Print this Article


දුටුගැමුණු රජතුමා - 10: සොහොයුරන්ගේ අභියෝගය නිසා ඉම්බර වනයක් කැපූ ගෝඨයිම්බර යෝධයා

දුටුගැමුණු රජතුමා - 10:

සොහොයුරන්ගේ අභියෝගය නිසා ඉම්බර වනයක් කැපූ ගෝඨයිම්බර යෝධයා

ගෝඨයිම්බර

ගෝඨයිම්බර යෝධයා ගිරි නම් ජනපදයේ නිච්චෙල විට්ඨික ගමේ උපන් බව දක්වයි. ගෝඨයිම්බර යෝධයාගේ පියා මහානාග බව එහි දැක්වෙයි.

වංශකතාවලට අනුව ගෝඨයිම්බර අනිකුත් යෝධයනට වඩා වෙනස් වූ -චරිතයකි. ඔහු ශක්තිමත් නිර්භීත, සැඩපරුෂ, නිද්‍රාශීලී කෙළිලොල්, පුද්ගලයෙකි.

සත් දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ ‘අභය’ අපූරු කාය ශක්තියකින් හා මිටි ශරීරයකින් යුක්ත විය. කිසිම වැඩක් නොකර සිටීමට පුරුදුව සිටි ඔහු, තම සොහොයුරන්ගේ අභියෝගය නිසා ඉම්බර වනයක් එකවර කපා එළිපෙහෙළි කිරීම නිසා ගෝඨයිම්බර නම් විය. ඔහුගේ අපූරු කාය ශක්තිය ගැන දැනගත් කාවන්තිස්ස රජු ඔහුට මාගමට එන ලෙස දන්වා යැවීය. එසේ එන අතරමග දී විහාරයක තිබූ පොල් ගස් සොලවා ගෙඩි බිම දමා එහි වතුර පානය කර අවට හැඩිකර එහිම වැතිර නිදන්නට විය. මේ අතරතුර විහාරවාසී ථෙරපුත්තාභය සාමණේරයෝ නැවත පන්සලට පැමිණීමේ දී විහාර භූමිය හැඩිකර ඇති බව දුටුවේ ය. ඊට වගකිවයුත්තේ ගෝඨයිම්බර බව දැන ගත්තේ ය. ඔහු නිදා සිටි තැනට ගොස් උන්වහන්සේ වම්පය දෑඟිල්ලෙන් ඔහුගේ පය බැඳ තැන තැන ගසමින් අදින්නට විය. එයින් ගැලවීමට ගෝඨයිම්බර අසමත් විය. මෙය දුටු අවට ජනයා සාමණේරයන් වහන්සේට ඇවටිලි කිරීමෙන් පසු පාද ග්‍රහණයෙන් බේරී මාගම බලා ගියේ ය. මේ සිද්ධියෙන් පසු සාමණේරයන් වහන්සේ සහ ගෝඨයිම්බර කුළුපග මිතුරෝ වූහ.

සෙසු යෝධයන් මෙයට ගෝඨයිම්බර යෝධයා ද දුටුගැමුණු රජතුමා ගේ මෙහෙවරට උරදී ක්‍රියා කර ඇත. දුටුගැමුණු රජු ගේ ජයග්‍රහණයෙන් පසු අනෙකුත් යෝධයන් මෙන් බුදුදහමට නැඹුරු නොවූ ගෝඨයිම්බර සුඛෝපභෝගී ජීවිතයට හුරු විය. විජිතපුර සටනට පෙර රා මඩමක් බොන ලෙස රජු කරන ලද නියෝගය පවා ප්‍රතික්ෂේප කළ ඔහු පසුව සුරා සොඬෙක් විය. එක් අවස්ථාවක දී ගෝඨයිම්බර යෝධයා සුරාමතින්ම රජු හමුවට යාමට උත්සාහ කර තිබේ. රා බී මත්ව ආ ඔහු රජ ගෙදරට ගෙන්වා ගැනීම රජතුමා ප්‍රතික්ෂේප කළේය. එයින් කළකිරීමට පත් ගෝඨයිම්බර දඹදිව බලා ගොස් එහිදී භාවනාකර රහත් විය.

