Print this Article


උබ්බරි රහත් තෙරණින් වහන්සේගේ උදානය

උබ්බරි රහත් තෙරණින් වහන්සේගේ උදානය

ශාස්තෘන් වහන්සේ මහා කරුණා සමවතට සම වැදී මේ ලෝකය දෙස බලද්දී දුටුවා මේ උබ්බරි බිසව, තමාගේ ප්‍රිය මනාප දියණිය මරණයට පත්වීමේ දුක දරා ගන්නට නොහැකි ව හැඬුවාට, වැළපුනාට ඇගේ හදවත තුළ මහා පුණ්‍ය සංස්කාරයක් ගැබ් වී තිබෙන බව.

ගෞතම සම්බුදු සසුනේ උබ්බරි රහත් තෙරණින් වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ හංසවතී නුවර බොහෝ සැප සම්පත් සහිත පවුලක දියණියක් ව උපන්නා.

දිනක් මහ රහතන් වහන්සේ නමක් පාත්‍රය දෝතට ගෙන පිඬු පිණිස වඩිනවා ඇයට දකින්නට ලැබුණා. ඒ සිදුවීම දුටු මේ කුල දියණියට මහත් වූ සතුටක් ඇති වුණා. “ස්වාමීනිළ මාගේ නිවස තිබෙන්නේ මේ අසලම යි. ඔබ වහන්සේ මගේ නිවසට වඩින්න. අද දවල් දානය මම පූජා කරන්න කැමැතියි” යැයි ආරාධනා කළා. ඉක්මනින් නිවසට ගොස් නිවසේ තිබූ වටිනාම ආසනය ගෙන, වටිනා වස්ත්‍රයකින් එය ආවරණය කොට පිළිවෙළට සකසා

“ස්වාමීනි, මම මේ ආසනය ඔබ වහන්සේ උදෙසා ම යි පිළියෙළ කළේ. ස්වාමිනි, මට අනුකම්පා කර මේ ආසනයේ වැඩ සිටින සේක්වා!” කියා ආරාධනා කළා. ඉන්පසු ප්‍රනීත ආහාර දානය පූජා කළා. ඒ රහතන් වහන්සේ දානය පිළිගෙන පුණ්‍යානුමෝදනා කොට ධර්මයෙන් ද අනුශාසනා කොට වැඩම කළා. ඉන්පසු ඇය නිතිපතා දන් පූජා කළා. විවිධ විවිධ පින් කරමින් ජීවිතයට පින් රැස්කර ගත්තා. කාලයාගේ ඇවෑමෙන් ඇය මියගොස් සුගති ලෝකයේ ඉපදුණා. අප්‍රමාණ සැප සම්පත් වින්දා.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වූ කාලයේ ඇය පින්වත් දියණියක් ව උපන්නා. ඇය උබ්බරි නම් වුණා. මනා සැප සම්පත් මැද හැදී වැඩුණු ඇය තරුණ වියේදී පසේනදී කොසොල් රජුගේ බිසවක් බවට පත්කර ගත්තා. ටික කලකට පසු ඇය ගැබ් ගත්තා. දස මස ඇවෑමෙන් බිසව සිඟිති දියණියක් බිහි කළා. ඇගේ නම ජීවා යි. ඒ දියණිය දුටු විගස පසේනදී කොසොල් රජු මහත් ප්‍රීතියට පත්වුණා. ඒ ප්‍රීතියෙන් ම රජතුමා තමාගේ අන්තඞපුරයේ අග්‍ර මහේසිකාව ලෙස උබ්බරි බිසව පත් කළා. දරු සුරතල් බලමින්, ප්‍රීතියෙන් ටික කාලයයි ඇය ගත කළේ. ඒ සිඟිති දියණිය හදිසියේ හටගත් රෝගයකින් අකාලයේ මිය ගියා. දරු සෙනෙහසින් මේ උබ්බරි බිසව හඬා වැටුණා.

දියණිය මිහිදන් කළ ද, ඇය දිනපතා සොහොනට ගොස් මහා හඬින් “අනේ මගේ ජීවා දුවේ, ඔහොම ඉන්න එපා, නැගිටින්න” යැයි දුක කියමින් විලාප දෙනවා.හඬා වැටෙනවා.

