Print this Article


අනුබුදු මිහිඳු මාහිමි පරිනිර්වාණ සැමරුම් පුණ්‍ය මහෝත්සවය මිහින්තලා පුදබිමේ දී

අනුබුදු මිහිඳු මාහිමි පරිනිර්වාණ සැමරුම් පුණ්‍ය මහෝත්සවය මිහින්තලා පුදබිමේ දී

ශිෂ්ඨාචාරය,භාෂාව,වාරි කර්මාන්තය ඇතුළු සියලු ක්ෂේ‍ත්‍රයන්ගේ දියුණුවක් ඇති වෙමින් අප රටේ ශිෂ්ඨ සම්පන්න ජාතියක් බිහිවූයේ අනුබුදු මිහිඳු මා හිමියන් මෙරටට වැඩම කරවීමත් සමඟ ය.

ඓතිහාසික මිහින්තලා පුදබිමට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලාංකාව පුරා ව්‍යාප්ත කළ බුදු දහම නිසාම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලෙස ජනතාවගේ වන්දනයට හා ගෞරවයට පාත්‍රවී වූහ. මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා දෙදහස් දෙසිය අසුව වැනි (2280) සංවත්සරය යෙදී තිබෙන්නේ අද (23) දිනට ය.මේ ඒ පිළිබඳව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් දැක්වු අදහස් ය.’’

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරමින් මිහින්තලා රජ මහා විහාරස්ථාන පුදබිමේ පිහිටි මිහිඳු මහා සෑය,ධාතු මන්දිරය,මිහිඳු ගුහාවට යන පියගැට පෙළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා.

සර්වඥ ධාතුන් වහන්සේ හා මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කර දේවානම් පියතිස්ස රජුගේ සොහොයුරාවන උත්තිය රජ සමයේ මෙම මිහිඳු මහා සෑය ඉදිකළ බව සඳහන් වෙනවා .මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා දෙදහස් දෙසිය අසුවවන සංවත්සරය යෙදී ඇති (23) අද දින පස්වරුවේ සුබ මොහොතින් මිහිඳු මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමටත්, ධාතු මන්දිරයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු හා දිර්ඝ කාලයක් පුරා සංරක්ෂණ කටයුතු සිදු නොවූ මිහිඳු ගුහාවට පිවිසෙන පියගැට පෙළෙහි ද වැඩකටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කරමින් සිදු කළ සුවිශාල සේවය අගයමින් උන්වහන්සේට කෘතගුණ දක්වමින් පොසොන් මහා පින්කම පවත්වනවා. එලෙස ම මෙම උතුම් දිනයේ දී ආගමික වතාවත් සිදු කරනමෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රටෙහි පවතින කොරෝනා වයිරස තත්වයත් සමඟ බෞද්ධ ජනතාවට වෙහෙර විහාරස්ථානවලට එක්රැස් වෙමින් ආගමික වතාවත්වල නිරතවීමට නොහැකි වුවත්, පොසොන් මහා පින්කම පැවැත්වූ ලෙස නිවෙස්වල සිට උන්වහන්සේට කෘතගුණ දක්වමින් ආගමික කටයුතුවල නිරත වන ලෙස ඉල්ලා සිටිනවා.

මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණ දිනය සිහිපත් කරමින් මිහිඳු මහා සෑය,ධාතු මන්දිරය,මිහිඳු ගුහාවට යන පියගැට පෙළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා.ඒ උතුම් අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා‍ සහභාගිවීමට නියමිත ව තිබෙනවා.

එදින ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින් ධර්ම දේශනා,දානමය පින්කම්,ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අවස්ථාවේදී ගුවනින් මල් ඉසීම ඇතුළු පින්කම් රැසක් සිදු කෙරීමට ද නියමිතයි .

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු උන්වහන්සේගේ දායක දායිකාවන්ගේ මුල්‍ය දායකත්වයත් , අනෙකුත් ව්‍යාපාරිකයන් දක්වන මූල්‍ය දායකත්වයත්, ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලබනවා.

මිහින්තලා මහා සෑය අසල ඉදිකර තිබෙන මිහිඳු මහා සෑය රජ දවසින් පසුව ගරාවැටී පවතින අතර, එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමෙන් පසුව උස අඩි එකසිය එකක් (101) පමණ ද වට ප්‍රමාණය අඩි එකසිය පනහක්(150) පමණ වනවා .

මිහිඳු මා හිමියන්ගේ පරිනිර්වාණ දිනය සිහිපත් කරමින් මිහිඳු මහා පෙරහර ඇතුළු ආගමික කටයුතු සිදු කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද, රටෙහි පවතින කොරෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමඟ එම කටයුතු සිදු වන්නේ නැහැ. මිහිඳු මාහිමි පරිනිර්වාණ දිනය රාජ්‍ය උත්සව දිනයක් ලෙස ගැසට් කරන ලෙසට පසුගිය රජය සමයේ සිට ඉල්ලීම් කර සිටිය ද එය ඉටුවූයේ නෑ. මිහින්තලා පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ගැසට් කළ ද එය අසම්පූර්ණ යි. එහි සීමා නිර්ණය දක්වා නෑ. එය සම්පූර්ණ කර දෙන ලෙසත්, මේ උතුම් දිනය රාජ්‍ය උත්සව දිනයක් ලෙස නම් කර දෙන ලෙසත් ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් ඉල්ලා සිටිනවා. එය සම්බුද්ධ ශාසනයටත්, මිහිඳු මහ රහතන් වහන්සේටත් සිදු කරන ඉමහත් ගෞරවයක්.

ත්‍රිවිධ හමුදාව,පොලීසිය, සිවිල් ආරක්ෂ බලකාය,පුරා විද්‍යා දෙපාර්තමේන්තුව,ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මේ සඳහා දායකත්වය ලබා දෙනවා. එසේම සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ලේක්හවුස් ආයතනය පුදබිමෙහි සැරසිලි කටයුතු හා සියලු ප්‍රචාරක කටයුතු සිදු කරනවා.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දෙසු ධර්මය අනුව සිය ජීවිත සකසා ගනිමින්, පෙන්වා දුන් මඟ ගමන් කිරීම බෞද්ධ ජනතාව උන්වහන්සේට සිදු කරන ගෞරවයක් . විපත්ති දුරුවී රටට සෙතක් ශාන්තියක් ඇති කිරීමට සියලු දෙනා එකාවන් ව පෙළ ගැසිය යුතු කාලයක් එළඹ තිබෙන බව බවකිව යුතුයි.