Print this Article


බුදු දහමේ ප්‍රවර්ධනයට ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 15ක්

බුදු දහමේ ප්‍රවර්ධනයට ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 15ක්

ශ්‍රී ලංකාවට බුදු දහම ලැබුණේ ඉන්දියාවෙනි. ඉන් පසුව බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ සේ සැලකෙන ශ්‍රී දළදා වහන්සේත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේත් මෙරටට වැඩම කරවූයේ ඉන්දියාවෙනි.


ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මැතිතුමා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාව.

ඉන්දු ලංකා සබඳතා තරවීමට හේතුව අතීතයේ සිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබූ මේ බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාවයයි. එහි තවත් පියවරක් ඉදිරියට තැබීමක් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක (රුපියල් මිලියන 2800ක් පමණ) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ.

මීට වසර කිහිපයකට පෙර බුද්ධගයාවේ සිට ඍජුව ම කටුනායක දක්වා පැමිණීමට ගුවන් සේවා ආරම්භ කිරීමට ද ඉන්දීය රජය විසින් කටයුතු කරන ලදී. ඒ වෙසක් දින ජාතික උත්සවයට මෙරටට පැමිණි ඉන්දීය අගමැතිවරයාගේ පොරොන්දුවක් ඉටු කරමිනි.

එමෙන්ම පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා අන්තර්ජාලය ඔස්සේ පැවති ඉන්දියා - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සමුළුවේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු වෙනුවෙන් විශේෂයෙන් ම බුදු දහමේ ප්‍රවර්ධන කටයුතු උදෙසා ඇමරිකන් ඩොලර් මිලියන 15ක් ලබා දීමට පොරොන්දු විය.

එම පොරොන්දුව ලබා දී දෙසතියක් ඉක්ම යන්නටත් පෙර එනම් පසුගිය 8 වැනිදා ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මැතිතුමා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමා හමු විය. ඒ හමුවේ දී අදාළ මුදල් යොදවා සිදු කරන්නට සූදානම් වන කටයුතු පිළිබඳව සාකච්ඡා කෙළේ ය.

ඉන්දියාව මෙවන් ප්‍රදානයක් ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය බව නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා මෙහිදී ප්‍රකාශ කළ අතර එම ප්‍රදානය බෞද්ධ ආරාම ඉදි කිරීමට හෝ නවීකරණයට, විහාරස්ථානයන්හි වෙනත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා මෙන්ම සංස්කෘතික හුවමාරු සඳහා ද වෙන් කෙරෙනු ඇත.

එමෙන්ම පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පිණිස කටයුතු කිරීම, ධාතුන් වහන්සේ ප්‍රදර්ශන, බෞද්ධ විද්වතුන් සහ සංඝයා වහන්සේ අතර සබඳතා ශක්තිමත් කිරීම ඇතුළු කාර්යයන් සඳහා යොදාගත හැකි බවද සාකච්ඡාවට බඳුන් විය.

මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා එම යෝජනා පිළිගත් අතර, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙම ඉන්දීය ප්‍රදානය යටතේ තවත් විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව මහනුවර, පල්ලේකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ ඉදිවන උඩරට නර්තන පාසල සහ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු දැනට ඉන්දියානු ප්‍රදාන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතීන් වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

නියෝජ්‍ය ඉන්දියානු මහ කොමසාරිස්තුමා සංස්කෘතික සහ ලෝක උරුම මතු පරපුර උදෙසා සුරැකීම සඳහා ඒවා ඩිජිටල් ලේඛනගත කිරීමේ සුවිශේෂී ක්ෂේත්‍රය තුළ ඉන්දියාව ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ලේකම්තුමා දැනුවත් කළ අතර, එම ක්ෂේත්‍රය තුළ එක්ව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇරයුම් කළේ ය. මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසුවේ සංස්කෘතික උරුමයන් සුරැකීමට ඉන්දියාව සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි.