Print this Article


අඳුරට පහනක් දල්වා දෙව්ලොව ගිය මාතාව

අඳුරට පහනක් දල්වා දෙව්ලොව ගිය මාතාව

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩවසන කාලයේ, එක්තරා පොහෝ දිනෙක බොහෝ උපාසකවරු පෙහෙවස් සමාදන් වූහ.

ඔවුනොවුන්ගේ ශක්ති පමණින් දන් දී පස්වරු කාලයේ සුදු වස්ත්‍ර හැඳ, නොයෙක් සුවඳ මල් ගෙන, විහාරයට ගියහ. භික්ෂූන් වහන්සේලා වෙත ගොස් වැඳ පුදා සවස ධර්ම ශාලාවේ බණ අසන්නට විය.

බණ අසමින් සිටින විට ආලෝකය නැතිව අන්ධකාර විය. එක්තරා ස්ත්‍රියක් මෙසේ සිතුවා ය. ‘දැන් පහන් ආලෝකය උවමනා කාලය වන්නේ ය. ‘මා විසින් පහනක් දැල්වුව මැනවයි’ ගෙදරින් පහන් තෙල් ආදී උපකරණ ගෙන්වාගෙන පහනක් දල්වා ධර්මාසනය පෙරටුව තබා සතුටට පත්ව බණ, ඇසුවා ය. සොම්නස් උපදවා ගෙදර ගියා ය. නොබෝ කලකින් ඇය මරණයට පත්විය. ඇය සිදුකළ පින්කම හේතුවෙන් තව්තිසා දෙව්ලොව, රශ්මි මාලාවන් ගෙන් දිලිහි දිලිහී බබළන්නට වූ විමානයක උපත ලැබුවා ය. මහත් වූ දිව්‍ය සම්පත් අනුභව කරන්නා වූ එම දිව්‍යාංගනාව දැක දෙව්ලොව චාරිකාවේ වඩින මුගලන් මහ රහතන් වහන්සේ මෙසේ විමසූහ.” මෙවැනි සැප සම්පත් ලැබීමට ඔබ විසින් කරන ලද පින කුමක් ද?”

“ස්වාමීනි, මම පූර්ව ජාතියෙහි මිනිස් ලොව ඉපදුණෙමි. දිනක් රාත්‍රී කාලයේ අන්ධකාරය නැති කරන්නට ධර්මාසනය පෙරටුව පහනක් දල්වූයෙමි. අන්ධකාරය දුරු කරන්නට ආලෝකය ලබා දුන්නෙමි. ඒ පින්කම මරණාසන්න අවස්ථාවේ සිහිපත් කළෙමි. සතුටට පත්වුුණෙමි. එම හේතුව නිසා මම දෙව්ලොව ඉපිද මහත් දිව්‍ය සම්පත් අනුභව කරන්නෙමි.”

දිව්‍යාංගනාව විස්තර කළා ය.

මහත් වූ දිව්‍ය සම්පත් ලද එම දෙව්දුව පිළිබඳ සියලු තොරතුරු මුගලන් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ට විස්තර කළහ. එය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ එතැනට රැස්වු පිරිසට දහම් දෙසූහ. ධර්ම දේශනාව අවසානයේ දී ප්‍රදීප දානය දුන් දෙව් දුව සහ පිරිවර සෝවාන් වූහ.