| 
ලෙඩ රෝග පිළිබඳ යථා ස්වභාවය කියන 
ගිරිමානන්ද සූත්‍රය
				 
				 
				 
 ඌරුගමුවේ 
අස්සජී හිමි 
				 
				 
				 
" නිරෝගීකම උසස්ම 
ලාභය යි. එහෙත් ඉතා සුළු මොහොතින් පවා එකී නිරෝගීකම තුරන්ව ගොස් රෝගියකු බවට 
පත්වීමට හැකියාව ඇත. ශරීරය ලෙඩ රෝගවලට ආකරයක් බව ගිරිමානන්ද සූත්‍රයෙන් මනාව 
පැහැදිලි ය. ලෙඩ රෝග පිළිබඳ ලෝකයේ පවත්නා යථා ස්වභාවය මේ තුළින් ඉදිරිපත් කෙරේ." 
				 
කොවිඩ් 19 වසංගත රෝගී තත්ත්වය පිළිබඳ වූ භීතිය පහව ගොස් තිබුණ ද නොසිතූ පරිදි එය 
යළි හිස ඔසවා තිබේ.  
 විසාලා මහනුවර තුන් බිය ප්‍රමුඛ කොටගත් වසංගත රෝග ඉතිහාසයෙහි මෑතකාලීන ව ලංකාවේ ඇති 
වු රෝග කිහිපයක් ම පවතියි. සරම්ප, බරවා, මැලේරියාව, කම්මුල්ගාය, පැපොල හා ඩෙංගු 
යනාදී බෝවන හා බෝ නොවන වසංගත රෝග ඒ අතර වෙයි. 
චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරගෙන ආරම්භ වී ඉතාම සියුම් ලෙස සමස්ත ලෝකය පුරාම පැතිර 
ගිය කොවිඩ් 19 වසංගත රෝගය ලොවෙන් තුරන් කිරීම තවමත් බරපතළ අභියෝගයක් ව පවතියි. මෙම 
කොවිඩ් 19 රෝග සමයෙහි ලංකාවේ විහාරස්ථානවල සෑම දිනකම සන්ධ්‍යා භාගයෙහි රතන සූත්‍රය 
දේශනා කරවන මෙන් රජය මගින් විශේෂ ඉල්ලීමක් කර තිබුණි. එදා පැවැති රෝග, දුර්භික්ෂ හා 
අමනුෂ්‍ය යන තුන්බිය දුරලීම් වස් හේතු වූයේ මේ මහානුභාව සම්පන්න රතන සූත්‍රයෙහි 
ආශිර්වාදය යි. මෙයට අමතරව රෝග නිවාරණයෙහිලා හේතුවන තවත් සූත්‍ර දේශනා රාශියක්ම 
පවතියි. රතන සූත්‍රය හැරුණුූ කොට බෞද්ධ ජන සමාජය තුළ වඩාත් ප්‍රකටව ඇත්තේ 
“ගිරිමානන්ද” සූත්‍රයයි.  
බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයෙහි ගිරිමානන්ද නමැති භික්ෂූන් නමක් දැඩි 
ලෙස රෝගීව ආරාමයක වැඩ සිටියහ. මෙය දත් ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් මේ බව සැළ 
කළහ. එවිට බුදුරදුන් දේශනා කළේ “ආනන්දය, ගිරිමානන්ද භික්ෂුව සමීපයට ගොස් දස 
සඤ්ඤාවන් කියා දෙන්නෙහි නම් මැනවි. එම දස සඤ්ඤාවන් වටහා ගන්නා ගිරිමානන්ද භික්ෂුව 
මෙම රෝගයෙන් අත් මිදෙන්නේ ය” යනුවෙනි.  
මෙහිදී බුදුරදුන් ආනන්ද හිමියන්ට ඉගැන් වූ එකී දස සඤ්ඤාවන් මෙසේ ය.  
1.අනිත්‍ය සඤ්ඤා 2.අනාත්ම සඤ්ඤා 3.අසුභ සඤ්ඤා 4.ආදීනව සඤ්ඤා 5. ප්‍රහාණ සඤ්ඤා 
6.විරාග සඤ්ඤා7. නිරෝධ සඤ්ඤා 8.සියලු ලෝකයෙහි අනභිරත සඤ්ඤා 9.සියලු සංස්කාරයන් 
කෙරෙහි අනිත්‍ය සඤ්ඤා 10. ආනාපානසතිය  
මින් අනිත්‍ය සඤ්ඤා යනු රූප,වේදනා, සඤ්ඤා සංස්කාර. විඤ්ඤාණ යන ස්කන්ධ අනිත්‍ය බව 
හෙවත් වෙනස්වන බව නුවණින් මෙනෙහි කිරීම යි.  
