Print this Article


අසහනය අසතුට දැඩි ලෝභකම නිසයි

අසහනය අසතුට දැඩි ලෝභකම නිසයි

" අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ, අනවජ්ජ සුඛ කියන්නා වූ සැප හතර කෙනකුට ලැබීමට හැකි නම් හැමදාම සතුටින් ජීවත් විය හැකි ය. එම සැප හතර ලැබීමට නම් දැඩි තෘෂ්ණාව නැති කරගත යුතු ය."

බුදු, පසේ බුදු, මහ රහත් යන උතුමන් වහන්සේලා හැර ලෝකයේ ජීවත් වන ඕනෑම සත්වයකු තුළ දැකිය හැකි ප්‍රධාන අකුසල මූලයක් ලෙස ලෝභ මූලික සිත හැඳීන්විය හැකි ය. එය සත්වයාගේ මනසේ පැවතීම සාමාන්‍ය පුහුදුන් ස්වභාවයයි. එසේ වුව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ තෘෂ්ණාව මනසේ තිබුණ ද, එය සීමාව ඉක්මවා තිබීමෙන් හා ඒ අනුව කටයුතු කිරීමෙන් සත්වයාට විනාශය ගෙන දෙන බවයි.

“තණ්හාය ජායතී සොකො
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස
නත්ථි සොකො කුතො භයං”

තණ්හාව නිසා ශෝකයත්, භයත් හට ගනී. තණ්හාව නැති කළ විට ශෝකයකුත්, බියකුත් නැත, යන අර්ථය ඉහත ගාථා ධර්මයෙන් පැහැදිලි වේ.

තෘෂ්ණාව, වේදනාව නිසා ඇති වන්නකි. ඒ තණ්හා වේදනා දෙකෙහි ම හේතුව නොදැනීම හෙවත් අවිද්‍යාවයි. ඒ අනුව තෘෂ්ණාව දුක ඇති වීම සඳහා ආසන්න වශයෙන් ක්‍රියා කරන බලවත් හේතුවක් ලෙස ගැනීම වඩාත් යෝග්‍ය වේ.

සෑම දෙනා තුළ ම අඩු වැඩි වශයෙන් තෘෂ්ණාව ඇතත්, එය අධික ව තිබීම තුළින් සිදුවන්නේ භෞතික විනාශය පමණක් නොව ආධ්‍යාත්මික සැනසීමද නැති වී යෑම ය. බුදුන් දවස සිටි තෝදෙය්‍ය, ඉල්ලීස, අදින්නපුබ්බක, අපුත්තක වැනි සිටුවරුන්ගේ ජීවිත කතා තුළින් පැහැදිලි වන්නේ කිසි දිනක තෘප්තිමත් ජීවිතයක් ගත කර නැති බවත්, සතුටක් ලැබුවා නම් ඒ ධර්මය තුළින් ම පමණක් බවත් ය. මොන තරම් ධන සම්පත් තිබුණත්, මානසික තෘප්තියක්, සතුටක් නැතිනම් එම ජීවිතයෙන් ප්‍රයෝජනයක් නැත. “සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් දේශනා කළේ සතුට උතුම් ම ධනය බව ය. අද සමාජය තුළ වුව ද දැකිය හැකි වන්නේ, මොන තරම් ධන සම්පත් ලැබුණත් සෑහීමකට පත් නොවීමේ අතෘප්තිකර ස්වභාවයයි.

සමහර පුද්ගලයින්ට හරක-බාන, වතු-පිටි, ඉඩ-කඩම්, යාන-වාහන ප්‍රමාණයටත් වඩා තිබුණත්, නොකා නොබී තවත් ඒ මතම ගැටී ඇලී ඒවා රැස් කිරීමට ම උත්සාහ කරති. හරියට ආහාරපානවත් නිසි අයුරින් නොගෙන හරි හම්බකොට අවසානයේ දී ඒ සියල්ල අත්හැර යනු ඇත. එසේ ලෝභකමින් ධනය රැස් කර, ඒවා බැංකුවල තැන්පත්කොට, අන්තිමට තමන් මිය ගියාට පසු වෙන කෙනකුට එම ධන සම්පත් හිමි වන අවස්ථා ද සුලභ ව දැකගත හැකි ය.

