිසා නුඹලාට දුක් වෙන්නට වේවි. පශ්චාත්තාප වෙන්න පුළුවනි. එහෙත් එවැනි මොහොතක නිදහස් වෙන්න උපකාරයක් ඉල්ලන්න ගැලවෙන්න අවස්ථාවක් නොතිබේවි. ඔසවාගෙන ගොස් බිමින් තබනවා මෙන් විනිපාත නම් වූ බලවත් ලෙස දුක් ලැබෙන නිරයක උපත ලැබිය හැකියි.

මේ නිසා ධර්ම මනසිකාරය ඇති කරගෙන දුර්ලභ ව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් බව ලබන්න. පළමුකොට සුගතිය උරුම කර ගන්න. සුගතිය උරුම කරගත් ශ්‍රාවකයා දෙවියෙක් වුණත් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඤ්ඤා මනාකොට වැඩීම නිසා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මග සකස් වෙනවා. නිසල රැයක සුළඟට හමාගෙන එන සක් හඬක් හෝ බෙර හඬක් කන් ඇති පුරුෂයෙක් මනාකොට හඳුනාගන්නේ යම් සේ ද? සුගතියක සිටියත් සම්‍යග් දෘෂ්ඨික මඟට එන මේ දිව්‍ය හෝ මනුෂ්‍ය, බ්‍රහ්ම ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව මනාකොට දහම් මඟ අසන්නේ, එළිපෙහෙළි කර ගන්නේ ඒ ඒ මොහොතේ ධර්මය සිතට කැඳවාගෙන, සාන්දෘෂ්ඨිකව ම ඒ ජිවිතය ම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්නට අවස්ථාවක් ඇති කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ නම් අදත් අපට මුණගැසුණේ නම් මේ දහම් මාතෘකාව ඔස්සේ ඔබටත් සිතා බලන්නට යැයි ආරාධනා කරනවා.