අනාත්ම සඤ්ඤාවෙන් කියැවෙන්නේ ඇස, රූපය, කන, ශබ්දය, නාසය. ගන්ධය, දිව, රසය, කය, 
ස්පර්ශය, මනස, ධර්ම යන සියල්ල අනාත්ම බවයි.  
අසුබ සඤ්ඤා යනු පත්ලෙන් උඩ කෙස් මතුයෙන් යට සම කෙළවර කොට ඇති සමස්ත සිරුරම නා නා 
ප්‍රකාර වු අසූචියෙන් පිරුණු බව මෙනෙහි කිරීමයි.  
කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට , ඇටමිදුලු, වකුගඩු , හදවත, අක්මාව, දලබුව 
හෙවත් ශරීරය වසා වැළඳගෙන සිටින මස, බඩදිව්මස, පපුව,බඩවැල්, අතුනුබහනය හෙවත් නැමුණූ 
තැන බැඳුම් ,අමු අහර, මල, පිත, සෙම, සැරව, ලේ ,දහදිය ,මිදුණු තෙල, කඳුළු දිය වී යන 
වුරුණු තෙල, කෙළ සොටු, සඳමිදුලු හෙවත් සන්ධි අතර පවත්නා ලිස්සන සුළු කුණුප, මුත්‍ර 
යන මේවා ශරීරය තුළ තිබේ යැයි, ශරීරයේ අසුභය නුවණින් මෙනෙහි කිරිම මෙම අසුභ සඤ්ඤා ව 
යි.  
ආදීනව සඤ්ඤාවෙන් කියැවෙන්නේ මේ ශරීරයෙහි බොහෝ දුක්, බොහෝ ආදීනව හා බොහෝ ආබාධ හට 
ගන්නා බව නුවණින් මෙනෙහි කිරීම යි.  
ඒවා මෙසේ ය. ඇස් රෝගය, කන් රෝගය, නාසිකා රෝගය, දිවේ ඇතිවන රෝගය, කයෙහි ඇතිවන රෝගය, 
හිසෙහි ඇතිවන රෝගය, කර්ණ මූලයෙහි ඇතිවන රෝගය, මුඛ රෝගය, දත් රෝගය, කාස රෝගය. ස්වාස 
රෝගය, පීනස, දැවිල්ල, උණ, උදර රෝගය, මුර්ඡාව, අතීසාරය, ඉදිමීම, විසූචිකාව, කුෂ්ට, 
ගඩු, කිලාසය, අපස්මාරය, දද, කැසිල්ල, කුච්ඡු නම් වූ කුෂ්ට රෝගය, නිය රෝගය, විචර්චකා 
නම් වූ කුෂ්ට රෝගය, රත් පිත , මධුමේහය, අංශ රෝගය, පිළිකාව, භගන්දලා, පිතෙන් ඇතිවන 
රෝගය ,සෙම මගින් හටගන්නා රෝගය ,වාතයෙන් හටගන්නා රෝගය, තුන් දොසින් වන රෝගය, ඍතු 
පෙරලියෙන් ඇතිවන රෝගය, විෂම ආහාරපානාදිය ගැනීමෙන් ඇතිවන රෝගය, උපක්‍රම වලින් ඇතිවන 
රෝගය, කර්ම විපාකයෙන් ඇතිවන රෝගය, සීතල, උෂ්ණය, සාගින්න, පිපාසය, අහරමල, මුත්‍ර 
ආදිය නිසා හටගන්නා රෝගයි.  
මෙකී රෝගාබාධ නාමාවලිය දෙස බැලීමේ දී ශරීරය රෝගයනට වාසස්ථානයක් බව වටහා ගැනීම 
කිසිසේත්ම අපහසු නො වෙයි. මෙසේ සිරුරෙහි ආදීනව නුවණින් මෙනෙහි කිරීම ආදීනව 
සඤ්ඤාවයි.  
සිතෙහි උපන් කාම විතර්කය නො ඉවසා ද අත් හරී ද, දුරු කෙරේ ද, නැති කෙරේ ද අභාවයට 
පමුණුවා ද උපන්නා වූ ව්‍යාපාද (තරහ) විතර්කය නො ඉවසා ද, අත් හරී ද, දුරු කෙරේ ද, 
නැති කෙරේ ද අභාවයට පමුණුවා ද උපන්නා වූ විහිංසා විතර්කය නො ඉවසා ද, අත්හරී ද, දුරු 
කෙරේ ද, නැති කෙරේ ද, අභාවයට පමුණුවා ද, උපන් නූපන් පවිටු අකුසල ධර්මයන් නො ඉවසා ද, 
අත්හරී ද, දුරු කෙරේ ද, නැති කෙරේ ද, අභාවයට පමුණුවා ද මෙය පහාණ සඤ්ඤා නම් වෙයි.
				 