ඇයි මේ තරම් මිනිසුන් තෘෂ්ණාව මත ම ඇලී ගැලී ජීවිතය ගෙවන්නේ? සංසාරේ ඇති බිහිසුණු බව නොදැන නැවත ආත්ම භාවවල දුක් විඳීන්නට සිදු වන බව නොදැන මේ යන ගමන කොයිබටද? දැඩි තෘෂ්ණාව නිසා සමහර අය අනුන්ගෙ ජීවිතවලට පවා හානි වන අයුරින් කටයුතු කරන බව දැක ගන්නට ලැබේ. එයට හොඳම උදාහරණයක් ලෙස අසාතමන්ත්‍ර ජාතක කථාව පෙන්වා දිය හැකි ය.

තක්ෂිලා නුවර දිසාපාමොක් ආචාර්යවරයා දක්ෂ වගේ ම සුප්‍රකට ආචාර්යවරයෙක් ලෙස නම් දරා සිටියේ ය. එතුමා ළඟට විවිධ ප්‍රදේශවලින් නොයෙක් ශිෂ්‍යයෝ අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණියහ. දිසාපාමොක් ඇදුරුතුමා ශිෂ්‍යයින් සඳහා සියලු නවාතැන් පහසුකම් තම නිවසේ ම ලබා දෙමින් එම ශිෂ්‍යයින්ට අධ්‍යාපනය ලබා දෙන්නේ ය. එසේ අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යයින් අතර එක් ශිෂ්‍යයෙක් තම අධ්‍යාපන කටයුතු අවසන් කර දිසාපාමොක් ඇදුරුතුමාගෙන් නිවස බලා යන්නට අවසර පැතී ය. එවිට දිසාපාමොක් ඇදුරුතුමා ඔබ අසාත මන්ත්‍රය දන්නෙහි ද? යනුවෙන් ප්‍රශ්න කළේ ය. එය නොදන්නා බව ප්‍රකාශ කළ කල්හි, එසේනම් එයත් ඉගෙන ගෙනම නිවසට යන්න කියා මතක් කළේ ය.

ඒ වන විට දිසාපාමොක් ආචාර්යවරයාගේ මව ඇස් දෙකම අන්ධ ව පසු වූ වයෝවෘද්ධ මවක් වූවා ය. ඇයට උපස්ථාන කිරීමට අර ශිෂ්‍යයාට පවරන ලදී.

එම ශිෂ්‍යයා ද දිනපතා බේත්-හේත්, ආහාර-පානාදිය, නෑවීම්-කැවීම් ආදී කටයුතු කළේ ය. එම මව මෙසේ උපස්ථාන ලබන අතර අර ශිෂ්‍යයාගේ සුරත දිනපතා ස්පර්ශ වීම් හේතු කොටගෙන රාග සිතක් ඇති කර ගත්තේ ය. එසේ සිතා පුතා සිටින නිසා සිතුම් පැතුම් ඉටු කර ගන්නට බැරි බව දැන පුතා මැරීමට උපක්‍රමයක් සිතුවා ය.

මෙසේ අර ශිෂ්‍යයාගේ ස්පර්ශය ලබන අදහසින් තම පුතු වන දිසාපාමොක් ඇදුරුතුමා මැරීමට තිරණය කළේ ය. එසේ සිතා තමා නිදන ඇඳ ළඟ ඉඳන් දිසාපාමොක් ඇදුරුතුමා නිදන ඇඳ ළඟට ලණුවක් ඇද, රාත්‍රී කාලයේ දී අර ලණුව අල්ල අල්ලා ගොස් පොරෝ තලයකින් කොටා මැරීමේ අදහසින් එසේ සූදානම් කරගෙන සංවිධාන විය.

මෙය දැනගත් දිසාපාමොක් ඇදුරා තමන් නිදන සයනයෙහි කොස් කොටයක් තබා රාත්‍රියෙහි නොනිදා ඒ සිදුවීම දෙස බලා සිටියේ ය. එදා රාත්‍රී කාලයේ දී අර මව ලණුවෙන් අල්ල අල්ලා (ඇස් නොපෙනෙන නිසා) දිසාපාමොක් ඇදුරුතුමාගේ ඇඳ ළඟට ඇවිත් පොරෝ තලයෙන් ඇඳට කෙටුවා ය. දිසාපාමොක් ඇදුරුතුමා ඇඳේ නොසිටි නිසා කොස් කොටයට පොරෝ පහර වැදුණි. පසුව දිසාපාමොක් ඇදුරුතුමා මව්නි, කුමක්ද ඒ කළේ? කියා ප්‍රශ්න කළාට පසු මවට ලොකු ලජ්ජාවක් ඇති විය.

