තැනට සුදුසු නුවණ ඇත්තාට පසමිතුරන් පැරදවිය හැකියි
අනුරාධපුර ලංකාරාමාධිකාරී
උතුරු මධ්‍යම දිශාවේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
රැළපනාවේ
ධම්මජෝති නා හිමි
විවිධ අදහස් උදහස් සිතුම් පැතුම් ඇති පුද්ගලයෝ සමාජයේ එදත් විසූහ. අදත් වෙසෙති.
සමාජයේ වෙසෙන මෙබදු පුද්ගලයන් පිළිබඳ මනා වැටහීමකින් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ
“නානත්ත කායා” “නානත්ත සංඥා” යනුවෙන් දේශනා කර ඇත්තේ එනිසයි.
මේ අතර යහපත් හා අයහපත් අය සිටින බැවින් ඔවුන් හඳුනාගෙන ඇසුරු කළ යුතු බව ද අවධාරණය
කර ඇත. ඔවුන් අතර කලණ මිතුරෝ ද, පවිටු මිතුරෝ ද සිටිති.
කලණ මිතුරා මිත්‍රතත්වය රැකගනිමින් දුකේදීත්, සැපේදීත් ඇසුරු කරන්නාගේ ආදරය, කරුණාව
දිනාගෙන කටයුතු කරයි. පවිටු මිතුරා සතුරුකම් කරමින් තම මිතුරා ගොදුරක් කරගන්නේ කෙසේ
ද යන දුෂ්ඨ චේතනාවෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන් කටයුතු කරයි.
සතුරාට කෙනෙකුගේ ඥාති, මිත්‍රකම් උස්, පහත් කම් හෝ ධනවත්, දුප්පත්කම් ගුණවත්කම්
නැත. අරමුණ පළිගැනීම ම වේ. කෙනෙකු තවෙකකුගේ සතුරෙකු වීමට හේතුපාදක වන කරුණු කාරණා
ඇත. මිල මුදල් මුල්කරගෙන ඇති කරගන්නා ප්‍රශ්න, ඉඩ - කඩම්, යාන - වාහන මුල්කරගෙන ඇති
කරගන්නා ප්‍රශ්න, ගේ - දොර නිසා ඇති කරගන්නා ප්‍රශ්න, තනතුරු - තාන්න මාන්න ආදී
මුල් කරගෙන ඇති කරගන්නා ප්‍රශ්න ආදිය පෙන්වා දිය හැක. කා - බී එකට හිටිය ද මෙබඳු
අවස්ථාවලදී ඔවුහු සතුරු වෙති.
සියලු සතහට දයාව, කරුණාව, මෛත්‍රී, අනුකම්පාව මුදාහළ අප සම්මා සම්බුදුරජාණන්
වහන්සේටත් දෙව්දත්, අජාසත්ත, අංගුලිමාල, ආලවක, සච්චක ආදී අය වරෙක සතුරුකම් කළහ. මේ
ස්වභාවය මිනිසුන් අතර පමණක් නොව තිරිසන් ලොවේ ද දැකිය හැක. නයා, පොළඟා දුටු තැනත්,
මුගටියා, නයා දුටු තැනත්, සිංහයා, ඇතා දුටු තැනත් කෝපාවිෂ්ඨ වී මැරෙනතුරු රණ්ඩු
වෙති. පුණ්‍ය ශක්තියෙන් මනුෂ්‍යත්වය ලැබූ අප තිරිසන් පිළිවෙතින් මිදි බුද්ධියත්,
ඉවසීමත්, තැනට සුදුසු ඥාණයත් ඇතිව කටයුතු කරගත හොත් සතුරා පරදා ජයගත හැකි වේ.
අපේ පැරණි මුතුන් මිත්තන් සතුරා හඳුනාගෙන ඔවුන්ගෙන් බේරී කටයුතු කිරීමට ක්‍රම සතරක්
භාවිත කර ඇත. එම කරුණු හතර ඇතුළත් කථා වස්තුවක් ඇත. කා හටත් එය ප්‍රයෝජනවත් වනු
ඇතැයි සිතමි.