ඒ උබ්බරි බිසවට සැප සම්පත් තිබුණත්, සැවැත් නුවර ජිවත් වුවත් අවශ්‍ය දේ මඟ හැරී තිබුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ දැක ගැනීමට යි. ධර්මය ශ්‍රවණය කරන්නටයි. ශ්‍රාවක සංඝ රත්නය සරණ යෑමට යි. දහම් පද නෑසී තිබුණ නිසා ම මේ දරුවාගේ අකල් වියෝ ව උබ්බරි බිසවට දරා ගන්න බැරිවුණා.

අද කාලයේ ජිවත් වන අපටත් උබ්බරි බිසවගේ ජීවිතය උදාහරණයක් වෙනවා. අපටත් බොහෝ කලාතුරකින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අසන්නට ලැබෙනවා. මනාකොට පැහැදිලි ව පිරිසුදු ව දේශනා කළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අසන්නට ලැබෙනවා. දුක කියන්නේ මෙය යි. දුක හට ගන්නේ මෙහෙම යි. දුක නැති කරන්නේ මේ විදිහට යි. දුක නැතිකරන මාර්ගය මෙය යි. නිවන් මඟ කියන්නේ මෙය යි. සසරේ ස්වභාවය මේක යි. කියා ඒ උත්තම කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ, සද්පුරුෂ ඇසුර නිසා අපට අසන්නට ලැබෙනවා.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ ගේ බුදුගුණ අසන්නට ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ගැන අසන්නට ලැබෙනවා. මහා සංඝ රත්නයේ ගුණ අසන්නට ලැබෙනවා ඒ දහමට අප කන යොමු කළේ නැතිනම්, මෙසේ සුගති ලෝකයක ඉපදිලා පහසුවෙන් සිටින වෙලාවේ ධර්මයට සිත යොමු කළේ නැතිනම්, උබ්බරි බිසවට මෙන් යම් විපතක් , කරදරයක් ආවොත්, වෙහෙසට, දුකට පත් වුණොත් අපට පිහිටක්, පිළිසරණක් නැතිවෙනවා. උබ්බරි බිසවටත් එදා ඒ දේ ම සිදුවුණා.

බුද්ධෝත්පත්ති කාලයක් වෙලා, ජීවමාන ව භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ම වැඩ සිටියත් උන්වහන්සේ දැක, ධර්මය ශ්‍රවණය කිරීමට ඇයට පින තිබුණේ නැහැ.

මේ ආකාරයට කාලයක් ගත වුණා. අපගේ ශාස්තෘන් වහන්සේ මහා කරුණා සමවතට සම වැදී මේ ලෝකය දෙස බලද්දී දුටුවා මේ උබ්බරි බිසව, තමාගේ ප්‍රිය මනාප දියණිය මරණයට පත්වීමේ දුක දරා ගන්නට නොහැකි ව හැඬුවාට, වැළපුනාට ඇගේ හදවත තුළ මහා පුණ්‍ය සංස්කාරයක් ගැබ් වී තිබෙන බව. මේ දහම අවබෝධ කරන්නට තරම් පින මෝරා තිබෙන බව. එය භාග්‍යවතුන් වහන්සේ දුටුවේ මහ අඳුරේ ගල් ගුහාවක් ඇතුළේ පහනක් දැල්වෙන විට එය ඈතට පෙනෙන්නේ යම් සේ ද, ප්‍රඥාව නැමති පියුම ඇගේ හද මඬලේත් දැල්වෙන ආකාරය යි. ඒ පියුම පිපෙන්නට සම්බුදු වදන් නමැති හිරු එළිය වැටෙන්නට අවශ්‍ය බවත් උන්වහන්සේ දුටු සේක. ශාස්තෘන් වහන්සේ මහා කරුණාවෙන් , සොහොන මැද හඬමින්, වැළපෙමින් සිටි ඒ උබ්බරි බිසව වෙත රශ්මි දහරාවක් එවා භාග්‍යවතුන් වහන්සේ ඇය ඉදිරියේ සිටිනවා සේ පෙනෙන්නට සැලැස්වූහ. දෙතිස් මහා පුරුෂ ලකුණෙන් සෝබමාන වූ ඒ භාග්‍යවතුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටිනවා දුටු ඇයට මහා සැනසිල්ලක් දැනුණා. පහසුවක්, සැපයක් දැනුණා.

