Print this Article


ප්‍රත්‍යවේක්ෂා: අයහපත් කර්ම විපාකවලින් වැළකීමට පන්සිල් රකින්න

අයහපත් කර්ම විපාකවලින් වැළකීමට පන්සිල් රකින්න

අප ඉතා සත්‍ය සත්‍යවාදී ව, ධර්මානුකූල ව අප දෙස විමර්ශනශීලී ව විමසා බැලිය යුතුව ඇත. එසේ සත්‍යවාදී ව තමන් දෙස විමසා බලා සිත, කය, වචනය නිවැරැදි කර ගැනීම ප්‍රත්‍යවේක්ෂාව ලෙස හැඳීන්වේ.

පිළිවෙත් මාර්ගය ආරම්භ වන්නේ පංච ශීලයෙනි. පන්සිල් සමාදන් වීම උපාසක ඇත්තකු තුළ තිබිය යුතු පළමුවැනි ලක්ෂණයයි. බොහෝ බෞද්ධයන් පන්සිල් සමාදන් වන බව නොපෙනේ. සැබැවින්ම සිතා බැලුවහොත් බොහෝ දෙනකු පන්සිල් පද කියවනවා විනා සමාදන් වීම සිදු නොකරයි. බොහෝ දෙනකු සිල්පද කියවන්නේ එම වැරදිවලින් වළකින බවට කිසිදු චේතනාවක් සිතේ ඇති කර නොගනිමින් ය.

චේතනාවක් නොමැති තැන කර්මයක් සිදු නොවන බව පැහැදිලි කාරණාවකි. එබැවින් අප මූලික ව ම ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණාවක් වන්නේ සැබෑවට සිල් සමාදන් වන්නේ ද යන්නයි. සැබෑවට සිල් සමාදන් වන්නේ නම් ඒ සෑම සිල් පදයක දී ම දිවි හිමියෙන් මෙය ආරක්ෂා කරන බවට චේතනාවක් තමන් තුළ ජනිත විය යුතුව ඇත. එසේ චේතනාවක් ඇති නොවන්නේ නම් එවැනි චේතනාවක් ඇති කර ගනිමින් සිල් සමාදන් වීමට වග බලා ගත යුතු ය. එසේ චේතනාව නිවැරැදි කර ගනිමින් සමාදන් වන අයට සීලය සමාදන් වීමෙන් ලැබෙන්නා වූ ආනිසංස වාරයන් ලැබේ.

කූටදත්ත සූත්‍රයට අනුව, පංච සීලය ආරක්ෂා කිරීමෙන් සංඝාවාසයක් සකස් කර සඟ සතුකර පූජා කරනවාට වඩා ආනිසංස ලැබෙන බව, බොහෝ පින් රැස්වෙන බව පැහැදිලිවන කාරණාවකි. මෙසේ බොහෝ පින් රැස් කර ගත් තැනැත්තකුට පුණ්‍යානුමෝදනා කිරීමෙන් දේව පිහිට, ආරක්ෂාව ලබා ගත හැකි බවත්, එකම දරුවකු රකින මව එම දරුවා ආරක්ෂා කර ගන්නා සේ, දෙවියන්ට පින් දෙන පින්වන්ත අය දෙවියන් ආරක්ෂා කර ගන්නා බව ද මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. එබැවින් දෙවියන්ගෙන් පිහිට, ආරක්ෂාව ලබා ගැනීම සඳහා පලතුරු වට්ටි ඔසවාගෙන, පඬුරු තබමින්, බාරහාර වෙමින්, බිම පෙරළෙමින්, පොල් ගසමින් කටයුතු කිරීමට අවශ්‍යතාවක් නැත. සිදු කළ යුතු වෙන්නේ පන්සිල් ආදිය රකිමින් බොහෝ පින් රැස් කරගෙන එම පින් දෙවියන්ට අනුමෝදන් කිරීම පමණි.අන්ධ භක්තියෙන් සිද්ධ කරන අන්‍ය වූ ක්‍රියාවන් බෞද්ධ ධර්මයට පටහැනි ය. බැවින් එය බෞද්ධකමට නිගාවකි. හිරු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබන්නටත්, බොහෝ පින් රැස් කර ගන්නටත් පංච සීලය ආරක්ෂා කරගත් පුද්ගලයාට හැකි වේ.

