Print this Article


ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ කංඛාරේවත මහ රහතන් වහන්සේ

ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ කංඛාරේවත මහ රහතන් වහන්සේ

" ගෞතම බුදු සසුනේ සැවැත් නුවර මහාසාර කුලයක උපත ලැබූ ඔහු සැදැහැවතුන් පිරිසක් සමඟ නික්ම ගියේ සදහම් අසන්නට ය. මෙහිදී බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී පැවිදි ව, උපසම්පදා ලබා, කමටහන් වඩා, ධ්‍යානලාභී බව ම අරමුණු කරගෙන රහත් වීම විශිෂ්ට ය."

බුදුරජාණන් වහන්සේ, ශ්‍රාවකයන් වහන්සේට තනතුරු ලබා දුන් ආකාරය මුළු ලෝකයේ ම පාලකයන්ට ගෙන දෙන්නේ කදිම ආදර්ශයකි. ඒ පිළිබඳ පණ්ඩිත ගණේගම සරණංකර නාහිමියන් විසින් රචනා කරන ලද විශිෂ්ට කෘතියක් ලෙස රාජ්‍ය සම්මාන දිනා ගන්නා ලද ‘බුදුහාමුදුරුවෝ’ කෘතියෙහි මෙසේ සඳහන් ය.

“ඒ පත්කිරීම්වල තමන්ගේකම, නෑදෑකම, කුලය, ගෝත්‍රය, ජාතිය, පළාත, පක්ෂපාතකම හා ඡන්දය, ද්වේෂය, මෝහය , භය යන මේ කිසිම කරුණක් බලාපා නැත. පත් කළායින් පස ු ඒ පත් කිරීම ගැන කිසි කලෙක කිසි කසුකුසුවක් ඇති වී නැත. සැරියුත් , මුගලන් දෙනමට අගසවු තනතුරු දීමේ දී

‘නාහං මුඛංඑලොකෙත්වා දම්මී’

මම මුහුණ බලා තනතුරු

නොදෙමි’යි කීහ. රටවල් පාලනය කරන වර්තමාන පාලකයන්, මැති ඇමැතිවරුන්, නිලධාරින් ඒ ඒ අයට පත්වීම් දීමේ දී බුදුන් වහන්සේ අනුගමනය කළ යුතු ය. ආදර්ශයට ගත යුතු ය. බුදුන් වහන්සේ හැම පත්වීමක් ම, හැම තනතුරක් ම දීමේ දී පත් වීම ලබන්නාගේ චරිතයට ප්‍රධාන තැනක් දුන්හ. එහෙත් අනුන්ගේ කිසි ම චරිත සහතිකයක් නොපිළිගත්හ. උන්වහන්සේ ම ඒ අයගේ චරිතය එක ආත්මභාවයක පමණක් නොව, ආත්ම භාව ගණනක, තදින් පරීක්ෂා කර බැලූහ. බලා දක්ෂකම අනුව ම, සුදුසුකම අනුව ම, ගුණ ධර්ම අනුව ම ඒ ඒ තනතුරුවලට පත් කළහ.” යනුවෙනි.

(බුදුහාමුදුරුවෝ - පිටුව 166)

ඒ අනුව කංඛාරේවත මහ රහතන් වහන්සේ ද ලැබූ තනතුර විශිෂ්ට ය. ඒ නිබඳව ම ධ්‍යානයෙහි ඇළුණු සිත් ඇති භික්ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානය ලැබීම යි. උන්වහන්සේ රහත් වීමට පෙර කැප, අකැප සෑම දෙයක් කෙරෙහි ම සැක උපදවන නිසා හඳුන්වන්නේ ‘කංඛා රේවත’ නාමයෙනි. සැකය නොහොත් විචිකිච්ඡා නීවරණය පෘතග්ජන සත්ත්වයාගේ ස්වභාවය යි. කරුණු අටක් සම්බන්ධයෙන් ඇතිවන්නා වූ සැකය ‘විචිකිච්ඡා සංයෝජනය’ බවත් එය දුරු වන්නේ සෝවාන් මාර්ග ඵලයෙන් බවත් ධර්මයේ සඳහන් ය.

රේවත මහ රහතන් වහන්සේගේ පින්බර අතීත සසර මඟ දිග හැරෙන්නේ ද මෙයින් කල්ප ලක්ෂයක සිට ය.

මහා භෝග ඇති කුලයක උපත ලැබ, පියුමතුරා බුදුන් වහන්සේගෙන් බණ ඇසීමට නික්ම ගියේ සැදැහැවත් උපාසිකාවක් සමඟ ය. එහිදී දුටුවේ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට ධ්‍යානලාභී භික්ෂූන් වහන්සේ අතුරෙන් අග්‍රස්ථානය ලබා දීම යි.

මෙවැනි පදවියක් ලබා ගැනීමේ අදිටනින් බුද්ධ ප්‍රමුඛ මහා සඟරුවනට සතියක් මුළුල්ලේ ම දන් පිදූ ඔහු තම අදහස දන්වා සිටියේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. එහිදී තමා අපේක්ෂා කරන ඒ උත්තරීතර පදවිය ගෞතම බුදු සසුනේ දී ඉටු වන බවට පදුමුත්තර බුදුන් වහන්සේගෙන් විවරණ ලබා සසර මඟ සිදු කළ පින් දහම් අපමණ ය.

ගෞතම බුදු සසුනේ සැවැත් නුවර මහාසාර කුලයක උපත ලැබූ ඔහු සැදැහැවත් පිරිසක් සමඟ නික්ම ගියේ සදහම් අසන්නට ය. මෙහිදී බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී පැවිදි ව, උපසම්පදා ලබා, කමටහන් වඩා, ධ්‍යානලාභී බව ම අරමුණු කරගෙන රහත් වීම විශිෂ්ට ය. මෙලෙස උතුම් රහත් බව ලැබූ රේවත මහ රහතන් වහන්සේ රෑ දවල් දෙකෙහි ම සමාපත්තීන්ට සම වැදුණේ බුදුරජාණන් වහන්සේ සමවදින ඇතැම් සමාපත්තීන් සේ ය.

‘රෑ , දවල් නොනිදා භාවනාවෙහි යෙදෙන භික්ෂූන් වහන්සේලා නගරාරක්ෂකයෝ වෙති’ යනුවෙන් ධර්මයේ ද සඳහන් ය.

(මිලින්ද ප්‍රශ්න - මහානුමාන ප්‍රශ්නය - පිටු 556-588)

මෙලෙස රෑ , දවල් දෙකෙහි දී ම ධ්‍යානවාසී ව වාසය කළ කංඛාරේවත මහ රහතන් වහන්සේගේ ධ්‍යානශීලී ගුණය සලකා ගෞතම බුදුන් වහන්සේ ලබා දුන් තනතුර විශිෂ්ට ය.

ඒ ධ්‍යානයෙහි ඇලුණු භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වන බවයි.