ථෙරපුත්තාභය

ගෝඨයිම්ර සේනාවට බඳවා ගැනීමෙන් පසු වෙනත් ශක්තිසම්පන්න යෝධයන් ඇත්දැයි රජු ඔහුගෙන් විමසී ය. එවිට ඔහු ථෙරපුත්තාභය සාමණේරයන් වහන්සේගේ කාය ශක්තිය ගැන රජුට පවසා සිටියේ ය. උන්වහන්සේ කැඳවාගෙන එන ලෙසට රජු නියෝග කළේ ය. එහිදී ශාසනය රැක ගැනීම සඳහා සිවුරු හැර යුද සේනාවට බැඳෙන ලෙස සාමණේරයන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ය. එය තදින්ම ප්‍රතික්ෂේප කළ සාමණේරයෝ අවසානයේ ගෝඨයිම්බරගේ ආයාචනය මත සිවුරු හැර යුද සේනාවට එක්විය.

ථෙරපුත්තාභය විජිතපුර සටනේ දී මුල්තැන ගත්තේ ය. එහෙත් යුද්ධය අවසානයේ දී රජු දුන් තාන්න මාන්න ප්‍රතික්ෂේප කර නැවත පැවිදි බිමට පිවිසියේ ය. කිරිඳිඔය අසල ලෙනක භානායෝගි ව සිටියේ ය. දුටුගැමුණු රජතුමා මරණයට පත්වන අවස්ථාවේ එතැනට රැස්වූ අනිකුත් භික්ෂූන් වහන්සේලා අතර, ථෙරපුත්තාභය තෙරුන් වහන්සේ නොසිටීම ගැන රජු විමසා සිටියේ ය. ඒ අවස්ථාවේ දී එය සැල වූ තෙරුන්වහන්සේ වහා එතැනට පැමිණ ධර්මානුශාසනාවක් කර ඇත.

ගෝනගල ලෙන් ලිපියේ ‘ශෙනපති අබය’ යනුවෙන් සඳහන් වෙන්නේ ථෙරපුත්තාභය බව පරණවිතාන මහතා සඳහන් කරයි. ඔහුගේ පියා ‘අභය’ විය. පුතාගේ උප්පත්තියෙන් පසු පියා පැවිදිවීම නිසා පුතා ථෙරපුත්තාභය නම් විය.

මහාභරණ

මහාභරණ යෝධයා කප්පකන්දර ගමේ උපන් බව මහාවංශයේ දැක්වේ. එය මැණික් ගඟ ආසන්නයේ පිහිටි ගමක් විය යුතු බව ප්‍රකාශ වේ.

මහාභරණ යෝධයාගේ පියා කුමාර යැයි මහාවංසයේ සඳහන් වේ. ඔහුගේ උපතත් සමඟ මව්පියන්ට විශාල ධන නිධානයක් පහළ වීම නිසා මේ නම යෙදූ බව මූලාශ්‍රවල සඳහන් වේ. මොහු කුඩා අවධියේ දී සාවුන් , මුවන්, ගෝනුන් මරා දැමූ බව ත් කාවන්තිස්ස රජුට මේ පිළිබඳව සැලවී ඔහුව ගෙන්වා ගත් බවත් මූලාශ්‍රවල දැක්වේ.

සෙසු යෝධයන් මෙන් මහාභරණ යෝධයා ද දුටුගැමුණු රජතුමාගේ රට, ජාතිය, බේරා ගැනීමේ සටනට සක්‍රිය ලෙස දායක වී ඇත. එම කටයුතුවලින් පසුව රජතුමා සමඟ දානාදී පින්කම් සිදුකර මියගිය බව සද්ධර්මාලංකාරය පවසයි.