විරාග සඤ්ඤාව යනු මෙය ශාන්ත ය, මෙය ප්‍රණීත ය. මෙය සියලු සංස්කාරයන් ගේ සංසිඳීම ය. 
සියලු කෙලෙසුන් දුරලීම ය. තෘෂ්ණාව ක්ෂය කිරිම ය. නො ඇලීම ය හෙවත් නිර්වාණය ය.  
මෙය ශාන්තය. මෙය ප්‍රණීත ය. මෙය සියලු සංස්කාරයන් ගේ සංසිඳිම ය. සියලු කෙලෙසුන් 
දුරලීම ය. තෘෂ්ණාව ක්ෂය කිරිම ය. නො ඇලීම ය. එනම් නිර්වාණය ය. මෙය නිරෝධ සඤ්ඤාව යි. 
මුළු ලොව නො ඇලීමේ සඤ්ඤාව යනු ලෝකයෙහි තෘෂ්ණාව නම් වූ සිත පිළිබඳ පිහිටි ආත්ම 
දෘෂ්ටි හා කෙලෙස් දුරු කිරීම යි. සියලු සංස්කාර ධර්මයන් හි අනිත්‍ය සඤ්ඤාව යනු 
සියලු සංස්කාර ධර්මයන් කෙරෙන් පීඩාවට පත්වීම ය. ලජ්ජාවීම ය. ආනාපානසතිය යි. එනම් 
ආශ්වාස , ප්‍රශ්වාස කිරිම පිළිබඳ නුවණින් මෙනෙහි කිරීම යි.  
ගිරිමානන්ද හිමියනට වැළඳී තිබූ රෝග පීඩාව මෙම දස සඤ්ඤා නුවණින් මෙනෙහි කිරීම තුළින් 
වහා සංසිඳුණෝ ය. මෙම ගිරිමානන්ද සූත්‍රයෙහි සාරය විමසා බැලූ කල ශරීරයේ සෑම අංගයක්ම 
මුල්කරගෙන විවිධාකාර වූ ලෙඩ රෝග හටගන්නා බව පැහැදිලි ය.  
නිරෝගීකම උසස්ම ලාභය යි. එහෙත් ඉතා සුළු මොහොතින් පවා එකී නිරෝගීකම තුරන්ව ගොස් 
රෝගියකු බවට පත්වීමට හැකියාව ඇත. ශරීරය ලෙඩ රෝගවලට ආකරයක් බව ගිරිමානන්ද සූත්‍රයෙන් 
මනාව පැහැදිලි ය. ලෙඩ රෝග පිළිබඳ ලෝකයේ පවත්නා යථා ස්වභාවය මේ තුළින් ඉදිරිපත් 
කෙරේ. මෙය මෙනෙහි කිරීම තුළින් මනසට යම් සහනයක් ගෙන දෙයි.  
මානසික නිරෝගිතාව කායික රෝග පීඩා යටපත් කිරීමට මහෝපකාරි බව නූතනයේ පවා ඉහළින්ම 
පිළිගනියි. රෝගයක් ඇති වූ විටෙක මනසින් ද තව තවත් රෝග වර්ධනය කරගනු වෙනුවට මනා 
සිහියක පිහිටුවා, නුවණින් යුක්තව රෝග ස්වභාවයන් හා ශරීරයේ පැවැත්ම පිළිබඳ මෙනෙහි 
කිරීමට ගිරිමානන්ද සූත්‍රය දොරටු විවර කරයි.  
රෝග පීඩාවන් අවම කරගෙන යහපත් නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් නිවැරැදි 
සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු ය. මේ වකවානුව තුළ මුළු ලොවට ම බලවත් සෞඛ්‍ය 
තර්ජනයක් උදා කළ කොවිඩ් 19 රෝගයෙන් මිදිය හැකි එකම මග ද නිසි සෞඛ්‍ය පිළිවෙත් 
සුරැකීම යි. වෛද්‍ය විශේෂඥයින් සේ ම ඒ පිළිබඳ දැනුමැති පුද්ගලයින් උපදෙස් දෙන 
ආකාරයට සමාජ දුරස්ථ භාවය, මුහුණු ආවරණ නිසි ලෙස පැළඳීම, අත් සේදීම යනාදී සෞඛ්‍ය 
පිළිවෙත් මෙම කොවිඩ් 19 සමය තුළ මතු නොව යාවත්කාලීන ව පිළිපැදීමට හුරුපුරුදු වීම 
වඩාත් බුද්ධිගෝචර ක්‍රියා පිළිවෙතක් සේ පෙන්වා දිය හැකි ය.  |