Print this Article


පූජාච පූජනීයානං

මහාචාර්ය අලහේනේගම සුමනරතන නා හිමි

මීගස්වැව ඉහළගම ජයන්ති පියරතනාරාමය සහ ලොලුගස්හේන ශී‍්‍ර අභිනවාරාමය යන විහාරද්වයාධිපති, මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කුරුණෑගල මහ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක , අනුරාධපුර ශ්‍රී ලංකා, භික්ෂු විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, මහාචාර්ය අලහේනේගම සුමනරතන නා හිමි ලක්දිව අතිසම්භාවනීය ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මේ යැයි මැනවින් ප්‍රකට කරමින් වැඩ සිටින සුපේසල ශික්ෂාකාමී විද්වත් යතිවරයන් වහන්සේ නමකි.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සත් කෝරළයේ දේවමැදිහත් පත්තුවට අයත් “අලහේනේගම” නමැති සුන්දර ගම්මානයේ විසූ අදිකාරි මුදියන්සේලාගේ පොඩිමැණිකේ මාතාව ගේ හා අදිකාරි මුදියන්සේලාගේ පුංචිරාළ මහතා ගේ පුත්‍රයකු ලෙස වර්ෂ 1952 ඔක්තෝබර් මස 17 වැනි දින ජන්ම ලාභය ලැබීය. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ අලහේනේගම රජයේ විදුහලෙනි.

කුඩා කල සිටම ඉතා සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින්, වර්ෂ 1968 ජුනි මස 28 වැනිදා මීගස්වැව ඉහළගම ජයන්ති පි‍්‍රයරතනාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් උන්වහන්සේ ගේ ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේ වූයේ වේපත්අංගේ පියරතන මා හිමි ය. කුරුණෑගල කොබෙයිගනේ ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ද, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ද ලද අලහේනේගම නා හිමි එහිදී වැලමිටියාවේ ධම්මරක්ඛිත නා හිමි, වැලමිටියාවේ කුසලධම්ම නා හිමි සේම ඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමි යන කීර්තිමත් යතිවරයන් වහන්සේලා වෙතින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කිරීමේ පරම භාග්‍යය ලැබුණ බව ඉමහත් ගුරු බැතින් නිතර සිහිපත් කර සිටියි. වර්ෂ 1972 ජුනි මස 14 වැනිදා මහනුවර මල්වතු මහා විහාරය වෙතින් අධිසීල සංඛ්‍යාත උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබී ය.

තදන්තරව පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි (ගෞරව) උපාධිය ද තත් විශ්ව විද්‍යාලයෙන් ම පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද ශාස්ත්‍රපති උපාධිය ද දර්ශන සූරී (ආචාර්ය) උපාධිය ද ලැබූ අලහේනේගම නා හිමි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ජන සන්නිවේදන පශ්චාත්, උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් කථිකාචාර්ය මණ්ඩල සංවර්ධන පාඨමාලාවත්, ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ වූ කෙටිකාලීන පාඨමාලාවත් හැදෑරී ය.

ස්වකීය ආචාර්ය උපාධි නිබන්ධනය ලෙස ‘සිංහල අවමඟුල් සිරිත් විකාශනය” නමැති ශාස්ත්‍රිය පර්යේෂණ නිබන්ධනය පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ උන්වහන්සේ වෙස්සන්තර ජාතක කාව්‍යය, විචාරාත්මක සංශෝධනයක් නමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය ඇතුලුව තවත් කුඩා ධර්ම ග්‍රන්ථ කිහිපයක් ද පුවත්පත් හා සඟරා සඳහා හරවත් ලේඛන රැසක් ද සැපයූහ. බුදුසරණ ආදි පුවත්පත් සඳහා ද නිරන්තරයෙන් ලිපි සපයති.

නාත්තණ්ඩිය වීරහේන විද්‍යාරත්න මහ පිරිවෙනේ පරිවේණාධිපති ලෙස වසර දහයක් සේවය කළ අලහේනේගම නා හිමි ඉක්බිතිව අනුක්‍රමයෙන් හැටන් ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලෙස ද, එහිම උප පීඨාධිපති ලෙසද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද, ශී‍්‍ර ලංකා රජරට විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලෙස ද, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලෙස ද එහි ම භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස ද පාලක සභික හා සනාතන සභිකයකු ලෙසද ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය විෂයෙහි අත්‍යුදාර විශිෂ්ට සේවාවන් රැසක නිරත වුණි.

වර්ෂ 1982 සිට මේ දක්වා ම නාත්තණ්ඩිය වීරහේන විද්‍යාරත්න ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ලෙස ක්‍රියා කරන අලහේනේගම නා හිමියෝ ප්‍රදේශයේ ආගමික, ජාතික සංස්කෘතික හා අධ්‍යාපනික සේවාවන් රැසකට නිසි නායකත්වය සපයති. කුලුගම්මන චන්දිම හිමි හා ලේල්වල සීලරතන හිමි යන ශිෂ්‍යවරයන්ට නිසි මාර්ගෝපදේශකත්වය සපයමින් දායක කාරකාදී සැදැහැවත් සාධු ජනයාගේ ආගමික හා සාමාජික අවශ්‍යතා මැනවින් සපුරමින් ඉතා නිහතමානී චාම් දිවි පෙවෙතක් ගත කරන මහාචාර්ය අලහේනේගම සුමනරතන නා හිමියන්ගේ උදාර භික්ෂූ ජීවිතය ගිහි පැවිදි සැමට මනා පූර්වාදර්ශයක් සපයයි.