“පින්වත් උබ්බරි, ඔබ ෙඅනේ මගේ ජීවා දුවේ කියමින් මහත් වූ ශෝකයට පත්ව හඬා වැටෙනවා. උබ්බරි පළමුව තමා ගැන දැන ගන්න. මීට කලින් මේ සොහොනේ අසූහාර දහසක් දෙනා මෙතැන දවා තිබෙනවා. ඒ හැමෝට ම තිබුණේ ජීවා කියන නාමය යි. පින්වත් උබ්බරි ඔබ ඒ කවුරු වෙනුවෙන් ද මෙසේ හඬමින් වැළපෙන්නේ?”.

භාග්‍යවතුන් වහන්සේගේ ඒ වදන් තුළින් උබ්බරි බිසවගේ හදවතේ ශෝක හුල ඉදිරී ගියා. හරියට ඇවිලෙන මහා ගින්නකට මහ වර්ෂාවක් ඇද හැලුණා වගේ. ඇයගේ හදවතේ ඇවිළී තිබුණ මහා ගින්න භාග්‍යවතුන් වහන්සේගේ දහම් පද ඇසීමෙන් නිවී ගියා. ඒ දහම් පද මනාව අසා සිටි ඇගේ ශෝක හුල ඉදිරී ගියා. ඇයට වහා තේරුණා සසරේ ස්වභාවය මෙයයි, උපන් සියල්ලෝ මරණයට පත්වෙනවා කියා. කෙනෙක් මිය යන පළමු වතාව මෙය නොවේ කියා තේරුණා. මම ඉපදෙන තාක් කල් ප්‍රියමනාප අයගෙන් වෙන් වෙන්න සිදුවන නිසා මට හඬන්නට, වැළපෙන්නට සිදුවෙනවා කියා මනාකොට තේරුණා.

යම් කෙනකුට නුවණ තිබෙනවානම්, ඒ කෙනාට සම්බුදු සමිඳුන්ගේ බණ පද අසන්නට ලැබෙනවානම්, ඒ කෙනාට තමන්ගේ ඉරණම වෙනස් කර ගන්නට අවස්ථාව ලැබෙනවා.

එදා ඇයට භාග්‍යවතුන් වහන්සේ හමුවූ නිසා, දහම් පද ශ්‍රවණය වූ නිසා දීර්ඝ සසර ගමනේ ප්‍රශ්නය විසඳුණා. ඇය තීරණය කළා රජ සැප වින්දාට දුකෙන් නිදහස් වීමක් නැහැ කියා. නැවත නැවත මේ සසරේ යන තෙක් මේ දුක මුණ ගැසෙනවා. එනිසා ඇය භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා. ජීවිතයේ දුක ගැන දන්නා ඇය අප්‍රමාදි වුණා. උතුම් භික්ෂුණින් වහන්සේලාගේ සෙවණේ මනා කොට දහම් පද ඉගෙන ගෙන පිරිසෙන් වෙන් ව කෙලෙස් තවන වීරියෙන් යුතුව දහම් මඟ ගමන් කළා. ධර්මය තුළම ජීවත් වුණා. නොබෝ කලකින් උතුම් රහත් තෙරණියක් බවට පත්වුණා.

දිනක් උබ්බරී රහත් තෙරණිය උදානයක් ලෙස මෙසේ වදාළා.

මගේ හදවතේ වේදනා ගෙන දුන්, කිසිවකුට නො පෙනෙන දරු දුක නම් වූ ශෝක හුලක් තිබුණා.මා ඒ ශෝක හුල ඉවත් කර ගත්තා. අද මා ඉන්නේ ඒ ශෝක හුල උදුරාදාලයි. තෘෂ්ණාව නැතිකර දමා නිවී ගිහින්. මම සම්බුදු හිමි, ශ්‍රී සද්ධර්මය , ආර්ය මහා සඟ රුවන සරණ ගියෙමි.