පින්වන්ත පුද්ගලයකු ආසන්නයට අමනුස්සයන්ට ළං වන්නට නොහැකි බව ද ධර්මයේ සඳහන් වන කාරණාවකි. යම්කිසි නිවසකට හෝ පුද්ගලයින්ට මනුෂ්‍ය බලපෑම් ඇත්තේ නම් පන්සිල් ආරක්ෂා කිරීමෙන් බොහෝ පින් රැස් වන බැවින් අමුනුස්ස බලපෑම් නිවසින් ඉවත් කර ගැනීමට හැකියාවක් ඇත.පන්සිල් රකින පුද්ගලයකුට අමනුෂ්‍යයන්ගෙන් සිද්ධ වන බලපෑම් ආදී කරදරකාරී තත්ත්වයන් සිදු නොවන බව පැහැදිලි වේ.

එමෙන්ම අපල උපද්‍රව ලෙස අප සලකන යම් උවදුරු තත්වයක් වේ නම්, එය අන් කවරක් හෝ නොව කර්මය ම විය යුතු ය.

අතීත කර්මය නැතිකර ගැනීම සඳහා කළ යුතු දේ පිළිබඳව ධර්මයේ සඳහන් වන්නේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා යන ක්‍රමවේද භාවිත කිරීමයි. අඛණ්ඩ ව උත්සාහ කරමින් පන්සිල් ආරක්ෂා කරන කෙනකුට මෙම ක්‍රමවේද සම්පූර්ණ වීමට හේතුවන සමාධිය ප්‍රඥාව ආදිය ඇති කර ගැනීමට සිදුවන බැවිනි. තමන්ගේ කර්මය ක්ෂය කර ගැනීමට එය ප්‍රධාන හේතුවක් වේ. එසේ නොමැතිව ග්‍රහ පූජා තැබීම්, නවග්‍රහ මුදු පැළඳ වීම්, නොයෙකුත් යන්ත්‍ර ආදිය පැළඳවීම වැනි මිථ්‍යා විශ්වාසයන්වලට එල්බගෙන කටයුතු කිරීමෙන් කර්මයට බලපෑමක් කළ නොහැක. එබැවින් පන්සිල් රැකීම තමන්ගේ කර්මයන් ක්ෂය කර ගැනීමට හේතුවක් වන බව ද අප දැන ගත යුතු කාරණාවකි.

නිවැරැදිව පන්සිල් ආරක්ෂා කළ යුතු ආකාරය ඒ පංචශීල ප්‍රතිපත්තිය වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය අප හොඳීන් දැන ගත යුතු වේ. කුසලයක් සිදු කරන කල්හි එය ඥාන සම්ප්‍රයුක්ත වන්නේ නම්, වැඩි ආනිසංස වාරයක් තිබෙන බව අපි දනිමු. එබැවින් පන්සිල් රැකීමෙන් මානසික ශක්තිය වර්ධනය වීම සිදුවන්නේ කෙසේදැයි දැනගෙන, එම දැනුමෙන් යුක්තව පංචශීලය ආරක්ෂා කිරීම ඉතාම විශාල ආනිසංසයක් ලැබීමට හේතු වේ. සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයක් ඇති සන්තානයක බොහෝ කෙලෙස් උපදවන ස්වභාවය ඇත. එබැවින් සිහිය, නුවණ, වීර්යය, ඉවසීම, අධිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව වැනි උසස් ගුණාංගයන්වලින් ඒ සිත් බොහෝ විට දුර්වල තත්වයකට පත් වී තිබේ. සිහිය වර්ධනය කිරීමට නම් සිහියෙන් සිටීම පුරුදු විය යුතුව ඇත. ඉවසීම ද වර්ධනය කළ යුත්තේ ඉවසීමෙන් සිටීමට පුරුදුවීමෙනි. අධිෂ්ඨානයෙන් වැඩ කටයුතු කරන පුද්ගලයා තුළ දිනෙන් දින අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වේ. සෑම ගුණාංගයක් ම එම ගුණාංගයෙහි යෙදීමෙන් ම වර්ධනය වන බව අපි හොඳීන් දනිමු.

