Print this Article


පිරිවෙනටත් බුදුසරණ

 

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර

සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
budusarana@lakehouse.lk
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ


පිරිවෙන් අධ්‍යාපනයට නව ජවයක්

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිරිවෙන් අධ්‍යාපනයේ සංවර්ධනය උදෙසා බොහෝ කටයුතු සිදුකරනු ලබයි. එහි එක් පියවරක් ලෙස පිරිවෙන් ශාඛාවේ සිටින අධ්‍යක්ෂ මණ්ඩලය මෙන් ම, ලංකාව පුරා සිටින පිරිවෙන් අධ්‍යක්ෂ හිමිවරු සහ මහත්වරු පුහුණු කිරීම ශ්‍රී ලංකා සංවර්ධන අධ්‍යාපන පරිපාලන ආයතනය (SLIDA)  මඟින් සිදුකරන ලදී. අධ්‍යාපන පරිපාලන, ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි ආදිය පිළිබඳව පුහුණු කිරීමේ පාඨමාලාවක් සාර්ථකව නිම කළ අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේලාට හා ගිහි මහත්වරුනට සහතික පත් ප්‍රදානය කිරීම කොළඹ 07, මලලසේකර මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා සංවර්ධන අධ්‍යාපන පරිපාලන ආයතනයේ ශ්‍රවණාගාරයේ (SLIDA)  දී පසුගිය දා සිදුවිය. මෙමගින් ලංකාව පුරා විහිදුණු 825 වූ පිරිවෙන් මනා කලමණාකරණයකින් යුතුව පරිපාලන කටයුතු සිදුකිරීම අපේක්ෂා කෙරේ.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා සංවර්ධන අධ්‍යාපන පරිපාලන ආයතනයේ නිලධාරී මහත්ම මහත්මීන් මෙන් ම පිරිවෙන් ඒකකය නියෝජනය කරමින් ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ මෙන් ම පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ද සහභාගී වූහ.


ප්‍රාචීන ශාස්ත්‍රාලය

 

පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය


බෞද්ධ ප්‍රබෝධයේ නව යුගයක් උදා වෙයි

මෙම ලිපියෙහි දෙවන කොටස අධි වප් අව අටවක පෝදා (ඔක්තෝබර් 09) පත්‍රයේ පළවිය.

විද්‍යොදය පරිවෙණාධිපති ධුරය දැරූ ගලගම ශ්‍රී සරණංකර නාහිමියෝ ද ශාස්ත්‍රීය වශයෙන් විශාල සේවාවක් කළ නාහිමියන් වහන්සේ නමක් බව ‘සම්බුද්ධාගම පොත් පෙළ’, ‘සද්ධර්මරත්නාවලිය ශාස්ත්‍රීය සංස්කරණය’, ‘එළුඅත්තනගලුවංශය සංස්කරණය’ ආදී කෘතීන් තුළින් පැහැදිලි කරගත හැකි ය.

ඉන් අනතුරුව පරිවෙණාධිපති ධුරය හෙබවූ පනංගල ජිනරතන හිමියෝ ‘සිංහල ග්‍රන්‍ථවංශය’, ‘පාලි කථා මඤ්ජරිය’, ‘සවිස්තර ප්‍රාතිමෝක්‍ෂ වර්ණනාව’ ඇතුළු පාසල් සිසුන්ගේ පරිහරණය සඳහා බුද්ධධර්මය ඇතුළත් ග්‍රන්‍ථ රාශියක් ම රචනා කළහ. එම නාහිමියන්ගෙන් පසුව විද්‍යොදය පිරිවෙනෙහි පරිවෙණාධිපති ධුරය හෙබවූයේ අකුරටියේ අමරවංශ නාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ කාලය විද්‍යොදය පිරිවෙණේ දීප්තිමත් යුගයකි. එ සමයෙහි භෞතික වශයෙන් අවැසි ගොඩනැඟිලි රාශියක් ප්‍රතිසංස්කරණය කළහ. එමඟින් නේවාසිකාගාර පහසුකම් පුළුල් වූ අතර බොහෝ ශිෂ්‍යයන්ට පිරිවෙනෙහි සිටම අධ්‍යාපනය ලැබීමට අවස්ථාව එළඹුණේ ය. ධර්ම ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් නොයෙක් ලිපි ලේඛන රචනා කළ අප නාහිමියෝ ‘වංසත්‍ථප්පකාසිනී නම් මහාවංස ටීකාව’ හා ‘දිව්‍යාවදාන’ නමැති කෘති සංස්කරණය කළහ. තව ද ‘සිරිසුමඟුල් සිරිත’ යන මැයෙන් පද්‍ය ප්‍රබන්‍ධයක් ද කළහ.

වර්තමාන පරිවෙණාධිපති ධුරය හොබවන ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, දර්‍ශනපති, බලන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ විසින් ධර්ම ශාස්ත්‍රයෙහි උන්නතිය වෙනුවෙන් නොයෙක් ලිපි ලේඛන සංග්‍රහ කොට ඇත. එසේම ‘සිරිසුමංගල බාලාවතාර ටීකා’ නමැති කෘතිය සිංහලට පරිවර්තනය කොට ඇති අතර, මනෝවිද්‍යාව සම්බන්‍ධයෙන් ද කෘතියක් රචනා කොට තිබේ. එසේම වර්තමාන පරිවෙණාධිපතීන් වහන්සේ නිසා විද්‍යොදය පිරිවෙනට නව ආලෝකය ලැබුණේය. ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා අප නාහිමියන් වහන්සේ දායාද කළ මහර්‍ඝතම සම්පත නම් පුස්තකාල පරිහරණය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කර දීමයි. කලක් වැසී තිබුණු පුස්තකයන් නැවත දිග හැරෙන කාලයක් බවට අද පත් ව තිබේ. එසේම අපගේ මුල් අවධියට වඩා ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක් ද අද දැකිය හැකි ය.

නූතන සන්නිවේදන මාධ්‍යයන් ඔස්සේ දැනුම උකහා ගැනීම සඳහා ඇති කළ තවත් සම්පතක් ලෙස දැක්විය හැකි වන්නේ පරිගණක විද්‍යාගාරයයි. එමගින් නූතන තාක්‍ෂණවේදය ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා අතරට ගෙන යා හැකි ය. තවද එමගින් වර්තමාන ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලාගේ අධ්‍යයන සඳහා අවැසි කටයුතු කර ගැනීමේ පහසුවක් ද සැලසෙයි. තවද මෙහි සඳහන් කළ යුතු කරුණක් නම් අප නාහිමියෝ පුරාණයේ පැවති අයුරින් පන්ති 10 ක් දක්වා පන්ති සංඛ්‍යාව වැඩි කළහ. එමගින් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට විද්‍යොදය පින්බිමෙහි තවත් අවුරුදු දෙකක් පා තැබීමේ වාසනාව ලැබෙන හෙයින් දැනුම පුළුල් ලෙස වර්ධනය කර ගැනීමට ද අවස්ථාව සැලසෙයි.

ප්‍රාචීන අධ්‍යාපනයේ කේන්‍ද්‍රස්ථානයක් වන විද්‍යොදය පිරිවෙන නිසා මෙරට බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරලීමට ද හැකියාවක් ඇති විය. ක්‍රි:ව: 1505 පටන් මිෂනාරීන්ගෙන් බැට කෑ සිංහල බෞද්ධයා නැවත ඔසවා තබන්නට හැකි වූයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි වැනි ප්‍රතාපවත් හිමිවරු මේ බිමෙහි පහළ වූ නිසා බව අවිවාදයෙන් ම සඳහන් කළ යුතු කරුණකි.