Print this Article


නිමක් නැති කරදර ඇතිවන්නේ ඇයි?

නිමක් නැති කරදර ඇතිවන්නේ ඇයි?

නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

“සාරත්තා කාම භෝගෙසු – ගිද්ධා කාමෙසු මුච්ඡිතා
අතිසාරං න ඛුජ්ඣන්ති – මච්ඡා ඛීපංව ඔඩ්ඩිතං
පච්ඡාසං කටුකං හෝති – විපාකො හිස්ස පාපකොති

“සබ්බ දානං ධම්ම දානං ජිනාති” යන බුද්ධ වචනය අනුව සියලු දානයන් අතර ධර්ම දානය ජයගන්න බව ධර්මයෙහි පැහැදිලිකොට ඇත. ඒ අනුව අද දින ධර්ම දේශනාව සඳහා තෝරා ගනු ලැබුවේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයට අයත් අත්ථකරණ සූත්‍රයයි.

ඉහත ගාථාවෙහි සරල අදහස වන්නේ “කාම වස්තූන්හි ඇලුණු, කාමයන්හි ගිජු වූ, මුසපත් වූ සත්වයෝ කුසල් අවබෝධ කර නොගනිති. අටවන ලද කෙමනකට හසු වූ මසුන් මෙන් ඔවුන්ට පසුව කටුක දුක් විපාකයන්ට මුහුණ දීමට ඒකාන්තයෙන් ම සිදු වේ” යන්නයි.

මෙම අත්ථකරණ සූත්‍ර දේශනාව, බුදු හිමියන් විසින් දේශනා කරනු ලැබුවේ පසේනදි කොසොල් මහ රජතුමා අරමුණු කරගෙන ය. මෙහි “අත්ථකරණ” යනුවෙන් හඳුන්වනු ලබන්නේ එකල රාජාණ්ඩු ක්‍රමය යටතේ පැවති නඩු අසන අධිකරණ ශාලාවයි.

දිනක් රජු රට වැසියන්ගේ නොයෙක් ගැටලු විමසා බැලීම සඳහා නඩු විසඳන විනිශ්චය ශාලාව වෙත ගොස් ටික වේලාවක් සිටින විට නොයෙක් කරුණු නිසා එතුමාට මහත් කළකිරීමක් ඇති විය. ඒ නිසා අතරමගදී ම අධිකරණ ශාලාවෙන් පිටව යන මහ රජතුමා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ වෙත එළැඹ සිදු වු සියල්ල විස්තර කර සිටියේ ය.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, වෙනත් දිනයන්හි විනිශ්චය ශාලාව බොහෝ සුන්දර ය. එහෙත් අද එසේ නොවේ. මහත් ධනය ඇති බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය , ගෘහපති ආදීහු කාමය හේතු කොට ගෙන බොරු කියති.එය දිගින් දිගටම සිදු කරති. ඒ පිළිබඳව බෙහෙවින් කළකිරීමට පත්ව පැමිණියෙමි. කොසොල් රජු බුදුරදුන්ට මෙලෙස සියලු කරුණු ප්‍රකාශ කොට සිටි අතර තමාට අධිකරණ ශාලාවට යාම පවා මේ වන විට එපා වී ඇතැයි කියා සිටියේ ය.

මෙම කරුණු පිළිබඳ ව විමසා බැලීමෙන් අනතුරුව තථාගත බුදුපියාණන් වහන්සේ කාම වස්තූන්හි ඇලීම විනාශයට හේතු වේ. ගිජු වීමත් විනාශට හේතුවේ. කාමය නිසා දැන දැන බොරු බස් කීම ද විනාශයට හේතු වේ යනුවෙන් දේශනා කොට වදාළහ.

ඒ කෙසේ ද යත්, කෙමනකට හසු වු මත්ස්‍යයන් මෙන් බොහෝ දුක්, කරදර, පීඩාවන්ට මුහුණ දීමට මෙකී ලාමක අකුසල ධර්ම හේතු වන බව පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ ඒවායින් මිදීමේ මඟ දේශනා කළහ. එමෙන් ම දිවි මඟ සඵල කර ගන්නේ කෙසේද යන්න ද ධර්මය තුළින් මනාව පෙන්වා දුන්හ.