යම්කිසි කෙනෙක් අධිෂ්ඨානයෙන් පංච සීලය සමාදන් වුවහොත්, කැඩෙන හැම වාරයක දී ම නැවත නැවත සමාදන් වෙමින් කටයුතු කළහොත්, සිල් රකින හැම වාරයක ම එම පුද්ගලයා සිහියෙන් සිටිය යුතු වේ, වීර්යයෙන් සිටිය යුතු වේ, අධිෂ්ඨානයෙන් සිටිය යුතුවේ, ඉවසීමෙන් සිටිය යුතු වේ. එසේ සිටින හැම වාරයක ම එම උසස් ගුණාංගයන් එම සන්තානය තුළ වැඩෙන බව නොරහසකි. සාමාන්‍ය ජීවිතය ජීවත් කරවීමේ දී පවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය වර්ධනය කිරීමට පවා හේතුවන සිහිය, නුවණ, වීර්යය, ඉවසීම, අධිෂ්ඨානය, වැනි උසස් ගුණාංගයන් නිබඳ ව පන් සිල් රකින්නට වෙහෙසෙන පුද්ගලයින් තුළ වර්ධනය වේ. ලෞකික ජීවිතය දියුණුවට මෙම මානසික ශක්තීන් හේතුවන අතර, ලෝකෝත්තර දියුණුව සිද්ධ කර ගන්නට අවශ්‍ය කරන සමාධිය උපදවන්නට මූලික කාරණාවක් වන ප්‍රමෝදය ඇතිවීම මෙම සීලය ආරක්ෂා කිරීමෙන් සිදු වෙයි. එසේ නම් පංචශීලය ලෞකික වශයෙන් හා ලෝකෝත්තර වශයෙන් අපගේ දියුණුවට හේතු වෙන බව අප හොඳීන් දැන, එම හැඟීමෙන් යුක්තව පංචශීලය ආරක්ෂා කිරීම ඤාණ සම්ප්‍රයුක්ත ව කුසලය සංවර්ධනය වීමකි.

ඕනෑම කටයුත්තක් සාර්ථක ව සිදු කිරීමට නම්, එය පිළිබඳව කැමැත්තක් ඇති කර ගැනීම සිදු කරගත යුතු ම වේ. අඛණ්ඩ ව පංචශීලය ආරක්ෂා කරන්නට සූදානම් වන පුද්ගලයකු ඒ සඳහා කැමැත්තක් ඇති කර ගැනීම සඳහා මෙසේ පංච ශීලයෙන් ලැබෙන ආනිසංස වාරයන් වගේ ම සීලය කැඩීමෙන් ලැබෙන ආදීනවයන් ද හොඳීන් මෙනෙහි කළ යුතු ව ඇත.විපාක ද මෙනෙහි කළ යුතු ව ඇත.

එසේ ආනිසංස සහ ආදීනවයන් හොඳීන් දැනගෙන එම, දැනගත් කරුණු නැවත නැවත මෙනෙහි කළ යුතුව ඇත. එසේ නැවත නැවත මෙනෙහි කිරීමෙන් පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී,කාමේසුමිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී,යන විරති චෛතසිකයන් අපේ සන්තානය තුළ පැන නඟින්නට හේතු සකස් වේ. ප්‍රාණඝාතය සිදු කිරීම් යන්න අප සිතේ නැගෙන අකුසලයක් නිසාවෙන් සිදුවන්නකි.ඉන් වැළකීම සඳහා ප්‍රාණඝාතයෙන් වැළකීම යන සිතුවිල්ල සකස්වී එය බලවත් විය යුතු ය.

එසේ නොමැති ව ප්‍රාණඝාතයෙන් වැළකීම යන සිද්ධිය අප අතින් සිද්ධ නොවේ ම ය.සෑම සිල් පදයක් ම රැකෙන්නේ එම සිල් පදය කැඩීම වැළැක්වීම සඳහා අපේ සිතෙන්ම පැන නගින සිතුවිල්ල එම සිල් පදය කැඩීම සඳහා අපේ සිතේ නැගෙන සිතුවිල්ලට වඩා ප්‍රබල වූ විට ය.

එසේනම් සීලය කැඩෙන්නට අපේ සිතේ ඇතිවන සිතිවිලි දුබල කරමින්, සීලය කැඩීම වැළැක්වීම සඳහා අපේ සිතේ නැගෙන්නා වූ සිතුවිලි ප්‍රබල කිරීමට කටයුතු කළ යුතුව ඇත. ඒ සඳහා ආදීනව සහ ආනිසංස මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය කාරණාවකි. දිනෙන් දින තමන් අතින් සීලය කැඩෙන්නේ නම් තමන් ම මේ පිළිබඳ ව විනිශ්චය කර ගනිමින් නැවත නැවත ආනිසංස සහ ආදීනවයන් මෙනෙහි කරමින් සීලය කැඩීම් වළක්වන සිතුවිල්ල කෙසේ හෝ ප්‍රබල කර ගත යුතු ව ඇත. එසේ සිල් රැකෙන තත්ත්වයට අපේ මානසිකත්වය සකස් කර ගැනීමේ වගකීම අප සතු ය. එසේ නොවුණහොත් සතර අපායේ වැටෙන්නට තියෙන ඉඩකඩ ඉතාමත් ම වැඩි බව අප හොඳීන් දැනගත යුතුව ඇත.