පෙර බරණැස් නුවර බඹදත් නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ අප මහා බෝ සතාණන් වහන්සේ
වඳුරු ජන්මයෙහි උපන්නා. අශ්ව පැටවකු පමණ කාය ශක්තියෙන් යුක්ත ව හුදකලාව ගඟක් අසබඩ
වාසය කළා. ඒ ගඟ අසබඩ අඹ, කොස්, ආදී පලතුරු උයනක් තිබුණා. ඒ ගඟ මැද ගල්තලාවක්
තිබුණා. බෝසත් වඳුරා මෙගොඩ සිට ගල්තලාවට පැන ගඟෙන් එතෙර පලතුරු උයනට ගොස් රිසි
පරිදි පලතුරු අනුභව කරනවා. දිනපතා මෙසේ කළා. මෙ දවස ඒ ගඟේ කිඹුලෙක් හා කිඹුල්
දේනුවක් ද සිටියා. කිඹුල් දේනුවට බෝසත් වඳුරා දැකීමෙන් හෘද මාංශය අනුභව කිරීමේ
දොළදුකක් උපන්නා. මේ අදහස කිඹුල් දේනුව තම කිඹුලාට යෝජනා කළා. එම අදහස ඉටුකර දෙමියි
කිඹුලා පොරොන්දු වී සවස් යාමයේ එන බෝසත් වඳුරා අල්ලා ගැනීමේ අදහසින් ගල්තලාව වෙත
ගොස් සිටියා. බෝසත් තෙමේ දවල් කාලයේ ඵලවැල කා සවස් කාලයේ පලතුරු උයනේ සිට ම ගල්තලාව
දෙස බැලුවා. වෙනදා දකින ගල්තලාවට වඩා අද ගල්තලාව උස්ව පෙනෙනවා. මීට හේතුව කුමක්ද?
සිතන්නට වුණා. අද මේ ගඟේ ජලය වැඩි වූයේත් නෑ. අඩු වූයෙත් නෑ. ඒත් මේ ගල්තලාව ලොකුවට
පෙනෙනවා.
හේතුව කුමක් ද? මෙතැන දී තමන් අල්ලා ගැනීමට කිඹුලා සිටිද්දැයි කල්පනා කළා. බෝසත්
තෙමේ “ගල්තලාව සමඟ” කතා කරන්නාක් මෙන් “පින්වත්” ගල්තලාව යැයි කතා කළා. උත්තරයක්
නෑ. නැවතත් කතා කළා. පින්වත් ගල්තලාවනි, අද මට ප්‍රතිචාර නොදෙන්නේ මන්දැයි ඇසුවා.
එවිට කිඹුලා මෙසේ සිතුවා. වෙනදා මේ ගල්තලාව වානරයා සමඟ කතා කරනවා ඇති. එනිසා මොහුට
කතා කළ යුතු යැයි සිතුවා. කිමෙක්ද? පින්වත් වානරයාණෙනි'යි ඇසුවා. එවිට බෝසත් වානර
තෙමේ “නුඹ කවරෙක්දැයි ඇසුවා.” මම කිඹුලෙක්මි’යි උත්තර දුන්නා. එවිට බෝධිසත්වයෝ
කුමක් පිණිස මෙතන සිටින්නේදැයි ඇසුවා. නුඹ වහන්සේගේ හෘද මාංශය පතා යැයි කීවා.
මේ ඇසූ බෝසත් තෙමේ වෙන යා යුතු මඟක් නැති නිසා අද මා විසින් කිඹුලා රැවටිය යුතුයැයි
සිතා මෙසේ කීවා. ‘යහළුව, අද මම මගේ ජීවිතය නුඹට පරිත්‍යාග කරනවා. නුඹ කට ඇරගෙන
සිටිය යුතුයි. මා නුඹ ළඟට ආ විට අල්ලාගනුයැයි කීවා. කිඹුලන් කට අයාගත් කළ ඇස් දෙක
පියවෙනවා.
කිඹුලා ඒ ගැන නොසලකා මුඛය විවෘත කොට සිටියා. කිඹුලාගේ ඇස් දෙක පියවුණා. බෝසත් වඳුරා
කිඹුලාගේ ඒ සිදුවීම දැක මෙගොඩ සිට කිඹුලාගේ හිස මුදුනට පැන වහා විදුලි වේගයෙන්
එතෙරට ගියා.
කිඹුලා ඒ ආශ්චර්ය දැක සතුටු වුණා. මේ වානර තෙමේ ඉතා දක්ෂ ක්‍රියාවක් කළා. වානර
බෝසත් අමතා “පින්වත් වානරයාණෙනි”, මේ ලෝකයේ කරුණු සතරකින් යුත් පුද්ගලයා පස මිතුරන්
මැඩ පවත්වා ජය ගන්නේ යැයි කීවා.
ඒ කරුණු සතර නම් වාක් සත්‍ය, පරීක්ෂා ඥාණය, අප්‍රතිහත ධෛර්ය, නිස්සංග ත්‍යාගය යන
සතරයි. මේ සියලු කාරණා නුඹ සතුව ඇතැයි පවසා බෝසත් වානරයාට ප්‍රශංසා කළා. “උපාදන්නෝ
අපා නොවැටෙති” යන්නට ද මෙය ද නිදසුනකි.
එනිසා අපි ද මේ කරුණු අපේ ජීවිතවලට සම්බන්ධ කර ගනිමින් පස මිතුරන්ගෙන් බේරී කටයුතු
කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. |