ඇස, කන,නාසය, දිව, ශරීරය යන පසිඳුරන් පිනවීම සඳහා ඇතැම් අය ඕනෑම පහත් ක්‍රියාවන් සිදු කිරීමට පෙළඹෙති. හේතුව කාමයන්ට එතරම්ම ඇලී ගැලී සිටීම ය. කාමය නිසා මුසා බස් කීම ඕනෑම සමාජයක සිදුවන්නකි. මේ නිසා පුද්ගලයා තම ජීවිතය විනාශ කර ගන්නා අතර, නොයෙක් ගැටලු, අර්බුද සමාජය තුළ ද නිර්මාණය වේ. ඇතැම් අවස්ථාවන්හි ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට ඔවුන්ට සිදු වනු ඇත.

කාමය නිසා ශෝකය හා බිය නිරතුරුව ම උපදින බව තථාගත සම්බුද්ධ දේශනාවයි.

එයින් මිදුණුූ තැනැත්තාට කිසිදු අයුරකින් හෝ බාධාවක් නොවන බව විවිධ දේශනා තුළ සඳහන් වේ. කාමය හෙවත් කැමැත්ත පදනම් කොට ගෙන මුසා බස් කීම අතිශය දරුණු ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ.

කාමය මෙන්ම මුසාව හෙවත් බොරු කීම තුළින් පුද්ගලයා තම ආත්මය විනාශයට පත් කර ගන්නා බව පෙන්වා දී ඇත.

සීල ප්‍රතිපදාව තුළ ද “මුසාවාදා වේරමණී” යනුවෙන් ශික්ෂා පදයන් ගිහි – පැවිදි සියලු දෙනාට පනවනු ලබන්නේ එයින් ලැබෙන අයහපත් විපාක වළක්වා ගැනීම වෙනුවෙනි.

බොරුවෙන් සිදු වන්නේ විශ්වාසය අහිමිවීමයි. එය සමාජීය වශයෙන් බොහෝ ගැටුම් සඳහා හේතු වන්නකි. නූතන සමාජය දෙස අවධානය යොමු කිරීමේ දී ඒ බව මනාව පැහැදිලි වනු ඇත.

පසේනදි කොසොල් මහ රජතුමාට නඩු ශාලාව තුළදී ඇති වූ කළකිරීම බුදු හිමියන්ට ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වන්නේ ඕනෑම කාල සමයක සමාජයෙහි ඉහළ තනතුරු දරන පුද්ගලයන් කාමය හේතු කොට ගෙන ඒවාට ඇලී ගැලී මුසා බස් පවසමින් ක්‍රියා කරන බව ය.

එකල පමණක් නොව නූතන සමාජයෙහි ද එය ඒ ආකාරයෙන් ම සිදු වන්නකි. එවැනි ක්‍රියාවන් මුළු මහත් සමාජ පද්ධතියෙහි ම පරිහානිය සඳහා හේතු වන බව අත්ථකරණ සූත්‍ර දේශනාවේ දී තිලීගුරු බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වා වදාළහ. තම යහපත යැයි සිතා කාම වස්තූන්හි ඇලී ගැලී ගිජුව ක්‍රියා කිරීම හා මුසා බස් කීම තුළින් දෙලොව දිවියම විනාශ කොට ගෙන එය අපායගාමී වීමට හේතුවක් වන බව බුද්ධ දේශනාවෙහි මැනවින් පැහැදිලි කොට ඇත.

ඉහත කරුණු යහපත් දිවියක් සඳහා බෙහෙවින් හේතු වන අතර තිදොර සංවරය පුද්ගල යහපත සඳහා හේතු වන්නක් බව බුදුරදුන් ධර්මයේ දී පෙන්වා ඇත්තේ මහත් කරුණාවෙනි.

“ධම්මං විනා නත්ථි පිතා ච මාතා”

යනුවෙන් ධර්මය හැර මවක් හෝ පියෙක් නොවන බව පෙන්වා දීම තුළින් පැහැදිලි වන්නේ දහම මිනිස් දිවි මඟට කොතරම් යහපත උදා කර දෙන්නේ ද යන්නයි. මේ නිසා ලබාගත් දුර්ලභ මිනිසත් බව ධර්මයේ ආශිර්වාදයෙන් ආලෝකමත්භාවයට පත්කර ගැනීමට අවැසි නුවණැස හා දිරිය ලැබේවා” යි කරුණාවෙන් යුතුව ප්‍රාර්ථනා කරන්නෙමු.