Print this Article


බොදු උරුමය සුරකිමු 02: පුරාවිද්‍යාත්මක උරුමයේ සැබෑ හිමිකරුවෝ

බොදු උරුමය සුරකිමු 02

පුරාවිද්‍යාත්මක උරුමයේ සැබෑ හිමිකරුවෝ

කේවල හා සාමුහික අවශ්‍යතා මත සිදු වන මැදිහත්වීම් බෞද්ධ උරුම සන්දර්භවලට දැඩි බලපෑම් එල්ල කරයි. ඇතැම් මැදිහත්වීම් හා හානි හිතාමතා සිදු නොවන අතර ඇතැම් ඒවා සැලසුම් සහගත ව සිදු කරන ඒවා ය. උතුරු නැෙඟනහිර යුදමය වාතාවරණය පැවැති කාලසීමාවේ ත්‍රස්තවාදීන් බංකර ඉදිකිරීම, ආයුධ ගබඩා සහ සන්නිවේදන කුළුණු ඉදිකිරීම සඳහා පැරණි ස්තූප ගොඩැලි හා නටබුන් සහිත උස් ස්ථාන යොදා ගෙන තිබේ.

මෙම පැරණි ස්ථාන ත්‍රස්තවාදීන් විසින් අවශ්‍යතා සඳහා භාවිත කළ ද නිදන් ලබා ගැනීම හෝ එම ස්ථාන විනාශ කිරීමේ අපේක්ෂාවෙන් සිදු වී ඇති මැදිහත්වීම් නොමැති තරම් ය. උතුරු නැෙඟනහිර පළාතේ පශ්චාත් යුදමය අවධියේ දී බෞද්ධ උරුම සන්දර්භ විකෘති කරමින් නව කෝවිල් ඉදිකිරීමේ ක්‍රියාවලියක් සිදු වේ. පළාත්වල සිංහල ජනාවාස සහ බෞද්ධ ආරාම ඉදි කරනු ඇතැයි යන බියෙන් තම අනන්‍යතාව තහවුරු කර ගැනීම උදෙසා මෙම නව ඉදිකිරීම් සිදු කරති.

පදිංචියට හා වගා කටයුතු සඳහා මුස්ලිම් ප්‍රජාව ඉඩම් අල්ලා ගැනීම පිළිබඳ අවස්ථා නැෙඟනහිර පළාතෙන් වාර්තා වේ. පශ්චාත් යුද සමයේ දී මෙම බලපෑම බහුලව සිදු වේ. උතුර හා නැෙඟනහිර පළාත්වලට අමතරව දිවයිනේ බොහෝ පළාත්වල බෞද්ධ උරුම සන්දර්භ ආශ්‍රිත ව අනවසර මැදිහත්වීම දැක ගත හැකිය. බෞද්ධ උරුම සන්දර්භ ඩෝසර් කිරීම, විහාරස්ථාන සතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම සිදු වේ. මෙම මැදිහත්වීම් පළාත්, දිස්ත්‍රික්ක හා ජාති ආගම් භේදයකින් තොරව සිදුවන්නකි.

අප ඉහතින් සාකච්ඡා කළ කරුණුවලට අමතරව නොදැනුවත්කම හා නොසැලකිල්ල, උරුම ස්ථාන හුදකලා වීම, අනවසර ඉදිකිරීම්, ස්වභාවික උවදුරු ආදිය ද බෞද්ධ උරුම විනාශයේ ආසන්න හා දූරස්ථ හේතු වශයෙන් හඳුනා ගත හැකි ය.

පුරාවස්තු සංහාරයට එරෙහිව පවත්නා නීතිමය ප්‍රතිපාදන යාවත්කාලීන විය යුතු සේ ම රටේ පුරාවිද්‍යාත්මක උරුමයේ සැබෑ හිමිකරුවන් වන්නේ ජනතාව බව ඔවුන්ට ඒත්තු ගැන්විය යුතු ය. ආගමික උරුම සංරක්ෂණය සඳහා ජාතික ප්‍රඥප්තියක් සැකසිය යුතු ය. එහි දී ජීවමාන උරුම සංරක්ෂණය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. නිදන් වස්තු පිළිබඳ සැබෑව කුමක් වුවත් ඒ සඳහා සමාජය තුළ වෙන ම කතිකාවතක් ඇත. එබැවින් එම ආකල්ප හඳුනා ගෙන අවශ්‍ය පිළියම් යෙදිය යුතු ය.