මෙම කතා පුවතින් පැහැදිලි වන්නේ තෘෂ්ණාව දැඩිව තිබීම හේතුවෙන් තම පුත් වුව ද, විනාශ කිරීමට තරම් කෙනකු පෙළඹෙන ආකාරයයි.

ඒ තරමට ම රාගය බලවත් ය. එහි විශේෂත්වය වන්නේ කෙනකුට තෘෂ්ණාව ඇතිවී එතුළින් තම අරමුණු ඉෂ්ඨ නොවුණහොත් ද්වේෂය ඇති වී එම ද්වේෂය නිසා මෝඩ ක්‍රියා කිරීමට ද සත්වයා පෙළඹෙනු ඇත. ඒ අනුව තෘෂ්ණාව එම අකුසල මූල සියල්ලට ම හේතු වන මූල බීජය ලෙස දැක්වීමට පුළුවන. තෘෂ්ණාව නිසා අද සමාජය තුළ තමන්ගේ ආර්ථිකය විනාශ කරගන්නා අයුරු දැක ගත හැකි ය. සමහර අය දැඩි ලෝභකම නිසා තියෙන මුදල් ප්‍රමාණය වැඩි කර ගනීමේ අදහසින් කවුරුන් හෝ වංචාකාරයකුට හසු වී, අන්තිමට තිබුණ මුදලත් නැති කරගෙන ලොකු පාඩුවක් සිදු කරගෙන දුක් වන අයුරු ද දැක ගත හැකි ය.

එසේ වන්නේ පුද්ගලයින් කවදාවත් ලද දෙයින් සතටු නොවීම හේතුවෙනි. ඔවුනට කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අප්පකිච්ච ගුණය වර්ධනය කළ නොහැකි ය.

මෙලොව සතුටු විය හැකි කරුණු හතරක් ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුළින් බුදුහිමි දේශනා කොට ඇත. එනම් අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ, අනවජ්ජ සුඛ කියන්නා වූ සැප හතරයි.

කෙනකුට එම සැප ලැබීමට හැකි නම් හැමදාම සතුටින් ජීවත් විය හැකි ය. එම සැප හතර ලැබීමට නම් දැඩි තෘෂ්ණාව නැති කරගත යුතු ය.

දැඩි ලෝභකම ඇති පුද්ගලයා නිරන්තරයෙන් ම අසතුටින්, අතෘප්තියෙන් හා අසහනයෙන් ජීවත් වන්නේ ය. ඔහුගේ එම අතෘප්තිකර ස්වභාවය අන්‍යයාට ද කරදරයක් පිණිස පවතිනවාට කිසිදු සැකයක් නැත. එම නිසා සමාජයේ ජීවත් වන කල්හි දැඩි ලෝභකම නැති කර ගැනීම කාගේත් සුභ සිද්ධිය පිණිස හේතු වන බව සිහියේ තබා ගත යුතු ය. අප කිසිම කෙනෙක් මිය යන විට අබමල් රේණුවක තරම් දෙයක්වත් ගෙනයන්නේ නැත. පින්-පව් දෙක පමණක් අප පසුපස ගමන් කරනු ඇත. එයිනුත් පව් ගෙනයෑම සසර දුක් විඳීමට හේතු වන බැවින් පින් රැස් කරගැනීම වැදගත් වන්නේ ය. ඒ සඳහා දැඩි ලෝභකම දුරලා සොයන ධන සම්පත් තම ප්‍රයෝජනයටත් ගෙන දුගී-මගී, යාචකාදී හා අන්ත අසරණ අය වෙනුවෙනුත් යොදවා සමාජයේ පොදු කටයුතු සඳහාත් යොදවමින් ආධ්‍යාත්මික ගුණ වගාව පැත්තත් දියුණු කර ගනිමින් අර්ථවත් හා ගුණවත් ජීවිතයක් ගත කිරීමට සැවොම උත්සාහවත් විය යුතු ය.