වේළුසුමන

වේළුසුමන යෝධයාගේ උපන්ගම ගිරිජනපදයේ කුටුම්බියංගණ නම් වේ. බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කර යකුන් දමනය කර ඔවුන් ගිරි දිවයිනයට යැවූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ. ගිරි දිවයින මහියංගනයට ආසන්න ගල්කඳු බහුල ප්‍රදේශයක් බව පෙනේ. ඔහුගේ පියා ‘වසභ නම් වේ.

කිසිවකුටත් මෙල්ල කළ නොහැකි යැයි අතහැර දමන ලද අස් පැටවකු, වේළුසුමන කුඩා කාලයේ දී ම දමනය කළ නිසා දක්ෂ අශ්වාරෝහකයකු ලෙස ද ප්‍රකට විය.

ඔහු ගැමුණු කුමරු ඉපදීමට පෙර සිටම කාවන්තිස්ස රජුගේ සේවයට බැඳුණූ අයෙකි. විහාරමහා දේවියට දොළ දුකක් ඇතිවු අවස්ථාවේ දී දොළ පසිඳලීමේ රාජකාරිය පැවරුවේ මේ යෝධයා ට ය. ඒ සඳහා ඔහු අනුරාධපුරයට ගොස් තිසා වැවේ ජලය හා නිල්මානෙල් විලකින් මහනෙල් මල් රැගෙන මාගම බලා නික්මෙද්දී ඔහු කළ අභියෝගයෙන් ඔහු කාවන්තිස්ස රජුගේ සෙනෙවියකු බව ප්‍රකාශ කර ඇති බව මූලාශ්‍රවල සඳහන් වේ. විහාරමහා දේවිය ගේ දොළ පසිඳලීමේ රාජකාරිය මනාව ඉටුකළ වේළුසුමන යෝධයා රජු ගේ ඉමහත් ප්‍රසාදයට පාත්‍ර විය.

ඔහු විජිතපුර සටනේදී දක්ෂ අශ්වාරෝහකයකු හා කඩු ශිල්පියකු වශයෙන් පෙරමුණ ගත්තේ ය. “එකල්හි නැගෙනහිර වාසල්හි වේළුසුමන නම් යෝධයා අසු පිට පැන නැඟී යුද කරනුයේ, නොයෙක් සිය දහස් ගණන් දෙමළුන් මැරීය. එකල්හි දෙමළු වේළුසුමනයන් කෙරෙහි භයින් තැති ගැනී, අත තිබු ආයුධ හෙළා ඇතුළු නුවරට වැද, වාසල් දොර අඟුළු හෙළා ඉදී ඇද අට්ටාලවලට නැංගහ”. ගැමුණු සේනාව විජිතපුරය බිඳ හෙළු අවස්ථාවේ දී, වේළුසුමනයා අසු පිටින් නුවරට වැද

ඝනාන්ධකාරයෙන් වට සිසාරන ලද මහා ගිනිකඳක් සේ අසු විහිදුවා, මහ කඩුවක් ගෙන දෙමළුන් මරන්නට වන” යනුවෙන් සද්ධර්මාලංකාරයේ දැක්වේ.

මෙලෙස වේළුසුමන යෝධයා දක්ෂ අශ්වාරෝහකයකු පමණක් නොව දක්ෂ කඩු ශිල්පියකු හා තියුණුූ උපක්‍රමශීලි ඤාණ ශක්තියකින් පරිපූර්ණ සිටි අතර ඔහුගේ දක්ෂතා ගැන රුහුණෙහි පමණක් නොව රජරට ද ප්‍රසිද්ධියට පත්විය. දස මහ යෝධයන් අතර වේළුසුමන තරම් දෙමළ සේනාව බියපත් වූ වෙන අයකු නොවීය. විහාරමහා දේවියගේ දොළ සංසිඳවීමට අනුරාධපුරයට ගිය අවස්ථාවේදී දෙමළ සේනාධිපති මේල්දේව මරණයට පත් කිරීමෙන් ඔහු කළ වීර ක්‍රියාව මෙයට හේතු වන්නට ඇත.