Print this Article


විහාරස්ථාන පිරිසුදු කිරීමේ අනුසස් බොහෝ ය

විහාරස්ථාන පිරිසුදු කිරීමේ අනුසස් බොහෝ ය

වන්දනාව සඳහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍ර ව තිබෙනු දැක දැක නො සලකා නොයා යුතු ය. තමන් පැමිණි විට මලසුන්වල පරමල් ඇති නම් ඉවත් කළ යුතු ය.

මලසුන් අපවිත්‍ර වී ඇති නම් සෝදා පිරිසුදු කළ යුතු ය. විහාර ගෙය අපිරිසුදු වී නම් ඇමද පිරිසිදු කළ යුතු ය. මිදුල් ඇමද පිරිසුදු කළ යුතු ය. තණ හා වල් පැළෑටි වැවී ඇත්නම් ඉවත් කළ යුතු ය. සිද්ධස්ථාන ඇමද පිරිසුදු කිරීම උසස් පින්කමෙකි. එහි අනුසස් බොහෝ ය.

උපදින උපදින ජාතියේ අංගප්‍රත්‍යංග සම්පූර්ණ වීම, උසමහතින් යුක්ත වීම, ශරීරය වර්ණවත් වීම, සම සිනිඳු වීම, ජනප්‍රිය වීම, දීර්ඝායුෂ්ක වීම, ශරීරය ශක්තිමත් වීම, බෝ කල් දුක් විඳවන, ජනයාට අප්‍රිය වන දද, කුෂ්ඨ ආදී රෝග ඇති නොවීම ඒ අතර වේ.

ඇමදීම කය පිරිසුදු වීමට පමණක් නොව සිත පිරිසුදුවීමට ද හේතුවන පින්කමෙකි. මාගේ මේ ව්‍යායාමයෙන් මේ ස්ථානය පිරිසුදු වන්නාක් මෙන් ලෝභ - ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - විචිකිත්සාදි කෙලෙස් කසළින් මාගේ සිත ද පිරිසුදු වේවා යන අදහස ඇතිකර ගෙන ඇමදීම කළ යුතු ය. එසේ කළ කල්හි ඇමදීමේ කුසලයෙන් චිත්ත පාරිශුද්ධිය ද ලැබේ. චිත්තපාරිශුද්ධිය සත්ත්වයනට ඉතා ම අවශ්‍ය දෙයකි. සත්ත්වයන් නොයෙක් පව්කම් කොට නැවත නැවත අපායෙහි උපදින්නේ ද, චතුස්සත්‍යාවබෝධ කොට නිවනට නො පැමිණිය හැකිව සසර රැඳී සිටින්නේ ද සිතෙහි අපිරිසුදු බව නිසා ම ය. චිත්ත පාරිශුද්ධිය ලැබීමට කරන්නට ඇති හොඳ ම පින්කම සිද්ධස්ථාන පවිත්‍ර කිරීම ය.

ඇමදීමෙහි අනුසස් පසෙකි. තමාගේ සිත පහදී, අනුන්ගේ සිත පහදී, දෙවියෝ සතුටුවෙති. රූප ශෝභාව දෙන පිනක් රැස් කරයි. මරණින් මතු ස්වර්ගයෙහි උපදී.

රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ 'පුණ්‍යොපදේශය' ග්‍රන්ථය ඇසුරිනි